විනාශයේ මාවතට එරෙහිව සියලු දෙනා විසඳුමේ මාවතට ආ යුතුයි

1950 දී රුපියල් කෝටි සියයක් වූ ණය පංගුව 2021 දී කෝටි දහසය ලක්‍ෂ තිස් දහස දක්වා වැඩි වෙලා ඉහළම පැලැන්තියේ 10%ක් ජාතික ධනයෙන් 38.4ක් බුක්ති විඳිනවා රටේ පහළම ජනයාගෙන් 10%ක් බුක්ති විඳින්නේ සියයට දශම…
1950 දී රුපියල් කෝටි සියයක් වූ ණය පංගුව 2021 දී කෝටි දහසය ලක්‍ෂ තිස් දහස දක්වා වැඩි වෙලා
ඉහළම පැලැන්තියේ 10%ක් ජාතික ධනයෙන් 38.4ක් බුක්ති විඳිනවා
රටේ පහළම ජනයාගෙන් 10%ක් බුක්ති විඳින්නේ සියයට දශම එකයි දශම එකයි

ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව රට-ජනතාව දක්වා ගෙන යන විනාශකාරීත්වයේ මාවත වෙනුවට සියලු දෙනාම විසඳුමේ මාවතට එකතු විය යුතු කාලය එළැඹ ඇතැයි ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අවධාරණය කර සිටියි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ, කොළඹ දී සඳුදා (20) පැවැති ජාතික ජන බලවේගයේ ජාතික නියෝජිත සමුළුවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
දැන්වීම
මේ සභාවේ රැඳි සිටින පිරිස අතර මීට පෙර අපට ඡන්දය පාවිච්චි කළ අය වාගේම වෙනත් දේශපාලන පක්‍ෂවලට ඡන්දය ප්‍රකාශ කළ බොහෝ අයත් ඉන්නවා. ඒ සියලු දෙනාම සහෝදරත්වයෙන් පිළිගන්නා අතර, මේ විනාශකාරී දේශපාලන ගමන් මඟ වෙනස් කිරීම සඳහා ඒකරාශී වීම පිළිබඳව ඇගයීමට ලක් කරනවා.
දශක ගණනාවක් තිස්සේ අනුගමනය කළ ක්‍රියාමාර්ග නම්ගින් රටට-ජනතාවට අත් කර දිය හැකි සියලුම විනාශකාරීත්වයන් අත් කර දී අවසානයි. අතිශය විනාශකාරී අන්තයකට ආර්ථිකය ගමන් කර විශාල භාණ්ඩ හිඟයක්, මිල විශාල වශයෙන් ඉහළ යාමක් වාගේම අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් එක්දහස් පන්සියයකට වැඩි ප්‍රමාණයක් වරායේ හිර වී තිබෙන තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ගෙවීමට තිබෙන ණය වාරික ගෙවා දැමීම ගැන අඩමානයකට පත් වී තිබෙනවා. සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිත ගැඹුරු අර්බුදයකට පත්ව තිබෙනවා. මෙතෙක් පැවැති සාම්ප්‍රදායික දේශපාලන ගමන් මඟට මේ ගැඹුරු අර්බුදවලට විසැඳුම් දිය හැකිද..? අත්දැකීම් ඔස්සේ සහ තමන්ගේ ජීවිතවලින් අද ඔප්පු කොට තිබෙන්නේ, පැරැණි, සාම්ප්‍රදායික දේශපාලන ගමන් මඟට අපේ රට ඉදිරියට ගෙන යා නොහැකි බවයි.
මේ තත්ත්වය ස්වාභාවික ව්‍යසනයක් නිසා සිදු වුණු සිද්ධියක් නොවෙයි. අනුගමනය කරන ලද වැරැදි ආර්ථික-දේශපාලන ගමන් මඟේ ප්‍රතිවිපාක නිසා මේ තත්ත්වය උදාවී තිබෙනවා. ළිඳට වැටුණේ ළිං කටෙන් නම්, ගොඩ එන්න තිබෙන්නෙත් ළිං කටෙන්ම තමයි. මේ විනාශකාරීත්වයට අපේ රට හෙළුවේ වැරැදි ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තියක් නම්, උත්තර තිබෙන්නේ නිවැරැදි ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තියක් මාතෘභූමියේ ස්ථාපනය කිරීමෙනුයි.
