අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ඇමරිකාවෙන් ආධාර..!

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ඇමරිකාවෙන් ආධාර..!

(හේමන්ත තුෂිත) ආර්ථික සංවර්ධනය හරහා දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් කටයුතු කරන ප්‍ර‍ධාන ඇමරිකානු නියෝජිතායතනයක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටිතල…

(හේමන්ත තුෂිත)

ආර්ථික සංවර්ධනය හරහා දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් කටයුතු කරන ප්‍ර‍ධාන ඇමරිකානු නියෝජිතායතනයක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය සහ ඉඩම් කළමනාකරණ කටයුතු සඳහා ආධාර ලබාදීමේ වැඩසටහනක් දියත් කර ඇත.

රජයේ “2025 දැක්ම“ ට සමගාමීව ක්‍රියාත්මකවන මෙම ව්‍යාපෘතිය රටේ ආර්ථික සංවර්ධනය සදහා මූලික අඩිතාලමක් ලෙස හදුන්වයි. MCC ආයතනය විසින් තම ආධාර වැඩසටහන සදහා රටවල් තෝරා ගැනීම ඉතාමත් තරගකාරී වන නමුත් ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව පිළිබඳ ගැඹුරු අධ්‍යනයක් කිරීමෙන් අනතුරුව තවදුරටත් යෝජිත ව්‍යාපෘති සම්බන්ධව ඉදිරියටත් කටයුතු කිරීමට MCC ආයතනය විසින් අනුමැතිය ලබා දී ඇත.

දැන්වීම

වසර 2004 දී ශ්‍රී ලංකාව මෙම MCC ආධාර වැඩසටහන සඳහා තෝරාගෙන තිබු නමුත් ඉන් පසුව උද්ගත වූ තත්වයන් හේතු කොට ගෙන ශ්‍රී ලංකාව වෙත ලැබුනා වූ ඒ අනගිභවනීය අවස්ථාව අහිමි විය.වසර 2015 දී බලයට පත් වූ නව රජයේ ප්‍රතිපත්ති සැලකිල්ලට ගැනීමෙන් පසුවනැවතත් එම අවස්ථාව ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීමට අවස්ථාව ලැබුණි. 2016 දෙසැම්බර් මස MCC ආයතනයේ ආධාර වැඩසටහනේ නිර්ණායකයන් ලෙස සලකන යහපාලනය, ආර්ථික නිදහස සහ පුරවැසියන්ගේ ආයෝජන ආදිය සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ආධාර වැඩසටහන සඳහා තෝරාගන්නාලද අතර ව්‍යාපෘතියේ කටයුතු සඳහා2017 දී අගමැති කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය යටතේ අදාල ක්ෂේත්‍රයන් පිළිබඳ විශේෂඥ කණ්ඩායමකින් සැදුම්ලත් විශේෂ ව්‍යාපෘති කාර්යාලයක් ද ස්ථාපිත කරන ලදී.

එම කණ්ඩායම විසින් MCC ආයතනයේ විශේෂඥවරුන් සමඟ ප්‍රවාහන ක්ෂේත්‍රය හා ඉඩම් ක්ෂේත්‍ර‍ය පිළිබදව අදාල ආයතන හා එකතුව කරන ලද අධ්‍යනයන්ගෙන් අනතුරුව ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සඳහා විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.එම වර්තාව සදහා විවිධ රාජ්‍ය හා පෞද්ගලික, සිවිල් සමාජීය ආයතන රාශියක් සමඟ සාකච්ජා සිදුකළ අතර එමගින් ආර්ථික බලපෑම, වසර පහක් තුළ නිම කිරීමට ඇති හැකියාව, ව්‍යාපෘතියේ තිරසාරභාවය හා ඉලක්ක ප්‍රතිලාභ ලබන්නන්ගේ ස්වභාවය ආදී විවිධ වූ සාධක පිළිබදව විශ්ලේෂණාත්මක අධ්‍යනයක් සිදු කරන ලදී.

ප්‍රවාහන ක්ෂේත්‍රය සබැදි මෙම යෝජිත ව්‍යාපෘතිය කොටස් දෙකකින් යුක්ත වේ. මින් පළමුවැන්න නාගරික ප්‍රදේශවල පවතින අධික වාහන තදබදය අවම කිරීම අරමුණු කරගන්නා අතර බස්නාහිර පළාතේ අඩු පහසුකම් ඇති ප්‍රදේශ, වෙළදපොළ සහ වරාය ආවරණය වන පරිදි ප්‍රවාහන ජාලය දියුණු කිරීම අරමුණු කොට ගෙන ඇත.මේ යටතේ බස් නව්‍යකරණ වැඩසටහන සහ කොළඹ නාගරික සීමාව තුළ අධික තදබදයක් සහිත මාර්ගවල වාහන තදබදය අවමකර ප්‍රවාහනය කාර්යක්‍ෂම කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ඇත.

මෙහි දෙවැනි අදියර යටතේ පහසුකම් අඩු ප්‍රදේශවල ජාතික මාර්ග පද්ධතිය නවීකරණය කිරීමට සහ දේශීය හා විදේශීය වෙළදපොළ තුළ කෘෂි ආශ්‍රිත නිෂ්පාදනයන්හි ආකර්ෂණියත්වය වැඩි කිරීමට පෞද්ගලික අංශය දිරිහැන්වීම සදහා ඉලක්ක කර ඇත.ඉඩම් පරිපාලනය විධිමත් කිරීම සදහාද මෙහි දී  අවධානය යොමු වී ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ 2017 ජුනි මාසයේ දී MCC ආයතනය විසින්ඇමරිකන් ඩොලර් මිලියන 7.4 ආධාර මුදලක් ලබාදුන් අතර ඊට අමතරව MCC ආයතනය ඉහත යෝජිත ව්‍යාපෘතියන්හි තාක්ෂණික ශක්‍යතා අධ්‍යනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2.6 වෙන්කර තිබුණි.

නියමිත මූලික අධ්‍යයනයන් නිම කිරීමෙන් අනතුරුව 2018 අග භාගය වන විට MCC  ආයතනය සහ  ශ්‍රී ලංකා රජය මෙම ආධාර ගිවිසුම සඳහා අත්සන් කිරීමට බලාපොරොත්තු වන අතර මෙය ශ්‍රී ලංකාව විසින් මෑතකදී ලබාගත් විශිෂ්ට ජයග්‍ර‍ණයක් ලෙස හැදින්විය හැකිය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ඇමරිකාවෙන් ආධාර..! | Lanka Newsweek