අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සචින් තෙන්ඩුල්කාර් - ජෝ රූට් සහ මුත්තයියා මුරලිදරන්

සචින් තෙන්ඩුල්කාර් - ජෝ රූට් සහ මුත්තයියා මුරලිදරන්

එංගලන්තය සහ ඉන්දියාව අතර නිමාවුණ සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මාතෘකා කිහිපයක්ම නිර්මාණය වුණා. ඉන් එක් ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණේ එංගලන්ත පිතිකරු ජෝ රූට්. ක්‍රිකට් උපන් දේශය බිහි කරපු වඩාත්…

එංගලන්තය සහ ඉන්දියාව අතර නිමාවුණ සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මාතෘකා කිහිපයක්ම නිර්මාණය වුණා. ඉන් එක් ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණේ එංගලන්ත පිතිකරු ජෝ රූට්.

ක්‍රිකට් උපන් දේශය බිහි කරපු වඩාත් විශිෂ්ටතම පිතිකරුවා විදිහට නම් දරලා ඉන්න ජෝ රූට් මේ තරගයේ එංගලන්ත පළමු ඉනිමේ දී ලකුණු 150 ක් රැස් කළා. මේ ඉනිම වාර්තා කිහිපයක්ම අලුත් කරපු ඉනිමක්.

රූට් රාහුල් ඩ්‍රාවිඩ්, ජැක් කාලිස් සහ රිකී පොන්ටින්ව අභිබවා යමින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවනි වැඩිම ලකුණු ලාභියා වෙන්න රූට් ට පුළුවන්කම ලැබුණා. ඔහුට සචින්ගේ වාර්තාවට ළඟා වෙන්න අවශ්‍ය වෙන්නේ තවත් ලකුණු 2500 ක පමණ ප්‍රමාණයක්.

දැන්වීම

මේ වෙද්දී ජෝ රූට් සචින් තෙන්දුල්කාර් ව පසු කරයිද නැද්ද කියන පැනය ක්‍රිකට් ලෝකයේ ඉතිරි වෙලා තියෙනවා. බොහෝ දුරට සචින්ව පසු කරන්නත් අවස්ථාව ජෝ රූට් ට තියෙනවා.

මේ වාර්තාව දැක්කම මට මතක් වෙන්නේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්. මුරලි කියන්නේ ශ්‍රී ලංකාව ඇතුළේ මොන තරම් අඩු ඇගයීමකට ලක් වෙන ක්‍රීඩකයෙක් ද කියලත් හිතුණා.

මුරලි ටෙස්ට් තරග 133 කදී කඩුලු 800 ක් දවාගෙන තිබෙනවා. මේ කඩුලු 800 වාර්තාවට ආසන්නයට හෝ මෑතකදී පැමිණියේ ජේම්ස් ඇන්ඩර්සන් විතරයි. ඔහුත් කඩුලු 704 කින් නැවතුණා.

මුරලිදරන් ටෙස්ට් වරම් දිනා ගන්නේ 1992 දී. එතකොට ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් දිනාගෙන සම්පුර්ණ වෙලා තිබුණේ වසර 10 ක් විතරයි. එතකොටත් ශ්‍රී ලංකාව කියන්නේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ හිටපු ළදරුවන්.

එහෙම ළදරු කණ්ඩායමකට ටෙස්ට් තරග ලැබෙන්නේ සෑහෙන අඩුවෙන්. ශ්‍රී ලංකාව ටෙස්ට් පිටියේ උපරිමයේ හිටපු දවස් වලත් තරග 4, තරග 5 තරගාවලි ක්‍රීඩා කළේ නෑ. ඉතින් මුරලිදරන් ට ලැබෙන්නේ සෑහෙන අඩු අවස්ථාවන්.

