විපක්ෂය එකට එකතු වීම රට ලැබූ විශාල ජයග්‍රහණයක්

සියලු පක්ෂ එකම වේදිකාවකට ආවේ කොන්දේසි විරහිතවයි රටේ දැවෙන ප්‍රශ්න භීෂණයෙන් විසඳනු බැහැ ආණ්ඩුවේ ඒකාධිපති බල උමතුව ජනතාවගෙන් 86%ක් ප්‍රතික්ෂේප කරලා ජනතාවට අවනත නොවුණ හොත් ආණ්ඩුවට අබ සරණයි විපක්ෂයේ…
සියලු පක්ෂ එකම වේදිකාවකට ආවේ කොන්දේසි විරහිතවයි
රටේ දැවෙන ප්‍රශ්න භීෂණයෙන් විසඳනු බැහැ
ආණ්ඩුවේ ඒකාධිපති බල උමතුව ජනතාවගෙන් 86%ක් ප්‍රතික්ෂේප කරලා
ජනතාවට අවනත නොවුණ හොත් ආණ්ඩුවට අබ සරණයි
විපක්ෂයේ එකමුතුව ගැන කරූ රටට කරුණු හෙළි කරයි

(සුජිත් මංගල ද සිල්වා)
රට හමුවේ පවතින බරපතළ අර්බුදය මර්දනයෙන්, තර්ජනයෙන් සහ භීෂණයෙන් ජය ගත නොහැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.
වත්මන් පාලකයින්ගේ ඒකාධිපති බල උමතුව රටේ සමස්ත ජනතාවගෙන් 86%ක් ප්‍රතික්ෂේප කරන බව ජන මත සමීක්ෂණයකින් හෙළිව ඇතැයි පෙන්වා දුන් කර ජයසූරිය මහතා ආණ්ඩුව තව දුරටත් ජනතාවට අවනත නොවුණ හොත් ආණ්ඩුවේ ආණ්ඩුවේ ඉරණම බොහෝ ඛේදජනක විය හැකි යැයි ද තරයේ කියා සිටියේය.
දැන්වීම
දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී සිකුරාදා (23) සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
ගත වුණු සතියේදී මේ රටේ බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වූ විශේෂ සංසිද්ධියක් දේශපාලන ක්ෂේත්‍රයේ සිදු වුණා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අති බහුතරයක් එක පොදු වේදිකාවකට ගොඩ වෙනු මුළු රටම ආස්වාදයෙන් යුතුව බලා සිටියා. එම සිද්ධිය විශේෂ සිදුවීමක් ලෙස සැලකීමට කරුණු ගණනාවක්ම තිබෙනවා. ඒ අතරින් ප්‍රමුඛතම කාරණය වන්නේ එසේ එක වේදිකාවකට පිවිසි එම දේශපාලන පක්ෂ කිසිවක්ම ඒ සදහා කිසිදු පූර්ව කොන්දේසියක් ඉදිරිපත් නොකිරීමයි.
ඔවුන් එසේ එක වේදිකාවකට යොමු වුණේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දී ඇති බරපතළ අර්බුදය පිළිබදව අන් කවරදාකටත් වඩා බලවත් ලෙස අවධානයක් යොමු කිරීම ජාතික අවශ්‍යතාවයක් වී ඇති බව ඔවුන් තේරුම් ගෙන ඇති නිසයි. මේ රටේ සෑම අංශයක්ම නියෝජනය කරන සාමාන්‍ය පොදු ජනතාව පෙළෙමින් සිටින දැවැත්ත පීඩනය පිළිබදව ඒ සෑම දේශපාලන කණ්ඩායමක්ම නිවැරදිව තේරුම් ගෙන ඇති නිසයි.
