අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විස්සයි-20 එජාප නියමුවෝ පත් වෙති..!

විස්සයි-20 එජාප නියමුවෝ පත් වෙති..!

“අකිල-රවී” දිනා ගනී-“සජිත්-අජිත්”අනා ගනී..! ආර්ථික ඝාතක මලික් විසි වෙයි..! “නවීන්-හරීන්” පෙරට එයි..! රන්ජන් රාමනායක තනි වෙයි..! මහ ලේකම් අකිල-සභාපති කබීර්-නි.නායක සජිත්-උ.නායක රවී-ජාතික සංවිධායක…

“අකිල-රවී” දිනා ගනී-“සජිත්-අජිත්”අනා ගනී..!

ආර්ථික ඝාතක මලික් විසි වෙයි..!

“නවීන්-හරීන්”  පෙරට එයි..!

රන්ජන් රාමනායක තනි වෙයි..!

මහ ලේකම් අකිල-සභාපති කබීර්-නි.නායක සජිත්-උ.නායක රවී-ජාතික සංවිධායක නවීන්-භාණ්ඩාගාරික හර්ෂ

විස්සයි-20 එජාප නියමුවෝ පත් වෙති..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට අකිල විරාජ් කාරියවසම් මහතා ද   සභාපති  ධූරයට කබීර් හෂීම්  මහතා ද අද (26) පත් කෙරිණ.

එක්සත් ජාතික පක්ෂයේ  නියෝජ්‍ය නායක ධූරයට සජිත් ප්‍රේමදාස මහතා ද උප නායක ධූරයට රවී කරුණානායක මහතා ද පත් කෙරුණු අතර ජාතික සංවිධායක ධූරයට නවීන් දිසානායක මහතා ද  මහ භාණ්ඩාගාරික ධූරයට හර්ෂ ද සිල්වා  මහතා ද පත් කරනු ලැබිණ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක  සහ  ජන සන්නිවේදන ලේකම්වරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත් කෙරුණු අතර ඒකාබද්ධ වෘත්තීය සමිති ලේකම්වරයා ලෙස අජිත් පී පෙරේරා මහතා ද සහකාර ලේකම්වරයා ලෙස රුවන් විජයවර්ධන මහතා ද පත් කරනු ලැබිණ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් පත් කෙරිණ.

මේ පත් කිරීම් සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද (26) පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.

එක්සත් ජාතික පක්ෂ නායක  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙසේ රැස් වූයේ පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ පත් වූ නව නිලධාරී මණ්ඩලය අනුමත කර ගැනීම සඳහාය.

මහ  ලේකම් ධූරයට අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනවාට  තමා පෞද්ගලිකව එකඟ නොවන බව එහිදී පෙන්වා දුන් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කෙසේ නමුත් බහුතර කැමැත්ත පිළිගන්නා බව ද පැවසීය.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතා මේ විරෝධය පළ කළේ මහ ලේකම් ධූරය සඳහා අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම යෝජනා කර ඊට කවුරුන් හෝ විරුද්ධ දැයි රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් විමසා සිටි අවස්ථාවේ නොව කිසිදු විරෝධයක් පළ නොවීම හමුවේ එම යෝජනාව ස්ථිර වුණාට ද පසුවය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට ඉමිතියාස් බාකීර් මාකර් මහතා පත් කරනවා නම් වඩා හොඳ යැයි යන යෝජනා සජිත් ප්‍රේමදාස මහතා කරන විට අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම මහ ලේකම් ධූරය සඳහා කිසිදු විරෝධයකින් තොරව ස්ථිර ද වී තිබිණ.

මේ අතර රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරයට පත් කිරීමට විරෝධය විරෝධය දක්වමින් හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඊයේ (26) ඉල්ලා අස් වූයේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ උපනායක ධූරයට පත් කරනවාට මුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්ම විරුද්ධ වූයේ ජෝශප් මයිකල් පෙරේරා සහ රන්ජන් රාමනායක යන මහත්වරුන් පමණක් බැවින් අදාළ පත් කිරීමේ කිසිදු වෙනසක් නොවූ බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කළේය.

එක්සත් ජාතික පක්ෂ උපනායක ධූරයට රවී කරුණානායක මහතා පත් කිරීම ගැන ජෝශප් මයිකල් පෙරේරා සහ රන්ජන් රාමනායක යන මහත්වරුන්ගේ විරෝධය පමණක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රකාශ කෙරිණ.

සිය විරෝධය පළ කිරීම සඳහා ප්‍රකාශයක් කිරීමට ජෝශප් මයිකල් පෙරේරා මහතා අවස්ථාව ඉල්ලුවද, පක්ෂ ව්‍යවස්ථාවෙන් අනුමත තනතුරකට විරෝධය පළ කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තුනෙන් එකක් සිටිය යුතු බැවින් ව්‍යවස්ථානුකුලව ඒ සඳහා ඔහුට ඉඩ නොලැබිණ

ජෝශප් මයිකල් පෙරේරා මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ උප නායක තනතුරට වෙනත් නමක් යෝජනා කෙරුව ද, රවී කරුණානායක මහතාගේ පත් වීමට  කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තුනෙන් එකක විරෝධයක් අත් උස්සා පළ කරන ලෙසට දැනුම් දුන් අවස්ථාවේ එසේ විරෝධය පළ කරනු ලැබුවේ රන්ජන් රාමනායක මහතා පමණකි.

ඔහු ද කියා සිටියේ රවී කරුණානායක මහතා මේ තනතුරට පත් වීමට පෙර ඔහුට එල්ල වී ඇති චෝදනාවලින් ඔහු නිවැරදිකරු විය යුතු බවය. කෙසේ නමුත්  අවසානයේ දී ඒ අනුව රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධූරයට පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමෙන් වගේම අභ්‍යන්තරයෙන් ද ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන් ද විවිධ චෝදනා එල්ල වී සිටින මලික් සමරවික්‍රම මහතා පක්ෂයේ කිසිදු තනතුරකට පත් නොවීම විශේෂයෙන් කැපී පෙනුණු සිද්ධියක් විය.

එක්සත් ජාතික පක්ෂයේ ඒකාබද්ධ වෘත්තීය සමිති ලේකම් ධූරයට පත් කෙරුණු අජිත් පී පෙරේරා මහතා කියා සිටියේ මේ සියලු තනතුරු සඳහා ඡන්දයෙන් පුද්ගලයන් පත් කළ හැකි සේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික යොවුන් පෙරමුණ,ජාතික  සේවක සංගමය, සහ එක්සත් ලක් වනිතා සංවිධානය යන සංවිධානයන්හී සභාපති තනතුරු සඳහා ඉදිරියේදී නිලධාරීන් පත් කිරීමට ද මෙහිදී වැඩි දුරටත් තීරණය කෙරිණ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
විස්සයි-20 එජාප නියමුවෝ පත් වෙති..! | Lanka Newsweek