අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“විශ්වාස භංගයට මම වගඋත්තරකරුවකු නොවෙයි”

“විශ්වාස භංගයට මම වගඋත්තරකරුවකු නොවෙයි”

(සුජිත් මංගල ද සිල්වා) අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට තමා සහය ලබා දුන්නා යැයි එක පිරිසක් ද ඊට තමා සහයෝගය නොදුන්නා යැයි තවත් පිරිසක් ද චෝදනා කරමින් එම ක්‍රියාවලියට තමා වගඋත්තරකරුවකු කිරීමට…

(සුජිත් මංගල ද සිල්වා)

අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට තමා සහය ලබා දුන්නා යැයි එක පිරිසක් ද ඊට තමා සහයෝගය නොදුන්නා යැයි තවත් පිරිසක් ද චෝදනා කරමින් එම ක්‍රියාවලියට තමා වගඋත්තරකරුවකු කිරීමට උත්සහ දරන්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ ජනාධිපති මන්දිරයේදී අද (06) ජනමාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීය.

විශ්වාස භංග යෝජනාවේ තිරය පිටු පස කතාව හෙළි කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනමාධ්‍ය ප්‍රධානීන් හමුවේ මෙසේ ද කීය.

පාර්ලිමේන්තුවේ අග‍්‍රාමාත්‍යතුමාට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වා සභංග යෝජනාව පිළිබඳව විවිධ අදහස් විවිධ මත මේ දිනවල කාගේත් කතාබහට ලක් වී තිබෙනවා. ඒ වගේම බොහෝ පාර්ශවවලින් මා ඊට වගඋත්තරකාරයෙක් ලෙස හඳුන්වන්න උත්සාහ ගන්නවා. සමහරු කියනවා මම සහයෝගය දුන්නා කියලා. සමහර අය කියනවා සහයෝගය ලැබුණේ නැහැ කියලා. මේ විදියට විවිධ ප‍්‍රකාශ තිබෙනවා.

පසුගිය පෙබරවාරි 10 වෙනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේ කොට්ඨාස මට්ටමින් ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසුව, මැතිවරණ කොමසාරිස්තුමාගේ නිල ප‍්‍රතිඵලය නිකුත් වීමට පෙර සමහර රාජ්‍ය නොවන පුද්ගලික මාධ්‍ය ආයතන ප‍්‍රතිඵල නිකුත් කළා.

නමුත් සැබෑ ලෙසම මැතිවරණ කොමසාරිස්තුමා නිකුත් කළ ප‍්‍රතිඵල පිළිබඳව කතා කළහොත් මේ ප‍්‍රතිඵලය පිළිබඳව කවුරුන් කෙසේ විග‍්‍රහ කළත් මැතිවරණයට ඉදිරිපත් වූ කිසිදු දේශපාලන පක්ෂයකට පුළුවන්කමක් ලැබුණේ නැහැ 40‍% ක් ඡන්ද ලබා ගන්න. සමහර අය පෙන්නුවේ ඉතාමත් වැරදි වාර්තා. 40‍%ක් ලබා ගැනීමට කිසිදු දේශපාලන පක්ෂයකට නොහැකි වූ පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල ජාතික මැතිවරණ ප‍්‍රතිඵලයක් සමග සංසන්ධනය කරමින් කරන ලද දේශපාලන විග‍්‍රහ සහ විචාරවලදි එහි සංඛ්‍යාත්මක නිවැරදිභාවයන් පැහැදිලිව පෙන්නුම් කළේ නැහැ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි තරග කළේ ලකුණු  4 කින්. ඒ අත ලකුණ, බුලත්කොළය, අශ්වයා සහ කුකුළා කියන ලකුණුවලින්. ඒ ලකුණු හතරටම සියයට පහළොවකට ආසන්න ගණනක් ඡන්ද ලැබුණා.

සමහර අය මේ මැතිවරණයේ ප‍්‍රතිඵල විග‍්‍රහ කරන ආකාරය දෙස බැලූවහොත් අපට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තු මැතිවරණයකට අදාළ කර ගනිමින් සංසන්දනය කළ හැකියි. මේ ලැබී ඇති ඡන්ද ප‍්‍රමාණය ලැබුණේ පාර්ලිමේන්තු ඡන්දයකදී නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 30 ක් ලැබිය යුතුයි. ඒවගේම පොහොට්ටු පක්ෂයට ලැබෙන්නේ ආසන 102. එමගින් පෙනී යන කරුණ වන්නේ මේ ලැබී ඇති ඡන්ද ප‍්‍රතිඵලය මහ මැතිවරණයකදී ලැබුණ හොත් කිසිම පක්ෂයකට ඒ තුළ තනියම ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වන බවයි.