ජීවත් වීමට සරිලන ආදායම් මාර්ගයක් තිබෙන සහ තමා කරන වෘත්තිය පිළිබඳව ගෞරවයක් අපේක්‍ෂා කරන බොහෝ පිරිස් රට අත්හැර යනවා. ඔවුන් රට හැර යන්නේ රැකියාවක් සොයා ගෙන පමණක්ම නොව සමාජ සුරක්‍ෂිතභාවයත් සොයා ගෙනයි. නමුත්, තනි තනිව කොපමණ පොර බැදුවත් මේ ව්‍යසනයෙන් ගොඩ එන්න බැහැ. ඒ සඳහා සාමුහික ප්‍රයත්නයක් අවශ්‍යයි. ජාතික ජන බලවේගයේ මේ වේදිකාව නිර්මාණය වෙලා තියෙන්නේ, එවැනි සාමුහික ප්‍රයත්නයක් වෙනුවෙන් මානුෂීයවාදී කැප කිරීම් සහ පරිත්‍යාගයන් කරන මිනිසුන්ගෙනුයි. මෙතැනින් ඔබ්බට ඔබ එක්ව රටේ සියලු ජනතාව පෙළගැසිය හැකි මහජන ව්‍යාපාරයක් බවට ජාතික ජන බලවේගය ගොඩනඟන බව සහතික කොට ප්‍රකාශයට පත් කරනවා.
මේ විනාශකාරී දේශපාලන ගමන් මඟෙන් අපේ රට වෙනස් කළ යුතු බව සියලු දෙනාටම ඒත්තු ගොස් තිබෙනවා. තනි තනිව මොන තරම් පොර බැදුවත්, වැඩක් නැහැ. වැද්දාගේ දැලට අහු වුණු වටුවන් තනි තනිව මොන තරම් උත්සාහ කළත් වැඩක් නැහැ. හැබැයි, අවසානයේ දී එතැන හිටි බෝධිසත්ව වටුවාණන් සාමුහිකව පොර බැදිය යුතු බව පැහැදිලි කර දෙනවා. අපට අද සිදු වි තිබෙන්නෙත් එම ක්‍රියාමාර්ගය ගැනීම විතරයි.
අපි මේ රට භාර ගන්න සූදානම්. ඒ වාගේම මේ රට හදන්න සූදානම්. ඒ පිළිබඳ අවංක සහ සද්භාවයෙන් යුතු අවශ්‍යතාවයක් අපට තිබෙනවා. මේ වේදිකාවේ සිටින කිසිවකු හෝ මේ රැස්වීමට සහභාගි වී සිටින ඔබ කිසිවෙකු හෝ පෞද්ගලික වුවමනා මත සහභාගි වී නැහැ. අපි සියලු දෙනාම එකට ගැට ගසන හුයක් තිබෙනවා. ඒ හුය තමයි, මේ රට භාර ගෙන රට ගොඩනඟන්න සූදානම් කියන එක. මේ රට කඩා වැටීමට ලක් විය යුතු රටක් නොවෙයි.
මේ රට ව්‍යසනයට පත් කිරීමේ ප්‍රධාන සාධකය අතිශය දූෂිත දේශපාලනයයි. කොවිඩ් වසංගතයෙන් මරණය අභියස සිටින මිනිසුන්ගේ ඇන්ටිජන්වලින් පාලකයන් හොරකම් කරනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ නිරෝධායන ක්‍රියාවලියෙන් හොරකම් කරන පාලකයන් රටක් හදන්නේ නැහැ. පරම්පරා ගණනාවක් යල-මහ වගා කළ කෘෂිකර්මාන්තය අවශ්‍ය යෙදවුම් නොමැතිව සිටින අතරේ පාලකයින් චීන පොහොරවලින් ගසා කනවා.