මේ මොහොතේ සියලු දේශපාලන පක්ෂ සහ සිවිල් බලවේග ඒකාබද්ධව එක පෙරමුණකට ගොනු වෙමින් රට මුහුණ දී සිටින මෙම ව්‍යසනකාරී තත්ත්වයට මුහුණ නොදුන්න හොත් මේ රටේ අනාගතය දැවැන්ත ඛේදවාචකයකින් විනාශයට පත් වන බව ඒ සියලු දෙනාම වටහා සිටින බව කිව යුතුයි. මෙම අභියෝගයට මුහුණ දෙමින් මේ රටත් ජනතාවත් එම විනාශයෙන් ගලවා ගන්නට නම් එක්සත්වීම හැර වෙනත් විකල්පයක් නැති බව දැන් ඉතා පැහැදිලියි.
ඒ අනුව එම පෙළ ගැස්ම තවදුරටත් ඉදිරියට ගෙන යාම රටට ඉතාමත්ම වැදගත් බව කිව යුතුයි. මේ රටේ මහා සංඝරත්නය ප්‍රමුඛ සියලුම ආගමික නායකයන්, විද්වත් ප්‍රජාව, වෘත්තීය සංවිධාන සහ සිවිල් සමාජ ව්‍යාපාර ඒ පිළිබදව අතිශයින්ම බලාපොරොත්තු දල්වා ගෙන සිටිනවා. බලවත් සතුටට පත්ව තිබෙනවා. එමෙන්ම එම තත්ත්වයට ආශිර්වාද කරමින් සිටිනවා.
ඒ අනුව පසුගියදා එක වේදිකාවකට යොමුවූ සියලුම දේශපාලන පක්ෂවලටත් එහි නායකයන්ටත් අප අපගේ බලවත් ගෞරවය පුද කරන්නට කැමැතියි. එහිදී සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය මගින් ඉටු කරන ලද්දේ සම්බන්ධීකරණ කාර්යය භාරයක් පමණයි. අප ඊට යොමු වුණේ ඉතාමත්ම සද්භාවයෙනුයි. කිසිදු වරප්‍රසාදයක්, නායකත්ව භූමිකාවක් හෝ වෙනත් කිසිදු ආකාරයේ බල දේශපාලනික පටු අරමුණු කිසිවක් හෝ එහිදී අපට ඇත්තේ නැහැ. ඉදිරියේදීත් එවැනි දේ අප අපේක්ෂා කරන්නේ නැහැ. එහෙත් රට වෙනුවෙන්, රටේ අනාගත යහපත වෙනුවෙන්, මේ රටේ උපන් නූපන් අනාගත පරම්පරාව වෙනුවෙන් අප වෙත පැවරී ඇති වගකීම ඉටු කිරීම සදහා අද වගේම හෙටත් අප නොපැකිලව පෙනී සිටිනවා.
එහිදී ඊට අදාළ තවත් එක් කරුණුක් පිළිබදව අපගේ අදහස පළ කරන්නට කැමැතියි. එනම් මේ රටේ ඕනෑම දේශපාලන පක්ෂයකට, සෑම දේශපාලන බලවේගයකටම ආවේනික වූ ප්‍රතිපත්තියක් සහ දර්ශනයක් තිබෙනවා. එම තත්ත්වය අත්‍යවශයෙන්ම විය යුත්තක්. එහෙත් මෙවැනි ඒකාබද්ධ පෙනී සිටීමකදී ජාතික වශයෙන් වැදගත් වන කරුණු කාරණා පිළිබදව සේම සමස්ත ජාතියම බලවත් අනතුරකට මුහුණදී ඇති අද වැනි මොහොතක තීරණාත්මක කරුණු ගණනාවකට අදාළව ඔවුන් විසින් පළ කරන ලද පොදු එකගත්වය අතිශයින්ම වැදගත් වනු නියතයි. එම කරුණු කාරණා අප සලකන්නේ ඉතාමත්ම යහපත් ප්‍රවණතාවයක් ලෙසයි. ඇත්තටම එදා විපක්ෂයේ දේශපාන පක්ෂ සාකච්ඡා කළ සහ මූලික වශයෙන් එකගත්වයක් පළ කළ කරුණු කෙරෙහි මේ රටේ ජනතාවද අවධානයක් යොමු කළ යුතුයි. ඒ කරුණු මෙසේයි.
