ශ්‍රී ලංකා ආණ්ඩුව දෙබිඩියි - ඇමරිකාව දෙහි කපයි

අනුර බෝල්ෂෙවික්..! හරිනි ලිබටයින්..! (අචින්ත මධුර) ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. 2025 වර්ෂයට අදාළව…
අනුර බෝල්ෂෙවික්..! හරිනි ලිබටයින්..!
(අචින්ත මධුර)
ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
2025 වර්ෂයට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේග රජයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් නිරන්තරයෙන් පුද්ගලික අංශය ප්‍රමුඛ ආර්ථික වර්ධනය විවේචනය කරන බවයි.
ජාතික ජන බලවේග ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ආයෝජකයින්ට සහතිකයක් ලබා දුන්නද, ආණ්ඩුවේ අතීතයේ සිට පැවත එන බටහිර විරෝධී, මාක්ස්වාදී බලපෑම් සහිත මතවාද හේතුවෙන් ආයෝජකයින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකයෙන් පසුවන බවයි.
දැන්වීම
එමෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව ප්‍රකාශ කරන එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලය ප්‍රධාන ආයෝජන ප්‍රවර්ධන ආයතනය වුවද ඔවුන් සමග ස්ථාවර සහ විවෘත සංවාදයක් පවත්වා ගැනීම අභියෝගයක් වී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට පවතින සෙසු ගැටලු ලෙස අනවශ්‍ය නියාමනයන්, නෛතික අවිනිශ්චිත භාවය සහ දුර්වල ලෙස නිලධාරීන් ප්‍රතිචාර දැක්වීමද දක්වා තිබේ. එමෙන්ම ඉන්දීය සමාගමක් වන අධානි සමාගම ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ඩොලර් මිලියන 400ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකින් ඉවත් වූ බවත්, ඊට ඔවුන් හේතුව ලෙස දක්වා ඇත්තේ කලින් ප්‍රධානය කළ කොන්ත්‍රාත්තුවක් නැවත සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රජය දැරූ උත්සාහයක් බවටත් අදාළ වාර්තාවේ සඳහන් වී ඇත.
ජාතික ජන බලවේග රජයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් නිතිපතා පුද්ගලික අංශය ප්‍රමුඛ ආර්ථික වර්ධනය විවේචනය කරන බවත්, රාජ්‍ය අයිතිය සහිත සාමූහිකත්වය රටේ ප්‍රියතම ආයෝජන ආකෘතිය ලෙස ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කරන බවත් අදාළ වාර්තාවෙන් තවදුරටත් පෙන්වා දී ඇත.
මෙවැනිම අදහසක් ඉදිරිපත් කරමින් පාටලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ මත දෙකක් ක්‍රියාත්මක බවයි. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෝල්ෂෙවික් ක්‍රමයට කටයුතු කරන බවත්, අගමැති හරිනි අමරසූරිය ලිබටයින් ක්‍රමයට කටයුතු කරන බවත් රණවක මහතා පෙන්වා දුන්නේය.