ශ්‍රී ලංකාවේ ආයෝජන අවකාශ වැඩි කරන බවට සිංගප්පූරු අගමැති සහතික වෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමත් සමග ශ්‍රී ලංකාවේ ආයෝජන අවකාශයන් වැඩි කිරීමට කටයුතු කරන බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ශින් ලූං (HE Lee Hsien Loong) මහතා පැවසීය.…
(සුජිත් මංගල ද සිල්වා)
ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමත් සමග ශ්‍රී ලංකාවේ ආයෝජන අවකාශයන් වැඩි කිරීමට කටයුතු කරන බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ශින් ලූං (HE Lee Hsien Loong) මහතා පැවසීය.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස වෙත සඳුදා (09) දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූ අවස්ථාවේ සිංගප්පූරු අග්‍රමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේ දැනට සිංගප්පූරුව තුළ ආයෝජන සිදු කරන වෙනත් විදේශීය ව්‍යවසායකයින් ද ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා උනන්දු කරවීමේ අවස්ථා මෙම ගිවිසුම ඔස්සේ උදාවන බවය.
නිදහස් වෙළඳ ගිවිසුම ඔස්සේ නව තාක්‍ෂණය, දැනුම හා රැකියා අවස්ථා වැඩි වැඩියෙන් ශ්‍රී ලාංකිකයන් වෙත ලබා ගැනීමට හැකි වන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.
ආර්ථික, පරිපාලන හා සමාජයීය ක්ෂේත්‍රයන්හිදී දෙරට සමීපව කටයුතු කිරීමෙන් දෙරටටම වාසිදායී අවස්ථා නිර්මාණය කර ගත හැකි බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
සිංගප්පූරු පාර්ශවය නියෝජනය කරමින් ලී මහත්මිය, තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය එස්. ඊශ්වරන් (Hon. S. Iswaran), මිනිස්බල ඇමතිනී ජොසෆින් ටීඕ (Hon. Josephine Teo), ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති චන්ද්‍රා දාස් සහ අග්‍රාමාත්‍ය ප්‍රධාන පුද්ගලික ලේකම් ජෙෆ්රි සිඕ යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සංවර්ධන උපාය මාර්ග සහ ජාතන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති නිමල් වීරරත්න යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1