වෘත්තීය නායකයින් අත්අඩංගුවට ගැනීම කරූ හෙළා දකියි

එම අත්අඩංගුවට ගැනීම් ජනපතිගේ රාජාසන කතාවට විරුද්ධයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන…
එම අත්අඩංගුවට ගැනීම් ජනපතිගේ රාජාසන කතාවට විරුද්ධයි
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකින්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එලෙස වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගැනීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ දී සිදු කරනු ලැබූ රාජාසන කතාවේ වැදගත් පරමාර්ථවලට විරුද්ධ යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් බොහෝ දෙනකු සුබවාදී ආකල්පයකින් පසු වන බව පෙනෙන්නට තිබේ. ආර්ථිකය ශක්තිමත් කිරීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කිරීමටත්, විදුලිය සහ ඉන්ධන සැපයීම විධිමත් කිරීමට පියවර ගැනීමටත්, අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමට සේම ජීවන වියදම අඩු කිරීමටත්, තමා සූදානම් බව ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කිරීම රටේ යහපතට වැදගත් වන ප්‍රතිපත්තිමය කාරණා බව අපගේ පිළි ගැනීමයි. එය ජනතාවට මහත් සැනසීමක් ගෙන දෙන කරුණු කාරණා වනු ඇත. පාර්ලිමේන්තුවේ බලතල වැඩි කිරීම තුළින් පසු පෙළ මන්ත්‍රීන්ට රාජ්‍යකරණයට කෙලින්ම සහභාගිවීමටත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමට පියවර ගැනීම ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප අගය කරන්නෙමු.
එවන් පරිසරයක් තුළ අපගේ ප්‍රසාදයට ලක් නොවන වෙනත් තත්ත්වයක් ද මේ වන විට දකින්නට තිබේ. ඒ අනුව අප ප්‍රථමයෙන්ම අවධාරණය කරන්නේ සාමකාමී අරගලයක නිරත වෙමින් සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් , ලංකා බැංකු සේවක සංගමයේ නිළධාරීන් වන පාලිත ඇටම්පොල, ධනංජය සිරිවර්ධන යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම සාධාරණීකරනය කළ නොහැකි ක්‍රියාමාර්ගයන් වන බවය.
එබැවින් අප ඉතාමත් ඕනෑකමකින් යුතුව රජයෙන් ඉල්ලා සිටින්නේ අද රට මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික සහ දේශපාලන අර්බුදයට යහපත් විසඳුමක් සපයා ගැනීම සදහා යොමු විය යුතු ප්‍රමුඛ අවධානය සැලකිල්ලට ගනිමින් හෝ දේශපාලන ප්‍රතිසංස්කරණ උදෙසා පෙනී සිටින අරගල ප්‍රජාව සමග සාකච්ඡා කරමින් නොපමාව යහපත් සම්මුතියකට එළඹෙන ලෙසය.
අප මේ බව අවධාරණය කරන්නේ රටේ ඉදිරි යහ පැවැත්ම උදෙසා සර්ව පාක්ෂික මෙන්ම සමාජයේ අනෙකුත් බලපෑම් කණ්ඩායම් සමගද පොදු එකගත්වයකින් යුතුව කටයුතු කිරීමේ ඇති වැදගත්කම මුල් කර ගනිමිනි. එවැනි අවංක ප්‍රවේශයකට යොමු වීමට රජය යම් හෙයකින් හෝ අපොහොසත් වුව හොත් එය ගරු ජනාධිපතිතුමා අවධාරණයෙන් යුතුව අපේක්ෂා කරන සර්ව පාක්ෂික රජයක් නිර්මාණය කර ගැනීමට මෙන්ම අන්තර් ජාතික ප්‍රජාවේ සහය ලබා ගැනීමේදී ද අනිටු ප්‍රතිඵල අත්කර දිය හැකිය. අවාසනාවකට හෝ එවැනි පසුබිමක් නිර්මාණය වුව හොත් එය ගරු ජනාධිපතිතුමාට සහ රජයට මෙන්ම රටට ද කිසිසේත්ම යහපත් වන්නේ නැත.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙන්ම අන්තර්ජාතික ප්‍රජාවද මෙම සිදුවීම් හමුවේ ප්‍රකාශයට පත්කර ඇති අදහස් කෙරෙහි රජය සිය බලවත් අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යය. එමෙන්ම රටේ සමාන්‍ය පොදු ජනතාවගේ අභිලාශයන් සහ ඔවුන්ගේ අදහස් කෙරෙහිද රජය බැරෑරුම් ලෙස සවන්දිය යුතුය.
අප මෙම කරුණු කෙරෙහි ගරු ජනාධිපතිතුමාගේත් රජයේත් අවධානය යොමු කර වන්නේ ඉතාමත් ස්ද්භාවයෙනි. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා සිය රාජාසන කතාවේදී ප්‍රකාශ කරන ලද මූලික අපේක්ශාවන් යහපත් ආකාරයට සාක්ෂාත් කර ගැනීමේ ඇති වැදගත්කම මුල් කර ගනිමිනි.