ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ උපහාර උළෙලක් ගාල්ලේදී..!

සතියේ දිනපහ තුලවත් කරන්න වැඩක් නැති ඇතැම් ආයතන වල සමහර සේවකයින් සෙනසුරාදා, ඉරිදා මෙන්ම ප.ව 4.15 න් පසුවත් අතිකාල සේවයේ යෙදෙන බව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ඉංජිනේරු විජිත වීරතුංග මහතා…
සතියේ දිනපහ තුලවත් කරන්න වැඩක් නැති ඇතැම් ආයතන වල සමහර සේවකයින් සෙනසුරාදා, ඉරිදා මෙන්ම ප.ව 4.15 න් පසුවත් අතිකාල සේවයේ යෙදෙන බව ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ඉංජිනේරු විජිත වීරතුංග මහතා ඉරිදා (09) ගාල්ලේදී ප්‍රකාශ කළේය.
ජීවිතය විදවන පුද්ගලයින් සහිත ආයතන වලට වඩා ජීවිතය විදින පුද්ගලයින් සහිත ආයතන වල කාර්යක්ෂමතාවය වැඩි බවත් ඉදහිට හෝ පවුලේ අය සමග චිත්‍රපටියක් හෝ නාට්‍යයක් නැරඹිය යුතු බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය වර්ෂය තුල විශ්‍රාම ලැබූවන් වෙනුවෙන් ගාල්ල, සමෝදා උත්සව ශාලාවේදී පැවති ‘උත්තමාචාර උපහාර උළෙල’ අමතමින් විජිත වීරතුංග මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙම උත්තමාචාර උපහාර උළෙලේදී වසර 17 ක් වෙල්ඩිම් උපදේශකවරයෙකු ලෙස සේවය කල ඩී කේ ආර් ජනප්‍රිය, වසර 28 ක් මෝටර් කාර්මික උපදේශකවරයෙකු ලෙස සේවය කල ඒ ජී ගුණවර්ධන, වසර 26 ක් ඇගළුම් හා ඇදුම් මැසීම උපදේශිකාවක ලෙස සේවය කල පී එම් දීපරාණී, වසර 25 ක් වෙල්ඩිම් උපදේශකවරයෙකු ලෙස සේවය කල ඩබ්ලිව් කේ සරත්, වසර 24 ක් වඩු කාර්මික උපදේශකවරයෙකු ලෙස සේවය කල ඒ එල් සරත්, වසර 26 ක් අධිවේගී මැහුම් හා සූපවේදී උපදේශිකාවක ලෙස සේවය කල එල් සී කණකරත්න, වසර 23 ක් කළමණාකරන සහකාරවරයෙකු ලෙස සේවය කල ජී ජී ඒ ප්‍රියන්ත, වසර 23 ක් කාර්‍යාල කාර්ය සහයකවරියක ලෙස සේවය කල ඩබ්ලිව් එල් ඒ මල්ලිකා යන මහත්ම මහත්මීන් උපහාරයට පාත්‍ර විය. වෘත්තීය පුහුණු අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සුභ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද මෙම උපහාර උත්සවයේදී උපහාර ලාභීන්ට උපහාර තිලිණයක් මෙන්ම මුදල් ත්‍යාගයක් පිරිණැමීමටද කටයුතු කර තිබුණි.
දැන්වීම
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඉංජිනේරු විජිත වීරතුංග මහතා මෙසේද කීය.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, අපේ රටේ කාර්මික අධ්‍යාපනයේ දැවැන්ත ආයතනයක්. 1995 වසරේ ආරම්භ කල මේ ආයතනය ඔරුගොඩවත්ත, නාරාහේන්පිට වගේ දැවැන්ත පුහුණු ආයතන වලින් සමන්විතයි. නගරයට යෑමේ අපහසුතා තිබෙන ග්‍රාමීය දරුවන් රැසකගේ අනාගතය මේ ආයතනය සුරක්ෂිත කරමින් සිටිනවා. අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලය පමණක් 2000 කට ආසන්නයි. වසර 30 ක ඉතිහාසය තුල ලක්ෂ 07 කට අධික කාර්මිකයින් ප්‍රමාණයක් වෘත්තීය පුහුණු අධිකාරිය දැයට දායාද කර තිබෙනවා. වසරක ඉලක්කය ආධුනිකයින් 40000 ක් දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝකයේ සියළු දියුණු රටවල වල පදනම කාර්මික අධ්‍යාපනයයි. කාර්මික අධ්‍යාපනය ඉවතලා කිසිදු රටක් දියුණු කරන්න බැහැ. මේ බව අවබෝධ කරගත් ජර්මනිය, ජපානය, ඇමරිකාව, බ්‍රිතාන්‍යය, චීනය වගේ රටවල් වත්මන් මට්ටමට පත්ව තිබෙනවා.
