අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විශ්වාසය උරගාද්දී ජනපති ස්වාධීන වෙයි..!

මෛත්‍රී “බැහැ” කියයි-කැබිනට්ටුවෙන් නැගිට යයි..!

අගමැති දැඩි ස්ථාවරයක..? (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්බන්ධ කාරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්වාධීන ස්ථාවරයක සිටිමින් ක්‍රියා කිරීමට…

  අගමැති දැඩි ස්ථාවරයක..?

විශ්වාසය උරගාද්දී ජනපති ස්වාධීන වෙයි..!

(සුජිත් මංගල ද සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්බන්ධ කාරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්වාධීන ස්ථාවරයක සිටිමින් ක්‍රියා කිරීමට පැහැදිලි සහ ස්ථිර තීරණයක් ගෙන  ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය පාවිච්චි කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් නොදෙනු ඇතැයි ජනාධිපතිවරයාගේ සමීපතමයකු “lankanewsweek” සමග පැවසීය.

දැන්වීම

විශ්වාස භංග යෝජනාවට අදාළව ඡන්ද වීමසීමක් පාර්ලිමේන්තුවේ සිදු විය හැක්කේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් නොවුණොත්ත පමණක් බව පෙන්වා දුන් ඔහු එවැනි තත්ත්වයක් උදාවී ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදු කෙරුණොත් එහිදී සිය හෘද සාක්කියට අනුව කැමති තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා සිය මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දෙනු ඇතැයි ද ඒ හැරුණු කොට ඔහු කිසිසේත් මේ විශ්වාස භංගයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ලබා දෙන ලෙසට මන්ත්‍රීවරුන්ට බල නොකරනු ඇතැයි ද සියයට සියයක් තහවුරු කොට කියා සිටියේය.

මේ අතර පසු ගිය  අඟහරුවාදා (20) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ද පසු ගිය  බ්‍රහස්පතින්දා (22) ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මුහුණට මුහුණ හමුවී රටේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබේ.

කෙසේ නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබෙන්නේ තමාට එරෙහි විශ්වාස භංග යෝජනාව ජය ගත හැකි නිසා තමා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් නොවී ඊට මුහුණ දෙන බවය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව දැනුම් දී තිබෙන්නේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගෙන් ඉල්ලා ඇති අවස්ථාවේදීය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ පෙන්වා දී තිබෙන්නේ මේ විශ්වාස භංගය සම්බන්ධයෙන් පක්ෂය එක් අන්තයක ස්ථාවරයකට ගියොත් ඒ හේතුවෙන් පක්ෂය දෙකඩ වීමට ඉඩ තිබෙන නිසා මේ ප්‍රශ්නය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයටම විසඳා ගැනීමට ඉඩ දිය යුතු බවටය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
විශ්වාසය උරගාද්දී ජනපති ස්වාධීන වෙයි..! | Lanka Newsweek