ඒ නිසා පළමුව මේ දූෂිත දේශපාලනය නැවැත්විය යුතුයි. මේ දූෂිත ව්‍යාපෘති අපේ රටට බරවා කකුලක් වාගේ බරයි. දූෂිතභාවය කියන්නේ, ඒ මොහොතේ සිදු කරන අල්ලස පමණක් නොවෙයි. දූෂිතභාවය විසින් සිදු කරන බලපැම අතිශය විශාලයි. හිටපු විගණකාධිපතිතුමා වරක් ප්‍රකාශ කර තිබුණා, රටේ ණය ප්‍රමාණය ට්‍රිලියන එකොළහක් වන විට වත්කම් ප්‍රමාණය ට්‍රිලියන එකයි දශම අටක් කියලා.
අපේ රට දැවැන්ත ණය කන්දක හිර වී තිබෙන්නේ මේ නිසා. 1950 දී රුපියල් කෝටි සියයක් වූ ණය පංගුව 2021 අප්‍රේල් 30 වැනිදා වන විට රුපියල් කෝටි දහසය ලක්‍ෂ තිස් දහස දක්වා වැඩි වී තිබෙනවා. එසේ ගනු ලැබූ විදේශ ණයවලින් සිදු කළේ මොනවාද කියලා කිසිදු පාලකයකුට කියන්න පුළුවන්ද..?
ඒ නිසා පළමුවෙන් මේ රට ගොඩනඟන්න අදූෂිත දේශපාලනයක් අවශ්‍යයි. එම කාර්ය භාරය කළ හැක්කේ මේ රටේ අදූෂිතම ජාතික ජන බලවේගයට පමණයි. මේ දූෂිතයන්ට දඬුවම් ලබා දිය යුතු බව බොහෝ ජනතාවක් අපේක්‍ෂා කරනවා. දූෂණයෙන් උපයා ගත් දේපොළ යළි පවරා ගත යුතු බවත් අපේක්‍ෂා කරනවා. සහතික වශයෙන් එම කාර්ය භාරය සිදු කළ හැකි වන්නේ ජාතික ජන බලවේගයේ පාලනයකට පමණයි. අපි ඒ වගකීම ඉටු කරනවා.
දෙවනුව, මේ රට ගොඩනැඟීම සඳහා සාමුහික ප්‍රයත්නයක් අවශ්‍යයි. ජනතාව තනි තනි පුද්ගලයන් පසු පස, දියසෙන් කුමාරයන් හොයා ගෙන කොච්චර ගියාද..? අපි හැමදාමත් කියන්නේ, රටක් ගොඩනැඟීම තනි පුද්ගලයකුගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නොවන බවයි. මේ රට ගොඩනැඟීම පිළිබඳව විශාල අපේක්‍ෂාවන් සහිතව විදේශ රැකියා කරන්නන් කුලියට ගත් ගුවන් යානා මඟින් ඡන්දය දෙන්න ආවා.
ඇන්ටන් චෙකෝෆ් වරක් කියා තිබෙනවා, "මිනිසා වඩාත් හොඳ පුද්ගලයකු බවට පත් කළ හැක්කේ, ඔහුගේ යථා තත්ත්වය පැහැදිලි කර දීමෙන්" කියලා. මිනිසා ස්වාභාවිකව හොරෙක්, දූෂිතයෙක්, පීඩකයෙක් නොවේ. ඒ මිනිසා ස්වාභාවිකව ප්‍රභාශ්වරයි. ඒ මිනිසාව මේ ව්‍යසනයට ඇද දැමුවේ කවුද..? තනි තනිව තමා වෙනුවෙන් දුවන සමාජයක් ඇති කිරීමෙනුයි. ඒ සමාජය ඇතුළේ මිනිසා වංචනිකයෙක්-දූෂිතයෙක් වුණා. එහෙම නම්, ඔහු එම තත්ත්වයෙන් මුදා ගත හැක්කේත්, සාමුහිකව ක්‍රියා කිරීමෙන් පමණයි. එම කාර්ය කළ හැකි වන්නේ දේශපාලන උඩුමහලේ සිට බිමට බැහැලා.