ඒ සමග එක් පැත්තකින් ආණ්ඩුවට විරුද්ධ පක්ෂය විශාල වශයෙන් ඒ අය ලොකු ජයග‍්‍රහණයක් පිළිබඳව කතා කළා. ඒ ඇති වූ දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඒ අයට දැන් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් කියලා කියන්න පටන් ගත්තා.

ඒ වගේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ආණ්ඩුව සමග සිටින මන්ත‍්‍රී කණ්ඩායමේ කොටසක් මේ පළාත් පාලන මැතිවරණයට පෙරත් රජයෙන් ඉවත් විය යුතුයි කියන මතය ඉදිරිපත් කරලා තිබුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ ආණ්ඩුව සමග නියෝජනය වෙන්නේ 41 දෙනෙක්.

මේ ප‍්‍රතිඵලය නිකුත් වීමෙන් පසුව ආණ්ඩුවෙන් ඉවත් විය යුතු කියන පිරිස වැඩි වුණා. ඒ වගේම අනිත් පැත්තෙන් පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ ඉවත් විය යුතුයි කියලා අදහස් දැක්වීමේදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුළත් පාර්ලිමේන්තු කණ්ඩායම තුළත් ඇති වූ සාකච්ඡාවලදි තීරණයක් ගත්තා මේ පළාත් පාලන මැතිවරණය වෙලාවේ යන්න උවමනාවක් නැහැ. මොකද දෙසැම්බර් 20 වෙන කොටත් මැතිවරණ අවස්ථාව එළැඹිලා. ඒ නිසා මැතිවරණයෙන් පසුව තීරණයක් ගත යුතුයි. එතෙක් ආණ්ඩුවෙන් ඉවත් වීම අවශ්‍ය නැහැ කියලා. මෙහිදී ප‍්‍රධාන වශයෙන් එකඟත්වයක්  ඇති කර ගත්තා. ඒ අනුව මැතිවරණය අවසන් වෙනකන් සිටිය යුතුයි කියන අදහසට ආවා.

මැතිවරණ ප‍්‍රතිඵලවලින් පසුව ආණ්ඩුවෙන් ඉවත්විය යුතුය යන මතයේ සිටි පිරිසගේ එම ඉල්ලීම වැඩි වුණා. ඒවගේම මැතිවරණ ප‍්‍රතිඵල සමග අගමැතිතුමාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙත් ප‍්‍රශ්නයක් මතු වුණා.

මේ මැතිවරණ පරාජය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂය තුළත් අර්බුදයක් ඇති වුණා. එතකොට පාර්ලිමේන්තුවේ විපක්ෂය විදියට පොහොට්ටුව ලකුණ යටතේ අද ඉන්න පාර්ලිමේන්තු කණ්ඩායමත් ඒවගේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි කියන කණ්ඩායමත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂය තුළ අගමැතිතුමාට විරුද්ධව ඉදිරිපත් වූ කණ්ඩායමත් සියලූ දෙනාම එකතු වෙලා තමයි මේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එකඟත්වයකට  ආවේ.

පාර්ලිමේන්තුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එහෙත් විපක්ෂයේ සිටින මන්ත‍්‍රීවරු නිල වශයෙන්ම මාව හමුවෙන්න ලිඛිතව ඉල්ලලා අවස්ථා තුනකදි මාව හමු වුණා. ඒ හමුවීම්වලදි ඒ අය කියා සිටියේ අගමැතිවරයෙක් පත් කර ගන්න ඒ අයට පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වන්න පුළුවන් කියලා. ඒ සඳහා ඉඩකඩ දෙන්න කියලා ඉල්ලීම කළේ.

එතකොට මම ඒ අයට කියපු දේ තමයි ව්‍යවස්ථානුකූලව සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් පෙන්වන්න පුළුවන් පිරිසක් ඉන්නවා නම් වැඩි බලයක් ව්‍යවස්ථානුකූලව පෙන්විය යුතුයි. එහෙම පෙන්නුවොත් ජනාධිපතිවරයාට තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් යම් තීරණයකට එළැඹීමයි. එහෙම නැතිව මට ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාවක් නැහැයි කියන එක.

ඒ අනුව එහෙම පෙන්වන්න පුළුවන් කියලා මේ පාර්ශ්ව තුනේ අයම සාකච්ඡා  කරලා විශ්වාස භංග යෝජනාවකට ගියේ. පසුගියදා ඡන්ද විමසීමෙන් පසුව විශ්වාසභංග යෝජනාව තුළ ඇති වුණු ප‍්‍රතිඵලය අපි කවුරුත් දන්නවා. මේ තත්ත්වය තුළ ජනාධිපතිවරයා විදියට මගේ වගකීමත් මගේ යුතුකමත් වෙන්නේ පාර්ලිමේන්තුවේ මොන විදියේ දේශපාලන ප‍්‍රශ්න සහ අර්බුද ඇති වුණත් මම රටට වග කිව යුතුයි. ඒ වගකීම ඉටු කිරීමේදී කුමන ආකාරයෙන් හෝ රජය ශක්තිමත් කළ යුතුයි.