(01) ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පිණිස අදූරදර්ශී ආර්ථික කළමනාකරණය සහමුලින් වෙනස් කළ යුතුයි. වර්ෂ ගණනාවක් තිස්සේ විවිධ ආණ්ඩු යටතේ ගොඩ ගැසුණු ණය කන්දරාව ආපසු ගෙවීමේ අභියෝගය 2019 වර්ෂයේ සිට උච්ඡා තත්ත්වයකට එන බව වග කිව යුත්තන් නොදැන සිටියා නොවේ. එබැවින්,
(I) සාධාරණත්වය සහ කාර්යක්ෂමතාව තුලනය කරමින් රටේ ආර්ථික ප්‍රමුඛතා හඳුනා ගැනීම අවශ්‍යයි.
(II) නාස්තිය සහ දූෂණය අවම කිරීමට සැබෑ කැපවීම පෙන්විය යුතුය අතර ආයතනික රාමුව ශක්තිමත් කිරීමෙන් තත්ත්වය තහවුරු කළ යුතුයි.
(III) සැබෑ සුදුස්සන් තනතුරුවලට පත් කිරීම පෙරදැරිව ඵලදායිත්වය වර්ධනය කිරීමට කටයුතු කළ යුතුයි.
(IV) ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරන අතර රාජ්‍ය ආදායම තහවුරු කරන බදු ක්‍රමයක් අවශ්‍යයි.
(02) විනාශකාරී 20 වන සංශෝධනය ආපසු හරවා ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාවරත්වය තහවුරු කළ යුතුයි. ඒ අනුව,
(I) මැතිවරණ කොමිසම ඇතුළු කොමිෂන් සභාවලට දේශපාලන හිතවතුන් වෙනුවට අපක්ෂපාතී ප්‍රාමාණියකයන් පත් කිරීමට වහා කටයුතු කළ යුතුයි.
(II) පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය විධායකයේ ග්‍රහණයෙන් මුදාලිය යුතුයි.
(III) ව්‍යාවස්ථා සභාවේ දේශපාලන තුලනය සහ ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි.
(IV) රාජ්‍ය සේවය දේශපාලනීකරණට සහ මිලිටරීකරණයට ඇති ඉඩ හවුරාලිය යුතුයි.
(03) අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළ යුතුමයි. ඒ අනුව,
(I) ඉහළ අධිකරණයවලට විනිසුරුවන් පත් කිරීමට විධායකය සතු අත්තනෝමතික බලය අධීක්ෂණයට යටත් කළ යුතුයි.
(II) අධිකරණයට සිදු කරන සියලු අත පෙවීම් වළැක්වීමට යාන්ත්‍රණයක් තැනිය යුතුයි.
(04) මානව හිමිකම් තහවුරු කරමින් සෑම පුද්ගලයෙකුට ප්‍රජාවකට සහ ජන කොටසකටම තෘප්තිමත් විය හැකි පරිදි අයිතිවාසිකම් ස්ථාපනය කළ යුතුයි. ඒ අනුව,
(I)සෞඛ්‍ය බලධාරීන් විසින් සම්පාදිත නිරෝධායන නීති නිසි ලෙස නීති ගත කරමින් එම නීති ජනතාවගේ යහපත පිණිස යොදා ගත යුතුව ඇති අතර එහෙත් ඒවා ජනතාවගේ හඩ මර්දනය කිරීම උදෙසා අවභාවිතා නොකළ යුතුයි.
(II)අධ්‍යාපනය, පරිසරය සහ කෘෂිකර්මය ආදී ක්ෂේත්‍රවල මතුව ඇති ගැටලුවලට වහා විසදුම් ලබාදිය යුතු අතර එම ගැටලු පෙන්වා දෙන සංවිධාන සහ ඒවායේ ක්‍රියාකාරිකයින් මර්දනය කිරීම වහා නැවැත්විය යුතුයි.
(III) සමාජ මාධ්‍ය සහ ජනතාවගේ කතා කිරීමේ නිදහස මර්දනය කිරීම සඳහා ගනු ලබන ඕනෑම පියවරකට අප තරයේ විරුද්ධ වන අතර ස්වාධීන මාධ්‍ය නියාමනයක අවශ්‍යතාවයද අවධාරණය කරන්නෙමු.