අනිත් ප්‍රධානම කාරණය තමයි මුරලි මේ තරග වදින කණ්ඩායම ටෙස්ට් පිටියේ වගේම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙත් අත්දැකීම් ලබා ගනිමින් ඉගෙන ගනිමින් ඉඳපු කණ්ඩායමක්. එහෙම කණ්ඩායමක ක්‍රීඩා කරද්දී වෙන කණ්ඩායමකට වඩා අතිරේකව මහන්සි වෙන්න වෙනවා. අතිරේකව කැපවෙන්න වෙනවා.

මුත්තයියා මුරලිදරන් කියන්නේ පන්දුව දමා ගැසීමේ චෝදනාවට ලක්වුණ ක්‍රීඩකයෙක්. ඔහුව ක්‍රිකට් පිටියෙන් නෙරපන්න තැත් කරපු අවස්ථා ගණන එකක් දෙකක් නෙමෙයි. ඕස්ට්‍රේලියානුවන් එතන ප්‍රධානයි.

අදටත් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සහ ඕස්ට්‍රේලියා ක්‍රිකට් පස්ස ගහන එක තැනක් වෙන්නේ ඔය මුරලිදරන්ගේ සිද්ධිය. මුරලිව ක්‍රිකට් පිටියෙන් එලවලා දාන්න බැරි වුණ එකේ අවුල තාමත් කැංගරුවන්ට තියෙනවා. මොන තරම් ජයග්‍රහණයන් ලැබුවත් ක්‍රිකට් ලෝකයේ රජ කළත් මේ සිදුවීම බහුතරයක් ඕස්ට්‍රේලියානුවන්ට තාමත් අමතක කරන්න බැරි එකක්.

එහෙම පීඩනයක් මැද්දේ තමයි මුරලි තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ පළමු වසර කිහිපය ගත කළේ. ක්‍රිකට් පිටියේ දිගටම රැඳී ඉන්න නම් මුරලිට ශාරීරික ශක්තිය විතරක් නෙමෙයි මානසික ශක්තියත් අවශ්‍ය වුණා.

මේ සියල්ල සමබර කරගෙන අන්තිමට දුස්රාව ප්‍රගුණ කරලා තමන්ට වල කපන්න ආපු අයව ඒ වලේම වලලන්න මුරලිදරන්ට හැකියාව ලැබෙනවා. මේ චෝදනා, වෛරය මැද්දේ අවුරුදු 20 කට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ගහන එක ලේසි දෙයක් නෙමෙයි.

ශ්‍රී ලංකාව අවුරුදු 30 ක සිවිල් යුද්ධයකට මැදිවෙලා හිටපු සමයක, රටේ බහුජාතිය සුළු ජාතිය දිහා වපර ඇහින් බලපු කාලෙක මුළු රටේ හැම ජාතියකම, ආගමකම ආදරය දිනා ගන්න දමිළ ජාතිකයෙක් වුණත් මුරලිට පුළුවන්කම ලැබෙනවා.

මේ හැම ප්‍රශ්නයක්, හැම දෙයක්ම මැද්දේ මුරලිදරන් කඩුලු 800 ක් එක්ක ටෙස්ට් පිටියෙන් සමු ගන්නවා. දැනට මුරලිගේ වාර්තාව ආසන්නයේම ඉන්න ඕස්ට්‍රේලියාවේ නේතන් ලයන් දවාගෙන තියෙන කඩුලු ගණන 562 යි. ඔහුගේ වයසත් එක්ක තවත් කඩුලු 238 ක් දවා ගන්නවා කියන්නේ 1% ක් වත් සම්භාවිතාවයක් වෙන් කරන්න බැරි දෙයක්.

ඊළඟට ලැයිස්තුවේ ඉන්න මිචෙල් ස්ටාක් කඩුලු 402 යි. ඔහු මුරලිගේ කඩුලු වලින් බාගයක් පසු කරලා තියෙන්නෙත් දැන්. එතනින් පස්සේ ඉන්න අය ගැන තවදුරටත් කතා කරලා වැඩක් නෑ.