එහෙම ශක්තිමත් කිරීමේදී කිසිදු භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ සහය මම ලබා ගන්නවා. රජය දුර්වල වීම නොවේ අවශ්‍ය වන්නේ රජය ශක්තිමත් වීම. ඒ වගේම පාර්ලිමේන්තුවේ තිබෙන මන්ත‍්‍රී ධුරවල ව්‍යුහය අනුව එකතු වීමක් තුළ මිසක් තනියම ආණ්ඩුවක් සදන්නට නොහැකි බව මා පෙන්වා දී තිබෙනවා.

2015 සිටම ඒ තත්වයේ තිබෙන්නේ. වැඩිම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් තිබෙන එක්සත් ජාතික පෙරමුණට තිබෙන්නේ ආසන 106 යි. ඒ ආසන 106 න් ආණ්ඩුවක් ගෙනියන්න බැහැ. ඒ අනුව කුමන ආකාරයේ දේශපාලන ප‍්‍රශ්නයක් මතු වුණත් තනි පක්ෂයකට ආණ්ඩුවක් කරන්න බැහැ. මේ අවස්ථාවේත් පාර්ලිමේන්තුවෙන් කරන මගේ විවෘත ඉල්ලීම තමයි රජය ශක්තිමත් කිරීම සදහා  ඕනෑම කෙනෙක්ට රජය සමග එකට එකතු වෙන්න පුළුවන් කියන එක. පැමිණෙන පිරිස කවුරු වුණත් ඒ පැමිණෙන පිරිස සමග රජය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනියනවා.

රටේ මේ තිබෙන තත්වය සැලකිල්ලට ගෙන රටේ සංවර්ධනයට ප‍්‍රමුඛත්වයක් දීම ඉතාම අවශ්‍යයි. පළාත්පාලන මැතිවරණය නිසා බොහෝ වෙලාවට අමාත්‍යාංශවල වැඩ කෙරුණේ නැහැ. මැතිවරණය අවසන් වීමෙන් පසුව මහනුවර සිදු වුණ සිද්ධියත් එක්ක සහ  අගමැතිවරයාට ගෙන ආ විශ්වාස භංග යෝජනාවත් සමග රට තුළ දේශපාලන නොසන්සුන්තාවයක් ඇති වුණා.

ඒ නිසා මේ තත්වයන් තුළ රට තුළ සිදු විය යුතු සංවර්ධන කටයුතු ඉක්මනින් සිදු කිරීම අවශ්‍යයි. මේ තිබෙන දේශපාලන පසුබිම තුළ වුවත් සෑම දිස්ත‍්‍රික්කයකම වගේ දිස්ත‍්‍රික් කමිටු රැස්වීම් පවත්වා ඒ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම පිළිබද මා සතුටු වෙනවා. දැන් ඒ පැවති නොසන්සුන්තා අවසන්. ඒ නිසා සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කර ගෙන ඉදිරියට යා යුතුයි. ඒක කාගේත් වගකීමක්.

අනෙක් පැත්තෙන් මම සදහන් කළ යුතු කාරණයක් තමයි, පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව එක් එක් දේශපාලන පක්ෂ තමන්ට බලය ලබාගැනීම සදහා, සභාපතිවරුන් පත් කර ගෙන යනවා. ඒ කටයුතු බොහෝදුරට අදින් අවසන් වෙනවා.

මේ මැතිවරණ ක‍්‍රමයේ තිබෙන දේශපාලන විකෘති භාවයෙන් ජනතාව පත් කළ පිරිස නෙමෙයි සමහර තැන්වල බලයට පත් වෙන්නේ. ඉතිං මේ තත්වය එක් පැත්තකින් ජන මතයට කරන අභියෝගයක්. ජනමතය පිළිනොගැනීමක්. ඒක හොද දෙයක් නෙමේ.

ඒ නිසා මේ පළාත් පාලන මැතිවරණ පනත වහාම සංශෝධනය කිරීම අවශ්‍ය වෙනවා. ඒ සංශෝධනය කිරීම තුළින් එක් පැත්තකින් ජයග‍්‍රහණය කරන ජනතාව ඡන්දය භාවිතා කරන දේශපාලන පක්ෂයට පමණක් පාලන බලය ලැබෙනවා ඒ සංශෝධනය තුළ.

