අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳ යෝජනාවක් United Youth වෙතින් ජනපතිට

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳ යෝජනාවක් United Youth වෙතින් ජනපතිට

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් නව යෝජනාවලියක් ඉදිරි සති දෙක ඇතුළත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව "United Youth" විශේෂ අවශ්‍යතා…

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් නව යෝජනාවලියක් ඉදිරි සති දෙක ඇතුළත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව "United Youth" විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ එකමුතුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවෝ ප්‍රකාශ කරති. 

ඔවුන් මේ බව කියා සිටියේ, කොළඹ බත්තරමුල්ල පිහිටි "Waters Edge" හෝටලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් වන අතර එහිදී එම සාමාජික, සාමාජිකාවන් පැවසුවේ, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට කැමැති සංවිධානවලට සහ පුද්ගලයින්ට සිය සංවිධානය සමඟ එකතු වන ලෙස ආරාධනා කරන බවය. 

මෙම අවස්ථාවට සහභාගි වෙමින් "United Youth" විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ එකමුතුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවීනා ජෝසප් ද සේරම් මහත්මිය පැවසුවේ, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳව තමා වරක් ජනාධිපතිවරයාගෙන් විමසූ බවත්, එහිදී එම ප්‍රජාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා තමාගෙන් ඉල්ලා සිටී බවත්ය.

දැන්වීම

එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වශයෙන් අදහස් කරන්නේ රෝද පුටුවක හෝ කිහිලිකරුවක ආධාරයෙන් යන පුද්ගලයින් පමණක් යැයි සිතා සිටිම කණගාටුවට කරුණක් බව ද ප්‍රවීනා ජෝසප් ද සේරම් මහත්මිය පැවසුවාය.

සියලුම පුරවැසියන් එක සමානව සැලකිය යුතු බවත්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් ඉතා ඉහළින් තබා කටයුතු කිරීම රජයේත්, පුද්ගලික අංශයේත් ජනතාවගේත් වගකීමක් බවත් අවධාරණය කර සිටී ඇය මෙවැනි දරුවකු සිටින පවුලක අභ්‍යන්තරය ඉතාම කණගාටුදායක බවත්, එම පවුලේ සියලුම සාමාජිකයින් දැඩි මානසික පීඩනයකින් පෙලෙන අතර, අප සමාජය එවැනි පවුල් සමාජයෙන් කොන් කිරීම අසාධාරණ ක්‍රියාවක් බව ද කියා සිටියාය. 

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට යහපත් අනාගතයක් උදා කර දීම සඳහා මෙරට ජනමාධ්‍යයන්ද වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ප්‍රවීනා ජෝසප් ද සේරම් මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.

මෙම අවස්ථාවට සහභාගි වූ "United Youth" විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ එකමුතුවේ අධ්‍යක්ෂ ප්‍රියංක දිසානායක මහතා පවසා සිටියේ විශේෂ අවශ්‍යතා සහිත දූ දරුවන් වෙනුවෙන් රක්ෂණාවරණයක් ලබා දීම, ඔවුන් සඳහා දිස්ත්‍රික්කයකට නවාතැන් පහසුකම් සහිත එක් පාසැලක් හෝ පිහිටු වීම, ඔවුන් සඳහා ලබා දෙන ඖෂධ හිගයකින් තොරව ලබා දීමට කටයුතු කිරීම ඉතාම වැදගත් කරුණක් බවය. 

එමෙන්ම සමහර දෙමව්පියන් මෙවැනි දූ දරුවන්ව සමාජයෙන් සගවා තැබීමට උත්සාහ කරන්නේ සමාජයේ එවැනි දූ දරුවන් ගැන ඇති වැරදි ආකල්ප නිසා බවද පෙන්වා දුන් ඔහු බස්රථවල සහ දුම්රියවල ගමන් කිරීමට රෝද පුටුවකින් ගමන් කරන පුද්ගලයෙකුට කිසිම පහසුකමක් නොමැති බවත්, විදේශයන්හි රෝද පුටුව සමගම බස් රථයක හෝ දුම්රියක ගමන් කිරීමට හැකි පරිදි පොදු ප්‍රවාහනය දියුණු කළ යුතු බවත් පෙන්වා දුන්නේය.

ශාන්ත කරුනාරත්න සහ සරත් ආනන්ද යන මහත්වරුන් පවසා සිටියේ, "Hemophilia" නැතහොත් ලේ කැටිවීමක් සිදු නොවන රෝගින් 2500කට අධික පිරිසක් ශ්‍රී ලංකාවේ සිටින බවත් එවැනි රෝගියෙකුට කුඩා සීරිමකදි පවා ලේ වහනය වන අතර ලේ වහනය නවතා දැමීම සදහා දින තුනකට වැඩි කාලයක් රෝහලක නේවාසිකව ප්‍රථිකාර ලබා ගත යුතු බවය. 

එවැනි රෝගියෙකුට දළ වශයෙන් අවුරුද්දකට 12 සිට 18 අතර වාරයක් රෝහල්ගතව ප්‍රථිකාර ගැනීමට සිදු වන අතර ඒ සදහා විශාල මුදලක් වැය වන බවද නමුත් වර්තමානයේ නව ප්‍රථිකාර සහ ඖෂධ සොයා ගෙන ඇති බවත්, එමගින් රෝහල්ගත නොවී නිවසේ සිටම ප්‍රථිකාර කර ගැනීමේ හැකියාව ඇතත්, සෞඛ්‍ය අමාත්‍යංශය මගින් එම නව ඖෂධ අනුමත කර ඇත්තේ රෝගින් පහකට පමණක් බව ද ඔවුහූ පෙන්වා දුන්හ.

ආර්ථික අපහසුතා මධ්‍යයේ වූවද, අනෙකුත් රෝගීන්ටද එම ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව ද ශාන්ත කරුනාරත්න සහ සරත් ආනන්ද යන මහත්වරු වැඩි දුරටත් පැවසූහ.  

මෙම අවස්ථාවට "United Youth" සංවිධානයේ සභාපති සහ නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර මහතා ඇතුළු එහි නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. 

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳ යෝජනාවක් United Youth වෙතින් ජනපතිට

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳ යෝජනාවක් United Youth වෙතින් ජනපතිට | Lanka Newsweek