අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජබයේ තේමාව තාමාට පෙර රටයි

සජබයේ තේමාව තාමාට පෙර රටයි

මේ සන්ධාන පිටුපස වරප්‍රසාද නැහැ එකම අරමුණ රට ගොඩනගන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමයි ඒ වෙනුවෙන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව පළවා හරිනවා පොහොසතුන්ගෙන් 20%ක් ජාතික ආදායමෙන් 52%ක් භුක්ති විඳිනවා දුප්පතුන් 20%ක්…

මේ සන්ධාන පිටුපස වරප්‍රසාද නැහැ

එකම අරමුණ රට ගොඩනගන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමයි

ඒ වෙනුවෙන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව පළවා හරිනවා 

පොහොසතුන්ගෙන් 20%ක් ජාතික ආදායමෙන් 52%ක් භුක්ති විඳිනවා 

දුප්පතුන් 20%ක් භුක්ති විදින්නේ ජාතික ආදායමෙන් 4.5%යි 

ජපනා හපනා වූවා සේ අප ද කාර්යශූර විය යුතුයි

විවිධ දේශපාලන පක්ෂ, සංවිධාන, බලවේග සහ පුද්ගලයින් සමග සන්ධාන ගත වෙමින් සමගි ජන බලවේගය සිය සමගි ජන සන්ධානය පුළුල් කරන්නේ, කඩා වැටුණු  සාහ ගරා වැටුණු දේශයට නව පුනර්ජීවනයක් ලබා දී ආර්ථික සහ සමාජයීය ඛේදවාචකයෙන් රට මුදවා ගෙන ජනතාව සවි බලගැන්වීම සඳහා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේය.

සමගි ජන බලවේගය ප්‍රධාන සමගි ජන සන්ධානයේ ප්‍රධාන තේමාව වන්නේ "තාමාට පෙර රට" බවත් පොදු ජන වරමින් බිහි කරන රජයේ කිසිවෙකුට සුපුරුදු වරදාන සහ වරප්‍රසාද ලබා නොදෙන බවත් සියලු දෙනා සිය පෞද්ගලිකත්වය කැප කර වරදාන සහ වරප්‍රසාද පසෙකලා ලක්ෂ 220ක් වු සුවහසක් ජනතාවගේ ආර්ථික-සමාජයීය-දේශපාලන සහ සුබ සාධන අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් ඇපකැප විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ලොව පළමු ස්ථානයට ඔසවා තැබීමේ වැඩ පිළිවෙළ යටතේ ජනතා කේන්ද්‍රීය රාජ්‍ය පාලනයකට යොමු වන බවත් සෑම ක්‍රියාදාමයක්ම පොදු ජන හිතෛශී, පොදු ජන කේන්ද්‍රීය, පොදු ජන සහභාගීත්ව සේම පොදු ජන උන්නතිය වෙනුවෙන් සිදු කරමින් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙය වන බවත් සමාජ සමානාත්මතාව සහ සාධාරණත්වය යන ප්‍රතිපත්තිවලට මුල්තැන ලබා දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් ඔස්සේ මානුෂීය ධනවාදයත් ජනතාවාදී සමාජවාදී සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති මුසු කර ගෙන සෑම න්‍යායකම තිබෙන ධනාත්මක ගුණාංග එකතු කර ගත් මැද මාවතක් හරහා ඉදිරි ගමනක් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සමගි ජන බලවේගය ප්‍රධාන සමගි ජන සන්ධානය සහ මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඇතුළු නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් හය දෙනෙකු සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති උත්සවයට එක් වෙමිනි. 

