ශරීර කොටස්වලටත් බදු ගහන යුගය වැඩි ඈතක නැහැ

උග්‍ර ආර්ථික අර්බුධය සෑම පුද්ගලයකුගේම ජන ජීවිතවලට බලපෑම් එල්ල කර ඇති බවත් ආර්ථික අර්බුධයෙන් ගැලවීමට සැවොම කැප කිරීම් කළ යුතු වුවත් ඒ සඳහා නිසි නායකත්වය සහ උපක්‍රම තෝරා ගැනීම පාලක රජය සතු වුවත්…
උග්‍ර ආර්ථික අර්බුධය සෑම පුද්ගලයකුගේම ජන ජීවිතවලට බලපෑම් එල්ල කර ඇති බවත් ආර්ථික අර්බුධයෙන් ගැලවීමට සැවොම කැප කිරීම් කළ යුතු වුවත් ඒ සඳහා නිසි නායකත්වය සහ උපක්‍රම තෝරා ගැනීම පාලක රජය සතු වුවත් නිවැරදි උපක්‍රම තෝරා නොගැනීම සහ විද්‍යාත්මක පදනමකින් තොරව රැස් කර ගත් දත්ත මත ගන්නා තීරණ හේතුවෙන් ආර්ථිකය නැවත නිවැරදි දිශාවකට යොමු කළ නොහැකි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
බංකොලොත් රටක පවා නිවැරදි දත්ත සැගවීම, මූලික නෛතික සීමා නොතකා හැරිම සහ ජනතාව වෙත අනවශ්‍ය ලෙස ආර්ථික පීඩනයන් පනවන බවත් "VAT" බදු 18%ට වැඩි කර අසීමිත පීඩනයක් ජනතාව මත පටවා ඇති බවත් මේ යන විදිහට ඉදිරියේදී ශරීරයේ අවයවවලටත් "VAT" බදු ගැසිය හැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බදාදා (06) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.
දැන්වීම
විද්‍යාත්මක දත්ත නොමැතිව අයවැයක් සකස් කළ නොහැකි බවත් එබැවින් රටට සත්‍ය තොරතුරු ඉදිරිපත් කළ යුතු බවත් වැට් බද්දක් යනු දුප්පත් මිනිසා සහ පොහොසත් මිනිසා එක හා සමානව ගෙවිය යුතු බද්දක් වුවත් මේ වන විට රෝහල් උපකරණ අත්‍යාවශ්‍ය උපාංග සහ ත්‍රිපෝෂවලට පවා වැට් බදු යොමු කර ඇති බවත් මේ වන විට බදු බර තුන්ගුණයකින් වැඩි කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයාගේ අයවැය කතාවේදී 2024 දී අපේක්ෂිත උද්ධමන අනුපාතය 9.6%ක් යැයි පැවසුවත් මහ බැංකුව එම අගය 5%ක් යැයි පවසන බවත් මහ බැංකුව සහ මුදල් ඇමතිවරයාගේ දත්ත අතර පරස්පරතා දක්නට ලැබෙන බවත් මෙවැනි පරස්පරතා මත ආර්ථික කඩා වැටීමෙන් ගොඩ ඒමට නොහැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේ ම රට බංකොලොත් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව පරිශීලනය කරන ලෙසත් එම තීන්දුව අනුව නඩුව පැවරූ තිදෙනාගේ පමණක් නොව ලක්ෂ 220ම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට සනාථ වූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
තවද විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරිම වැඩි කළත් අධ්‍යාපනයට වෙන් කරන මුදල් අඩු කර ඇති බවත් මේ නිසා ආචාර්යවරු ආදින් බුද්ධි ගලනයට ලක්ව ඇති බවත් මේ සියල්ල සිදු කර රජය අවසානයේ ණය ගන්න උත්සාහ කරන බවත් එසේ ගන්නා ණය මතු පරපුර ගෙවිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
එමෙන් ම අධිකරණ ඇමතිවරයා පැවසූ ආකාරයට රටෙන් හොරා කන ලද මුදල් විදෙස් රටවල ඇති නිසා එම මුදල් නැවත ලබා ගන්නේ කවදාද කියා රජයෙන් ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පැවසීය.