විපක්ෂ නායකගෙන් ජනපතිට ව්‍යවස්ථා පාඩමක්

ජනපතිගේ වැරදි ප්‍රකාශයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක කරුණු පහදයි කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටි අවස්ථාවක ජනාධිපතිවරයා රටට වැරදි පණිවිඩයක් සන්නිවේදනය විය හැකි ආකාරයේ කරුණු…
ජනපතිගේ වැරදි ප්‍රකාශයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක කරුණු පහදයි
කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටි අවස්ථාවක ජනාධිපතිවරයා රටට වැරදි පණිවිඩයක් සන්නිවේදනය විය හැකි ආකාරයේ කරුණු ගණනාවක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිකුරාදා (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ව්‍යවස්ථාදායක සභාවේ පත් කිරීමක් සිදුනොවීම සම්බන්ධයෙන්, ජනාධිපතිවරයා විසින් විපක්ෂ නායකවරයා ලෙස තමාට චෝදනා නගමින් අදහස් දක්වා ඇති නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (අ) වගන්තියේ එම පත් කිරීම සිදු විය යුතු ආකාරය නිවැරදිව සඳහන්ව ඇති බව ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
එම පත් කිරීම ආණ්ඩුව පාර්ශ්වයේ හෝ විපක්ෂ නායකවරයාගේ පාර්ශවයේ සම්බන්ධතාවයකින් තොරව සෙසු පක්ෂ විසින් සිදු කළ යුතු පත් කිරීමක් බැවින් ටී.එන්.ඒ. පක්ෂය ඩී සිද්ධාර්ථන් මන්ත්‍රීවරයාගේ නම ඒ සඳහා යෝජනා කර ඇති බවත්, තමා ද අවස්ථා ගණනාවක දී එම පත් කිරීම සිදු නොකරන්නේ මන්ද යන්න විමසා ඇති බැවින් එහි අවසන් තීරණය ගත යුත්තේ විපක්ෂ නායකවරයා නොව, කතානායකවරයා බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
එමෙන්ම කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා නොමැති අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට විරුද්ධව තේරීම් කාරක සභාවක් යෝජනා කර ඇති බවත්, ජනාධිපතිවරයාට එවැනි බලයක් නොමැති අතර විධායකයේ බලතල යම් මට්ටමකින් අඩු කිරීම සඳහා සංවරණ සහ තුලන ක්‍රමයක් ලෙස ව්‍යවස්ථාදායක සභාව හඳුන්වා දී ඇති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.