ජනතාව මත පදනම් වූ සෞභාග්‍යයක් ඇති කරමින් "නැති-බැරි-ඇති-හැකි" පරතරය ඉවත් කරන බවත් රටේ ජාතික ආදායමෙන් 52%ක් භුක්ති විදින්නේ පොහොසතුන් 20%ක් වන අතර දුප්පතුන් 20%ක් භුක්ති විදින්නේ ජාතික ආදායමෙන් 4.5%ක් බවත් පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා මේ තත්ත්වය පිළිගත නොහැකි බවත් සෞභාග්‍යය යනු සැවොම එකතු කර ගත් එකක් විය යුතු බවත් එම සෞභාග්‍ය සැවොම සමානව බෙදා ගන්නා සෞභාග්‍යයක් විය යුතු බවත් ආර්ථික වර්ධනය සිදු විය යුත්තේ සැවොම කොටස්කාරයන් බවට පත් කර ගෙන බවත් සඳහන් කළේය. 

එමෙන්ම ශ්‍රී ලංකාව කඩිසර, ක්‍රියාශීලී, කාර්යශූර රටක් බවට පත් කළ යුතු බවත් ජපනා හපනා වූවා සේ අපත් කාර්යශූර විය යුතු බවත් එම පරමාදර්ශී සහ ආදර්ශවත් මඟ පෙන්වීම ඉහළින්ම සියලු දෙනාට ලබා දිය යුතු බවත් එම වගකීම නොපිරිහෙලාම ඉටු කරන බවත් රටක නායකත්වය ඒ රටට-ජනතාවට නිසි මඟ පෙන්වීම ලබා දුන් පසු ලක්ෂ 220න් කිසිම අයකුට එම ජාතික වගකීම පැහැර හැරිය නොහැකි බවත් කියා සිටී සජිත් ප්‍රේමදාස මහතා රටේ දූෂණ, වංචාව සහ අක්‍රමිකතා දුරු කරන බවත් පැවසීය.

පළාත් 9ක, දිස්ත්‍රික් 25ක, ප්‍රාදේශීය ලේකම් සහ උප ලේකම් බල ප්‍රදේශ 341ක සේම ග්‍රාම සේවා වසම් 14,022ක විහිදී ඇති ගම් සහ නගර 5,3000 ම ජීවත් වන ලක්ෂ 220කගේ ජන ජීවිතවල වගකීම තමා භාර ගන්නා බවත් එම භාරකාරීත්වය පණටත් වඩා ආරක්ෂා කරන බවත් නුදුරු අනාගතයේ දී වඩාත් ජනතාවාදී සහ ජනහිතකාමී සන්ධාන රැසක් බිහි වන බවත් මෙම සන්ධාන පිටුපස කිසිදු වරදානයක් හෝ වරප්‍රසාදයක් ලබා දීම සිදු නොවන බවත් හෙතෙම සඳහන් කළේය. 

තවද රටේ අවශ්‍යතාවට මුල්තැන ලබා දී අත්මාර්ථකාමීත්වයෙන් තොරව පරාර්ථකාමීව පොදු ජනතාවට සේවය කිරීමේ උතුම් ජනතා සේවාව උදෙසා පෙළ ගැසෙන බවත් ජාති, ආගම්, කුල මල, ගෝත්‍ර සහ පක්ෂ භේදයකින් තොරව ලක්ෂ 220ට ම පරමාදර්ශී ක්‍රියාදාමයක් මත රට ගොඩනගන ගමනට නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහතික විය.

අධික බදු බරින්, ජීවන වියදමින් සේම අල්ලසින් දූෂණයෙන් රටේ ජනතාව තලා පෙළා දමන, රටේ ජනතාවගේ පොදු සතුරා වන රනිල් රාජපක්ෂ ආණ්ඩුව එළවා දමා ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනැගීම අරමුණු කර ගෙන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරුන් හය දෙනකු සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සිකුරාදා (05) උදේ 9.45ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු විය. 

එම ගිවිසුම සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් නිදහස් ජනතා සභාව නියෝජනය කරමින් මහාචාර්ය ජී. ඇල්. පීරිස්, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, ආචාර්ය නාලක ගොඩහේවා, උපුල් ගලප්පත්ති සහ කේ.පී.එස්. කුමාරසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අත්සන් තැබූහ. 

මේ සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
සජබයේ තේමාව තාමාට පෙර රටයි | Lanka Newsweek