ඊළඟට එක්දින පිටියේ වැඩිම කඩුලු ලාභියත් මුත්තයියා මුරලිදරන්. පන්දුව රතු වුණත් සුදු වුණත් තමන්ට ප්‍රශ්නයක් නෑ තමන් විශිෂ්ටයෙක් කියන්න ඒ හොඳටම ප්‍රමාණවත්. මුරලි එක්දින තරග 350 කදී කඩුලු 534 ක් දවාගෙන තිබෙනවා.

මේ ලැයිස්තුවේ දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතර මුරලිට ළඟින්ම ඉන්නේ මිචෙල් ස්ටාක්. ඒ කඩුලු 244 ක් දවාගෙන. තව මුරලිට වඩා කඩුලු 290 ක් පිටුපසින්.

මෑත කාලයේ එක්දින තරග අතිශය සීමිත වීමත් එක්ක මුරලිගේ මේ වාර්තාව නම් ක්‍රිකට් ක්‍රීඩාව පවතින තුරාවට බිඳ වැටෙයි කියලා හිතන්න අමාරුයි. මුරලිට පන්දුවාර 20 පිටියේ නම් වැඩිකල් ක්‍රීඩා කරන්න බැරි වුණේ ඒ ආකෘතිය ජනප්‍රිය වෙද්දී මුරලිගේ අවසන් සමය එළඹිලා තිබුණ නිසා.

කොහොම වුණත් සමස්ථයක් විදිහට මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 1347 ක් දවාගෙන තිබෙනවා. මේ වාර්තාවත් ලෝක ක්‍රිකට් පිටියේ බිඳ වැටෙයි කියලා හිතන්නවත් බැරි තරම් දුර තියෙන්නේ.

මෙතනත් දැනට ක්‍රීඩා කරන අයගෙන් මිචෙල් ස්ටාක් තමයි වැඩිම තැන ඉන්නේ. ඒ කඩුලු 725 ක් එක්ක. ඔහුට මුරලි එක්ක සම වෙන්න තව කඩුලු 622 ක් අවශ්‍යයි. කරන්න බැරි දෙයක් හිතවතුනි!

ශ්‍රී ලංකාව බිහි කරපු විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද කියලා ඇහුවම සමහරු කුමාර් සංගක්කාර කියනවා, සමහරු මහේල ජයවර්ධන කියනවා, සමහරු අරවින්ද ද සිල්වා කියනවා. ඒත් කවුරුත් මුත්තයියා මුරලිදරන් කියන නම කියන්නේ නැත්තේ ඇයි?

එක්දින සහ ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු ලාභියා විදිහට තවමත් වැජඹෙන සචින් තෙන්දුල්කාර් ව ඉන්දීය ප්‍රේක්ෂයන් දෙවියෙක් විදිහට සලකනවා. වැඳුම් පිඳුම් කරනවා. හැබැයි මේ ආකෘති දෙකේම වැඩිම කඩුලු ලාභියා වන මුරලිව අපිට මතකයිද?

මටනම් Cricket Goat Debate වලදී වැඩිපුරම අසාධාරණයට ලක්වෙන ක්‍රීඩකයා මුත්තයියා මුරලිදරන්. ශ්‍රී ලංකාව කියන රට ඇතුළේ ඔහු තරම් චරිතයක් බිහි වෙලා නෑ.

මුරලි කියන්නේ ලෝක ශූරයෙක්, ශූර‍යන්ගේ කුසලානය ජයගත් ක්‍රීඩකයෙක්, ලෝක කුසලාන අවසන් මහා තරග 3 ක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්.

ඔහුව මීට වඩා ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වෙන්නම ඕනි. මීට වඩා මුරලිදරන් ගැන අපේ රටේ ක්‍රිකට් ගහන ළමයි දැනගන්නම ඕනි. ඔහු සැබෑ ක්‍රිකට් පුරාවෘත්තයක්!

- ProSports -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න