වත්මන් දේශපාලනය අතිශය වරප්‍රසාදලත් තනතුරක් සහ නීතියට යටත් නැති පුද්ගලයෙක් නිර්මාණය කර තිබෙනවා. අතිශය වරප්‍රසාද බුක්ති විඳිමින්, නීතියට උඩින් සිටින මේ දේශපාලකයා උඩුමහලේ සිට බිමට බැස්සිය යුතුයි. ඊට පසු පොදු ජනයා එක්ක උරෙන්උර ගැටී සම කොටස්කරුවන් ලෙස සමාජය ගොඩනඟන ක්‍රියාකාරිකයකු බවට පත් කළ යුතුයි. දේශපාලකයා උඩුමහලේ ඉඳලා සාමුහික වෙමු කියලා පුරවැසියන්ට කියන්න බැහැ. රට ගොඩනැඟිය හැකි වන්නේ දේශපාලකයකු හැටියට මට පැවරී තිබෙන කාර්යභාරයත්, වෘත්තිකයකු හැටියට ඔබට පැවරී තිබෙන කාර්යභාරයත්, ව්‍යවසායකයකු හැටියට ඔබට වාගේම ගොවියාට සහ ධීවරයාට ඇතුළු සියලු දෙනාට පැවරී තිබෙන කාර්යභාරයන් සාමුහිකව යෙදවීමෙනුයි.
විශ්‍රාම වැටුප්, ඇමැතිවරුන්ගේ නිල නිවාස, හිටපු ජනාධිපතිවරුන් බලා ගන්න එක, ඔවුන්ට මහා මන්දිර ලබා දීම සියල්ල අහෝසි කළ යුතුයි. අහෝසි කර පුරවැසියන් සමග උරෙන් උර ගැටෙමින්, මේ රට ගොඩනැඟීම සඳහා සාමුහික ව්‍යායාමයක් බවට දේශපාලනය පත් කළ යුතුයි. එම කාර්ය භාරය සිදු කළ හැකි වන්නේ ජාතික ජන බලවේගයට පමණයි. පැරැණි සාම්ප්‍රදායික කඳවුරට කිසිවක් කළ නොහැකි බව ඔවුන් ඔප්පු කොට තිබෙනවා.
අදූෂිත දේශපාලනය සහ සමාජයේ සාමුහික මැදිහත් වීම කියන මූලික කරුණු දෙක රට ගොඩනැඟීම සඳහා අවශ්‍යයි. ඒ මත ගොඩනැඟෙන ආර්ථික වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඕනෑ. අපට දැක්මක් සහ වැඩ පිළිවෙළක් තිබෙනවා. නමුත්, ඒ වැඩ පිළිවෙළ අංග සර්වසම්පූර්ණයි කියලා මම කියන්නේ නැහැ. ඊට අලුත් අදහස් සහ යෝජනා එකතු කර ගෙන එම වැඩ පිළිවෙළ සම්පූර්ණ කළ යුතුයි.
විශේෂයෙන්ම ආර්ථික දේහය සම්බන්ධයෙන් අප ඇති කරන පරිවර්තනය මූලික පදනම් තුනක් සහිතව සිදු කළ යුතුයි. ජාතික නිෂ්පාදනය ඉහළ දැමීමත්, ලෝක වෙළෙඳ පොළේ භාණ්ඩ සහ සේවාවන් සඳහා සාධාරණ පංගුවක් අත්පත් කර ගැනීමත් ජනතාව මේ ආර්ථිකයට හවුල් කර ගෙන ඔවුන් අතරේ ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදී යාමට සැලැස්වීමත් කළ යුතුයි.
