අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත්ගෙන් සමාජ ආරක්ෂණය ගැන ජනපතිට උපදෙස්..!

සජිත්ගෙන් සමාජ ආරක්ෂණය ගැන ජනපතිට උපදෙස්..!

2021 වසරේ 13.1% ක පැවති මෙරට දිළිඳු ප්‍රතිශතය 2023 වසරේ 25.9% ක්..! ජනාධිපතිවරයාගේ අයවැය කතාවේ ඇතුලත් දත්ත සහ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අතර පරස්පරතා..? මෙවර අයවැය තුළ දක්වා ඇති සමාජ…

2021 වසරේ 13.1% ක පැවති මෙරට දිළිඳු ප්‍රතිශතය 2023 වසරේ 25.9% ක්..!

ජනාධිපතිවරයාගේ අයවැය කතාවේ ඇතුලත් දත්ත සහ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අතර පරස්පරතා..?

මෙවර අයවැය තුළ දක්වා ඇති සමාජ ආරක්ෂණ වැඩපිළිවල හරහා ආවරණය වන ජනතාව සංඛ්‍යාත්මකව නිවැරදි නොවේ

සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම මගින් ප්‍රතිලාභ ලබන ජනතාව රටේ ආදායම් උත්පාදන ක්‍රියාවලිය සඳහා දිරිමත් කළ යුතුයි 


සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි 

මාර්තු 05 (බදාදා) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට ගැණුනේ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශ පිළිබඳවය.

සජිත් සිය කෙටි අදහස් දැක්වීම තුළ මතු කළ කාරණය වුණේ, රටක් ලෙස අප අඛණ්ඩව සුභ සාධන රාජ්‍ය ප්‍රතිපත්තියක ගමන් කරනවාද? නැතහොත් ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් පවත්වා ගනිමින්, එම පිරිසත් රටේ ධනය උත්පාදනය කිරීමේ කොටස්කරුවන් කරගන්නවාද? යන්නය.

2024 ලෝක බැංකු දත්තවලට අනුව 2021 වසරේ 13.1% ක පැවති මෙරට දිළිඳු ප්‍රතිශතය 2023 වසරේ 25.9% ක් එනම් දෙගුණයකට ආසන්න ප්‍රමාණයකට ඉහළ ගොස් ඇති බව පැහැදිලිය. ගෘහයක ආහාර සහ ආහාර නොවන වියදම් සමීක්ෂණය කර දරිද්‍රතා රේඛාව සකස් කර සමාජ සවිබල ගැන්වීමේ වැඩපිළිවෙල නිවැරදි  මාවතකට යොමු කරන්නැයි සජිත් නිතර, නිතර ඉල්ලීම් කරන්නේය. ඔහු අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන් පරිදි ජනාධිපතිවරයාගේ අයවැය කතාවේ ඇතුලත් දත්ත සහ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අතර ඇති පරස්පරතා හේතුවෙන් මෙරට දුප්පත් ජනතාව කවුරුන්ද යන්න නිවැරදිව ගණනය කර ගැනීමට නොහැකි වී ඇත්තේය.

දැන්වීම

එමෙන්ම ලර්න් ඒෂියා ආයතනය මෙරට දරිද්‍රතාව පිළිබඳ ඵලකර ඇති දත්තත් ගෙනහැර දක්වමින් සජිත් අවධාරණය කළේ, මෙවර අයවැය තුළ දක්වා ඇති සමාජ ආරක්ෂණ වැඩපිළිවල හරහා ආවරණය වන ජනතාව සංඛ්‍යාත්මකව නිවැරදි නොවන බවය.

සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම මගින් ප්‍රතිලාභ ලබන ජනතාව රටේ ආදායම් උත්පාදන ක්‍රියාවලිය සඳහා දිරිමත් කළ යුතු බවටද සජිත් යෝජනා කළේය. ඔහුගේ මේ ප්‍රකාශය සත්භාවයෙන් සහ අවබෝධයෙන් සිදු කළ දෙයක් දැයි සෙවීමට ආසන්නතම මිනුම් දණ්ඩ කුමක්දැයි සිතූ අපට එක්වරම මතකයට නැගුණේ, සජිත් තම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ මේ වෙනුවෙන් කියා ඇති වැඩපිළිවෙල විශ්ලේෂණය කිරීම සුදුසුයැයි කියාය.

එහි සජිත් සඳහන් කර තිබූ කරුණු, ඔහු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ තර්කය හා සමපාත වන බවක් පෙනුන අතර එය පාඨක ඔබේ දැන ගැනීම සඳහා මෙලෙස දැක්වීමට අප අදහස් කළේය.