උක්ත කරුණු සම්බන්ධයෙන් මූලික එකගතාවයක් ඇති කර ගත් එම දේශපාලන පක්ෂ නායකයන් ජනතා සුභ සිද්ධිය තහවුරු කළ හැකි ශක්තිමත් සහ ආරක්ෂිත දේශයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලම තැනීම එදින සිට සක්‍රීයව අරඹන බවටද එහිදී ප්‍රතිඥා ලබා දුන්නා. එමෙන්ම එදා පැමිණ සිටි දේශපාලන පක්ෂ නායකයන් තවත් එක් සුවිශේෂි කරුණක් පිළිබදව විශේෂ අවධානයක් යොමු කරනු ලැබුවා. ඒ ජාතික ඒකාග්‍රතාවය ගොඩනැගීමෙහි ඇති ප්‍රමුඛ අවශ්‍යතාවයයි.
නොබෙදිය හැකි රටක සමස්ත ජනතාවගේම අභිමානය සහ ගෞරවය සුරැකෙන, ඒ සියලු පාර්ශවයන්හි සාමූහිකත්වයෙන් ගොඩනැගිය යුතු ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබදව වන ඔවුන් අතර පවත්නා කැපවීම එහිදී විශේෂයෙන්ම අවධාරණය කෙරුණා. එම තත්ත්වය ඉතාමත්ම වැදගත් බව කිව යුතුයි. මක්නිසාද යත් අනාගත ශ්‍රී ලංකාව සමෘද්ධිමත්, සාමකාමී සහ සංවර්ධිත රටක් ලෙස ගොඩනැගීමට නම් එවන් පුළුල් ජාතික එකඟත්වයකින් යුතුව අප සියල්ලන්ම කටයුතු කළ යුතුව ඇති නිසයි.
ඒ අනුව එදා එක් පොදු වේදිකාවක් වෙනුවෙන් පෙනී සිටි සියලුම දේශපාලන පක්ෂ වෙත සහ එහි නායකයන් වෙත සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප අපගේ ඉමහත් ගෞරවය නැවත වරක් පුද කරනවා. ඒ වගේම අද මේ මොහොතේ සුවිශේෂි අවධානයක් යොමු කළ යුතුව ඇති කරුණක් පිළිබදවද අපගේ අදහස් පළ කරන්නට කැමතියි.
ඒ COVID-19 වසංගතයට අදාළව මේ වෛද්‍ය විශේෂඥයන් විසින් සිදු කරමින් සිටින බරපතළ අනතුරු ඇගවීම් පිළිබදවයි. වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට මේ දිනවල වේගයෙන් පැතිර යන "ඩෙල්ටා" නමින් හදුන්වන COVID ප්‍රභේදය හේතුවෙන් රට අභ්‍යන්තරයේ ඉතා අහිතකර ප්‍රවණතාවයක් නිර්මාණය විය හැකි බව කිය වෙනවා. එමෙන්ම එම තත්ත්වය හේතු කර ගෙන හතර වන COVID රැල්ලක්ද මතු විය හැකි බවට ද අනතුරු අඟවා තිබෙනවා. මේ තත්ත්වය ඉතා බරපතළයි.
එවැනි අනතුරු ඇගවීම් ඉදිරිපත් කර තිබෙන තත්ත්වයක් මත රටක් ලෙස අප මීට වඩා අවධානයක් යොමු කළ යුතු වෙනවා. එහිදී රජය සේම මහා ජනතාවද වගකීමකින් යුතුව කටයුතු කළ යුතු වෙනවා. එහි ආදර්ශය ප්‍රථමයෙන්ම රටට ප්‍රදර්ශනය කළ යුත්තේ රජය විසිනුයි. කිනම් තත්ත්වයක් මත හෝ ජනතාව කුපිත කර වන ආකාරයෙන් කටයුතුවලින් රජය බැහැර විය යුතුයි. ආණ්ඩුවේ දේශපාලකයන්ට එක නීතියකුත් විපක්ෂයේ දේශපාලකයන්ට තවත් නීතියකුත් වන ආකාරයට ක්‍රියාත්මක නොවිය යුතුයි. එමෙන්ම කොවිඩ් මර්දන ක්‍රියාවලිය සම්පූර්ණ වශයෙන්ම රටේ සෞඛ්‍ය අංශ වෙත පවරා දිය යුතුයි. සන්නද්ධ හමුදාවද ඇතුළු අනෙකුත් සේවාවන්හි පූර්ණ සහය ඒ සඳහා ලබා ගැනීම අත්‍යවශ වුවත් කොවිඩ් මර්දනයට අදාළ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම, ඊට අදාළ සැලසුම් සකස් කිරීම සහ එම සැලසුම් අධීක්ෂණය කිරීම කළ යුත්තේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් විශේෂඥවරුන්ගේ නිර්දේශ සහ මඟ පෙන්වීම් අනුව පමණයි. ඒ බව අප නැවත නැවතත් අවධාරණය කරනවා.