අද ජනතාවගෙන් විශාල පංගුවක් මේ ආර්ථිකයෙන් පිටමං කර තිබෙනවා. ඔවුන් මිනිස් දූවිලි බවට ජන ජීවිතයෙන් පත් කර තිබෙනවා. අදත් මුළු ජාතික නිෂ්පාදිතයෙන් සියයට 38ක් දෙන්නේ බස්නාහිර පළාතෙන්. උතුරු මැද පළාතෙන් සියයට පහයි දශම පහයි. මේ තත්ත්වයෙන් කියැ වෙන්නේ ආර්ථිකය ප්‍රසාරණය වී ජනතාව සම ආකාරයෙන් ආර්ථිකයට සම්බන්ධ වී නැති බවයි. ඒ නිසා ජනතාව ආර්ථිකයේ සක්‍රිය කොටස්කරුවන් බවට පත් කළ යුතුයි.
ජනතාව අතර ආර්ථිකයේ පංගුව බෙදී යන්නේ අතිශය අසාධාරණ ආකාරයට. උඩම සිටින සියයට දහයක පිරිස ජාතික ධනයෙන් සියයට තිස් අටයි දශම හතරක් භුක්ති විඳිනවා. පහළම සිටින සියයට දහය භුක්ති විඳින්නේ සියයට දශම එකයි දශම එකයි. මේ තත්ත්වය යුක්ති සහගතද..? අපි ඔක්කොම එකතු වෙලා පාන් ගෙඩියක් හදලා. එහි කොටස් සියයකින් තිස් අටයි දශම හතරක් දහ දෙනෙක් භුක්ති විඳින කොට තව දහ දෙනකුට ලැබෙන්නේ එක පෙත්තකට ටිකක් වැඩියෙනුයි.
ඒ නිසාරටේ ආර්ථික ප්‍රසාරණයක් අත් කර ගන්නවා වාගේම ප්‍රතිලාභ සාධාරණව බෙදිය යුතුයි. ආර්ථික ප්‍රතිලාභ සාධාරණව නොබෙදී සමාජයක් යහපත් වෙන්නේ නැහැ. ලෝකයේ ඕනෑම රටකට තවත් රටක ආර්ථික ක්‍රමයක් ගළපන්න බැහැ. තමන්ගේ රටේ ආර්ථික උපාය මාර්ගය සකස් කරන්නේ ප්‍රධාන සාධක කිහිපයක් මුල් කර ගෙන. ඒ අතුරින් පිහිටීම මුලින්ම තිබෙනවා. අපේ රට ඉතාමත් වැදගත් ස්ථානයක පිහිටා තිබෙන්නේ. යුරෝපය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ ඈත පෙරදිග තියෙන ප්‍රධාන නාවික ගමන් මාර්ග හතරක අපේ රට පිහිටා තිබෙනවා. වසරකට නැව් තිස් හය දාහක් මේ මාර්ග ඔස්සේ ගමන් කරනවා. මේ මුහුදු මාර්ග හතරෙන් ලෝක වෙළෙඳාමෙන් සියයට තිහක් ප්‍රවාහනය කරනවා.
අපේ රටේ සංවර්ධනයේදී මේ පිහිටීම ඉතා හොඳින් උපයෝගී කර ගත යුතුයි. ඒ වාගේම අපේ රටේ තිබෙන ස්වාභාවික සම්පත් ගැන නිවැරැදි තක්සේරුව වැදගත් වනවා. රත්රන්, තඹ, ගෑස්‘ වැනි මිල අධික සම්පත් නිධි අපට නැහැ. නමුත්, රට වාගේ අට ගුණයක සාගරය සම්පත් ආකරයක් ලෙස අපට අයිති වී තිබෙනවා. මනරම් වෙරළ තීරය, ඛනිජ සම්පත්, මෝසම් වර්ෂාපතන දෙකක්, සමකය ආසන්නයේ පිහිටීම සහ සශ්‍රීක පොළොව අපට තිබෙන වාසනාවන්ත සම්පත් වනවා. මේ සම්පත් උපයෝගී කර ගැනීම අපේ සංවර්ධන සැලැස්මේ මූලික පදනම වෙනවා.