පසුගිය වසරේ විශ්‍රාම ලබා අද (09) උපහාර ලබන මේ පිරිස අතර උපදේශකවරුන් 06 ක් ඉන්නවා. අනෙක් දෙදෙනා අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ. වසර 26 ක් 27 ක් දරුවන් පුහුණු කල මොවුන් සැබෑ ලෙසම ජාතියේ ගෞරවයට පාත්‍ර විය යුතුයි. ඔබ රජයේ සේවයෙන් විශ්‍රාම ලැබුවත් විශ්‍රාම යන වචනය ගැන වැඩියෙන් හිතන්න එපා. ඔබ නැවත ගෙදර සේවයට එකතු වෙනවා. තමන්ගේ දරුවන් තමන් ගිය තැනට වඩා ඉහළට ඔසවා තබන්න ඔබ කටයුතු කල යුතුයි. කාර්මික අධ්‍යාපන කේෂ්ත්‍රයේ වැඩ කලත් ඔබ, ඔබ ඔබ වැඩ කරන මැෂින් වගේ විය යුතු නැහැ. ජීවිතය විදවන පුද්ගලයින්ට වඩා ජීවිතය විදින පුද්ගලයින්ගේ කාර්යක්ෂමතාවය වැඩියි. ඉදහිට හෝ පවුලේ අය සමග චිත්‍රපටියක් හෝ නාට්‍යයක් බලන්න. ගීත කණ්ඩයක් අහන්න. නිසදැසක් කියවන්න. ඒවායින් ජීවිතයට ලැබෙන දේ මිළ කල නොහැකියි.
රජයේ ආයතන සතියේ දින 05 ක් වැඩ කරනවා. ඇතැම් ආයතන වල සතියට දින 04 ක් වත් කරන්න දෙයක් නැහැ. අතිරික්ත කාර්යය මණ්ඩලයක් පවා සිටිනවා. නමුත් මේ ආයතන වල සේවකයින් සෙනසුරාදා, ඉරිදා අතිකාල සේවයේ පවා යෙදෙනවා. සවස 4.15 න් පස්සෙත් ඹ් ටී කරනවා. සේවකයින් කැප වෙන්න ඹ්නෑ. නිකන් ඉදල වැඩි වැටුපක් ලබනවට වඩා මහන්සි වෙලා වැඩ කරල ආදායම් උපයල වැටුප් වැඩි කර ගැනීමයි, කල යුත්තේ. රජයේ සේවයින්ගේ වැටුප් ජීවත් වෙන්න ප්‍රමාණවත් නැති බව අපි දන්නවා. නමුත් ආයතන ලෙස වැටුප් පිළිබද තීරණ ගන්න ආයතන වලට පුළුවන් කමක් නැහැ. නමුත් අපි ප්‍රතිපත්තියක් ලෙස රජයේ සේවකයාගේ වැටුප් ඉහළට ඔසවා තබන්න කටයුතු කරනවා. මම, වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ලෙස වැඩ බාරගත්තායින් පස්සේ මට වැඩිපුරම කාලය වැය කරන්න වෙලා තිබෙන්නේ ස්ථාන මාරු ප්‍රශ්ණ විසදන්න. නමුත් කාර්මික අධ්‍යාපනයේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැය කල යුතු වෙනවා.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහන වත්මන් රජයේ ප්‍රධානතම ව්‍යාපෘතියක්. එයින් අදහස් කරන්නේ වත්ත, පිටිය, පාරවල්, මුහුදු වෙරළ සුද්ධ පවිත්‍ර කිරීමම පමණක් නොවෙයි. පිරිපුන් මිනිසෙක් නිර්මාණය කිරීමත් වැදගත් වෙනවා. එහෙම වුණොත් පමණයි, පොහොසත් රටක ජීවත් වෙන ලස්සන ජීවිතයක් ගත කරන මිනිස්සු නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ තැනට මේ රට ගෙනියන්න සියළු දෙනාගේ දායකත්වය අවශ්‍යයි. ඒ සදහා පෙල ගැසෙන ලෙසත්, පෙරමුණ ගන්නා ලෙසත් කැපවන ලෙසත් සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මේජර ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රියන්ත වීරසිංහ, අධ්‍යක්ෂ (පුහුණු) ශාන්තී එදිරිසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන සරත් මැද්දේගොඩ, නිමල්සිරි විදානගමගේ, සුභ සාධක සංගමයේ සභාපති පුහුණු නිලධාරී රුවන් සමරවික්‍රම, ලේකම් සංතෝෂණී කරුණාරත්න, භාණ්ගාරික චමිලා උදයංගනී, සාමාජිකයින් වන නිහාල් විතානගේ සහ ප්‍රියන්ති මායාදුන්නේ යන මහත්ම මහත්මීන්ද මෙහිදී කතා කලහ.