උපුටා ගැනීම :

- දිළිඳුකම පිටු දැකීමේ යෝජනා ක්‍රම මගින් ආවරණය වන පිරිසට නිශ්චිත කාලසීමාවක් තුළ ඉන් මිදීමට උපකාර කිරීම.
- පුද්ගලික අංශය සමඟ ඒකාබද්ධව රැකියා සඳහා කුසලතා සංවර්ධන හා පුහුණුව තුළින් ස්ථාවර ධනය උත්පාදන ක්‍රියාවලියට ඔවුන් ඇතුලත් කිරීම.
- මුදල් උත්පාදනය හරහා දළ දේශීය නිෂ්පාදිතයට ඔවුන් ඇතුලත් කර ගැනීම.
- දරිද්‍රතාව තුරන් කිරීමේ අරමුණින් නව සහභාගීත්ව වැඩසටහනක් තුළින් ගෘහයක කාන්තාවකට ( බිරිඳ/ මව/ දියණිය) මාස 24 ක් එනම් වසර 2 දක්වා මසකට රු: 20,000/= මූල්‍ය ප්‍රතිපාදනයක් ලබාදීමට.

මුල්‍ය ලාභියා එම මුදල නිෂ්පාදන ආර්ථිකයට දායකවිය හැකි ලෙස කර්මාන්තයක් ඇරඹීම, පාඨමාලාවක් හැදෑරීම හෝ ආයෝජනයක් සිදු කිරීම අරඹයා යෙදවිය යුතු වූ අතර එය පසු විපරම් කිරීමේ ක්‍රමවේදයක්ද සජිත් යෝජනා කර තිබුණේය. මේ වනවිට දළ දේශීය නිෂ්පාදිතයට බස්නාහිර පළාත 41% දායකත්වයක් ලබා දෙද්දී, සෙසු පළාත් 8ම ලබාදෙන්නේ 59% ක දායකත්වයක් වන්නේය. මෙම ක්‍රමවේදය ඔස්සේ ගෘහ පවුල් ඒකකය ධනය උත්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීම හරහා මෙම විෂමතාවද අවසන් කළ හැකි බවට තර්කයක් සජිත් ගොඩනගන්නේය.

සජිත් හැම විටම කියන කාරණයක් වන්නේ සමාජ ආරක්ෂණ ලබන පිරිස රටේ ධන උත්පාදනයට දායක කර ගැනීම හරහා නිෂ්පාදනය, පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම සහ අපනයනය යන පංචවිධ අංශයන් තුළට ඔවුන් ඇතුලත් කර ගතයුතු බවය. එය ඉතාම ගැඹුරු සංකල්පයක් වන අතර ඉතිහාසයේ සිට මෙරට දළ දේශීය නිෂ්පාදිතයට සෘජුව දායක වන බහුතරයක් චෝදනා කරන්නේ, තම ශ්‍රමය තුළින් උපදවන ධනය සහ බදු තුළින් මහා භාණ්ඩාගාරයට ලැබෙන වත්කම් බෙදී යාමේ විෂමතාවක් ඇති බවය.

එහෙත් එය වෙනස් කරමින් සමාජ ආරක්ෂණය ලැබිය යුතුම (ආබාධිත/රෝගී/ වැඩිහිටි පුරවැසි) පිරිස නිවැරදිව හඳුනා ගනිමින් සෙසු පිරිස ධනය උත්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීම, මෙරට දළ දේශීය නිෂ්පාදනයට ධනාත්මක ප්‍රවේශයක් වනු ඇත්තේය. මෙරට වැඩ කරන ජනතාවගේ මැසිවිල්ලක් වන්නේ “අපි දුක් මහන්සියෙන් හම්බකරන මුදල් රජය තමන් සතු කරගෙන නිකරුනේ සුභ සාධන කටයුතුයැයි කියමින් බෙදා දෙනවා. පිනට කන්න අඳින්නට දෙන, බෙදන යුගයක් වෙනුවට, සැවොම ක්‍රම ක්‍රමයෙන් නිෂ්පාදන ආර්ථිකයට දායක කරගන්නා විධිමත් වැඩපිළිවෙලක් හදන්නේ නැහැ” කියාය.

ඉතිං සජිත් පිළිබඳ කොතෙක් චෝදනා එල්ල කලත් ඔහු මේ රටේ දරිද්‍රතාව නිමා කිරීමටත්, සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ක්‍රමවත් කරමින් මහාභාණ්ඩාගාරයෙන් යැපෙන ජනතාවක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයට දායක කරගන්නා ජනතාවක් නිර්මාණය කිරීමට සැබවින්ම ප්‍රායෝගික වැඩසටහනක් යෝජනා කර තිබූ බව නොකියාම බැරිය.
සජිත්ට බෙදන සජිත් කියා චෝදනා කළත්, ඇත්තෙන්ම හැමෝටම වැඩකරන්නට වෙන සංකල්පයක් සජිත් යෝජනා කර තිබී ඇති බව දැන්නම් හොඳින්ම පැහැදිලිය.

(NextPolitics FB)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න