එමෙන්ම 20 වන සංශෝධන මඟින් කෙතරම් දැවැන්ත බලයක් අද රජය අත් පත් කර ගෙන තිබුණත් රට මුහුණ දෙමින් සිටින මෙවැනි අර්බුදකාරී තත්ත්වයකදී එක පුද්ගලයෙකු විසින් අත් පත් කර ගත් බලයකට පමණක් එම අභියෝගවලින් ජය ගත නොහැකි බව ඕනෑවටත් වඩා පැහැදිලි ලෙස ඔප්පු වී තිබෙනවා.
බලයෙන් හිස උදුම්වා ගත් පමණින් හෝ අත්තෝනෝමතික ලෙස ක්‍රියා කරමින් දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරීම මගින් හෝ රට හමුවේ ඇති අර්බුද ජය ගත නොහැකි බව දැන් ඉතා පැහැදිලියි. කෙටියෙන් කියන්නේ නම් තර්ජනය සහ භීෂණය මුල් කර ගත් හුදු නියෝගවලින් පමණක් අද මේ රට මුහුණ දෙමින් සිටින බරපතළ අර්බුදයට විසදුම් සොයා ගත නොහැකියි.
ඒ වගේම අද මේ රටේ පාලකයන් විශ්වාසය තබා ගත යුත්තේ 20 වන සංශේධනය මගින් ලබා ගත් බලය ගැන නොවේ . රටේ ජනතාවගේ එකඟත්වය ගැනයි. එහිදී මේ රටේ ජන මතය පිළිබදව වර්තමාන පාලකයන් දැන්වත් අවංක අවධානයක් යොමු කළ යුතු වෙනවා. දේශපාලනයේ මූලිකාංග ගැන සුළු හෝ අවබෝධයක් ඇති කිසිවෙක් 20 වන සංශෝධනයට එකඟත්වයක් පළ කරන්නේ නැහැ. ඊට ආ වඩන්නේ ආණ්ඩුවේ හෙන්චයියන් පමණක්මයි.
නමුත් මේ රටේ බුද්ධිමත් ජනතාව එසේ නොවේ. 20 වන සංශෝධනය පිළිබදව සිදු කර ඇති ජන මත සමීක්ෂණයකට අනුව ඊට සහභාගී වූ පිරිසෙන් 86%ක් ම එම සංශෝධනය පිළිකුල් කරනවා. ඒ නිසා එම කාරණය පිළිබදව වගේම රටේ දක්නට ලැබෙන අනෙකුත් කරුණු කාරණාවලට අදාළව ජනතාව සිතන පතන ආකාරය පිළිබදව රජය නිසි වැටහිමක් ලබා ගත යුතු වෙනවා. රටේ බහුතර ජනතාව අද සිටින්නේ බලවත් අතෘප්තියකින් බව කිව යුතුයි. ඒ නිසා මේ රටේ පාලකයින් අන් සියල්ලටම පෙර ජනතාව සිතන පතන ආකාරය පිළිබදව අවධානය යොමු කළ යුතු වෙනවා. එසේ කටයුතු නොකළ හොත් වර්තමාන ආණ්ඩුවේ ඉරණම බොහෝ ඛේදජනක විය හැකියි.