"ශ්‍රීලනිපය දොවනවා-එජාපය පොවනවා"

(නිලන්ති මානෙල්) එක්සත් ජාතික පක්ෂයෙ ඇමැතිවරුන් සිය අමාත්‍යාංශවලින් රටේ ආර්ථිකයට කිරි පොවමින් පොහොසත් කරන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් එම ආදායම දොවමින් සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ…
(නිලන්ති මානෙල්)
එක්සත් ජාතික පක්ෂයෙ ඇමැතිවරුන් සිය අමාත්‍යාංශවලින් රටේ ආර්ථිකයට කිරි පොවමින් පොහොසත් කරන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් එම ආදායම දොවමින් සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා චෝදනා කරයි.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ඉදි කෙරුණු ජාත්‍යන්තර මට්ටමේ කෘත්‍රීම ධාවන පථය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.
දැන්වීම
රුපියල් කෝටි පනහක වියදමින් ඉදි කෙරුණු මෙම කෘතීම ධාවන පථයට , මීටර් 200 සහ මීටර් 400 ධාවන පථ දෙකක් අයත් වේ.
රවී කරුණානායක මහතා උත්සවය අමතමින් කියා සිටියේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ නායකත්වයෙන් පවතින සම්මුතිවාදී ආණ්ඩුව, රට සංවර්ධනය කිරීම සඳහා ලැබුණු සුදුසුම අවස්ථාව වන බවයි. මෙම සම්මුතිය විපර්යාසයට ලක් වුව හොත් ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් විය හැකි බව ද හෙතෙම පැවසීය.
එසේ වූවහොත්, වත්මන් පාලනය සම්බන්ධයෙන් ජනතාව අතර පවතින විශ්වාසය පළුදු විය හැකි බවත් තුවක්කුව,පිස්තෝලය හෝ පාතාලය මගින් රටේ පාලනය මෙහෙය වන්නේ ද යනුවෙන් ජනතාව ප්‍රශ්න කරනු ඇති බව ද රවී කරුණානායක මහතා කියා සිටියේ ය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව ගොඩ නගා ගත් සම්මුතිවාදී පාලනය අභියෝගයට ලක් නොවන ආකාරයෙන් පවත්වා ගෙන යාම සියලු දෙනාගේ වග කීම විය යුතු බවය.
" අද මේ වැය කරන්නෙ රටේ මුදල්, රටේ මුදල් කියන්නෙ ජනතාවගේ මුදල්, මම මුදල් ඇමැති කාලෙ දයාසිරි ජයසේකර ඇමැතිතුමාගේ ඉල්ලීමකට අනුව මේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විශාල මුදලක් වෙන් කළා.දයාසිරි ජයසේකර ඇමැතිතුමා, ඒ මුදල්වලට සාධාරණ ය, ඉටු කරල තියෙනවා. අනෙකුත් අමාත්‍යාංශවලත් මේ වගේ වැඩ සිද්ධ වෙනව නම් මේ රට ගොඩ නගන එක අපහසු නැහැ.
නාස්තිය සහ දූෂණය අද ඉහළ ගිහින් තියෙන්නෙ. ආණ්ඩු වෙනස් වුණත්, දූෂණයට සම්බන්ධ සුළුතර නිලධාරීන් වෙනස් වෙලා නැහැ. මේ රට හදන්න, පුලුවන් හරි දැක්මක් යටතේ වැඩ කිරීමෙන් පමණයි. අද වැඩ කරන අයට තමා, චෝදනා කරන්නෙ, දැන් එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංසන්දනය කළොත් කොටස් දෙකක්.
එක පැත්තකින් පොවනව,අනිත් පැත්තෙන් දොවනවා. එක්සත්ජාතික පක්ෂයේ ඇමැතිවරුන්ට තියෙන්නෙ පොවන අමාත්‍යාංශ, මුදල්, විදේශ කටයුතු වගේ අමාරුවෙන් කර ගෙන යන අමාත්‍යාංශ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන්නෙ දොවන අමාත්‍යාංශ,සමෘද්ධි , කම්කරු, ක්‍රීඩා වගේ අමාත්‍යාංශ.
එක්සත් ජාතික පක්ෂය පොවනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දොවනවා. ජනතාවට ප්‍රතිලාභ දෙන්න පුළුවන් අමාත්‍යාංශ ටික තියෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු ළඟ. දැන් විශ්වාස භංගයේදී , දායාසිරි ජයසේකර ඇමැතිතුමා එක මතයක හිටියෙ, ඒ එච් එම් ෆවුසි ඇමැතිතුමා තවත් මතයක හිටියෙ.මේක නෙමේ අවශ්‍ය. මගේ අදහස නම් විශ්වාස භංග අවශ්‍ය නැහැ.විශ්වාසය තහවුරු කර ගත යුත්තේ ජනතා අතරයි" යනුවෙන් ද රවී කරුණානායක මහතා එහිදී කියා සිටියේය.