අනෙක් පැත්තෙන් 8000කට වැඩි අති විශාල මන්ත‍්‍රී සංඛ්‍යාවක් ඔරොත්තු දෙන්නේ නැහැ. අනෙක් එක ඒ තුළ ගොඩනැගෙන අලූත්ම දේශපාලන සංස්කෘතිය හොද දේශපාලන සංස්කෘතියක් කියලා දැනටම පේන්න නැහැ. මේ පත් වුණ සභාපතිවරුන් තේරීමේදීම මොනතරම් දුෂණ වෙනවාද කියන එක අපිට අනුමාන කළ හැකියි.

ඒ නිසා මන්ත‍්‍රී සංඛ්‍යාව එක් පැත්තකින් අඩු කිරීම ඉතාමත් අවශ්‍යයි. මේ පනත සංශෝධනය කිරීම තුළ මම යෝජනා කරනවා අමාත්‍ය මණ්ඩලයට මේ 8000 අනිවාර්යෙන්ම 4000කට අඩු කරන්න කියලා. ඒක කරන්න වෙන්නේ ඊළග මැතිවරණයේදී. ඒ සදහා අපි බලාපොරොත්තු වෙනවා වැඩ පිළිවෙළක් සකස් කරන්න.

ඒ වගේම පළාත්පාලන ආයතනවල සංවර්ධනය සදහා අවශ්‍ය විධිමත් භාවය, සංවර්ධනයට අදාළ ප‍්‍රතිපාදන රජයෙන් වෙන් කරමින් ශක්තිමත් කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

ඊළගට වෙසක්, පොසොන් පොහෝ දින එළැඹෙනවා. එතොකට මෙවර වෙසක් පොහොය එන්නේ අපේ‍්‍රල් 30. එතකොට අපේ‍්‍රල් 30 ත්, මැයි 06 ත් අතර සතිය සම්පූර්ණයෙන්ම අපි බෞද්ධාගමික කටයුතුවලට මුල් තැන දෙමින් කටයුතු කරන සතියක් බවට රජය නම් කරලා තිබෙනවා. ඒ වගේම මැයි පළමු වන දිනට යෙදී තිබුණ ලෝක කම්කරු දිනය සමරන රැස්වීම් මැයි 07 වනදා පවත් වන්න කියලා ඉල්ලා සිටිනවා. එදින රජයේ නිවාඩු දිනයක් ලෙසට නම් කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා සියලූ දෙනාම ඒකට සහය දෙයි කියලා.

තවත් පැහැදිළි කළ යුතු කාරණයක් තමයි පසුගිය දිනවල සමාජ වෙබ් අඩවිවල කතා වෙනවා නව බදු ක‍්‍රමයක් පිළිබදව. ඉන් කිය වුණේ රජයේ සේවකයින්ගේ වැටුපෙන් මෙපමණ ගාණක් ගෙවන්න සිදු වෙනවා, විශ‍්‍රාමිකයින්ගෙන් මෙපමණ මුදලක් ගෙවන්න සිදු වෙනවා කියලා විශාල අසත්‍ය ප‍්‍රචාරයක් ගියා.

නමුත් මම කිව යුතුයි කිසිදු අමාත්‍යාංශ ලේකම්වරයෙක්ගේ සිට අවසාන කම්කරුවා දක්වා වැටුප් ලබන සේවකයෙකුගේ තැන්පත් මුදල්වලින් බදු අය කිරීමක් වන්නේ නැහැ. මේ බදු ක‍්‍රමය තුළ යම්කිසි පුද්ගලයෙකුගේ ගිණුමකින් මාසිකව පොළිය වශයෙන් 125,000 ක් හෝ එයට වැඩි පොළියක් උපයනවා නම් පමණයි බදු අය කරන්නේ.

මාසෙකට රුපියල් 125,000 ක් පොළිය පමණක් එන්න නම් කෙනෙකුගේ ගිණුමේ රුපියල් කෝටි 02 ක් තියෙන්නේ  ඕනෑ. ලක්ෂ දෙසීයකට වැඩි මුදල් තියෙනවා නම් තමයි රු. 125,000 කට වැඩිය පොළියක් ඒ තැනැත්තාට එන්නේ. එහෙමයි බදු ක‍්‍රමය ක‍්‍රියාත්මක වන්නේ. රජයේ සේවකයෙක්ට තමන්ගේ ගිණුමේ රුපියල් කෝටි දෙකක් ඉතිරි කර ගැනීමට නොහැකියි. අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සියලූ රාජ්‍ය සේවකයන් සියලූ දීමනා එක්ක උනත් එහෙම ප‍්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7
බෙදාගන්න
“විශ්වාස භංගයට මම වගඋත්තරකරුවකු නොවෙයි” | Lanka Newsweek