තුන්වෙනුව, අපේ රටේ මානව සම්පත ඉතා වැදගත්ම සම්පතයි. ලෝකයේ ජන ඝනත්වය අනුව අපේ රට තිබෙන්නේ, විසිහතර වැනි තැන. වර්ග කිලෝමීටරයකට ආසන්න වශයෙන් තුන්සිය හතළිහක් විතර ජීවත් වෙනවා. මේ මානව සම්පත දියුණු කිරීම අපේ ආර්ථික උපාය මාර්ගයේ වැදගත්ම අංගයක් වනවා. ඒ වෙනුවෙන් අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ක්‍රීඩාව යොදා ගන්න ඕනෑ. මේ ක්‍ෂේත්‍ර තුන අද තියෙන්නේ කොතැනද..?
පළමු වසරට ඇතුළත් වන දරුවන්ගෙන් තිස්දහසක් සාමාන්‍යපෙළ ලියන්න පෙර පාසල් හැර යනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් සියයට හැත්තැවකට වැඩි ප්‍රමාණයක් සාමාන්‍යපෙළ දක්වා ඉගෙන ගෙන නැහැ. සිර ගත වූවන්ගෙන් සියයට හැත්තැවකට වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන නැහැ. දුප්පත්කම සහ නූගත්භාවය අතර වාගේම සමාජ අපරාධ අතර සම්බන්ධයක් තිබෙනවා. මේ නිසා අපේ අධ්‍යාපනයෙහි මූලිකම අරමුණ නැණවත් මිනිසෙක් බිහි කිරීමයි. සෞඛ්‍යය මගින් නිරෝගීසම්පන්න මිනිසෙක් බිහි කරනවා වාගේම ක්‍රීඩාවෙන් ධෛර්යයසම්පන්න මිනිසෙක් බිහි කරනවා. ශ්‍රී ලාංකික පුරවැසියා නැණවත්, නිරෝගීමත්, කාර්යශූර පුරවැසියෙක් ලෙස ගොඩනඟනවා. ලෝකයේ ඉතාමත් දියුණුම මානව සම්පත ශ්‍රී ලංකාවෙන් ගොඩනැඟීම අපේ අපේක්‍ෂාවයි. එම අභියෝගය ජය ගත හැකියි කියන දැඩි විශ්වාසයක් අපට තිබෙනවා.
අද ලෝකය විවිධාකාරයෙන් ගැට ගැසී තිබෙනවා. සන්නිවේදනය, ප්‍රවාහනය, ලෝක වෙළෙඳ පොළ, ගමනාගමනය එකට ගැටගැසී තිබෙනවා. ලෝකයෙන් විතැන් වූ රාජ්‍යයක් නිර්මාණය කරන්න කවුරුහරි කල්පනා කරනවා නම්, ඔවුන් අයිති වන්නේ එක්දහස් අටසිය ගණන්වලටත් එහා පැත්තට. ලෝක දේශපාලනයේ, ආර්ථිකයේ විවිධ බල කඳවුරු නිර්මාණය වී ගැටුම් සහ තරගයත් පවතිනවා. ඒ අතර ශ්‍රී ලංකාව ස්ථානගත වන්නේ කොතැනද..? දශක ගණනාවක් අනුගමනය කරන ලද වැරදි විදෙස් ප්‍රතිපත්ති නිසා එක් එක් රටවල උගුලට අපේ රට අහු වෙලා.
චීනයට හම්බන්තොට වරාය දෙන කොට ඉන්දියාව නැඟෙනහිර වරාය ඉල්ලනවා. ඇමෙරිකාව කෙරවලපිටිය බලාගාරය ඉල්ලනවා. මේ නිසා අපි ඉතාමත් පුළුල් දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිතව ගුලෙන් එළියට ආ හැකි නැවුම්, නොබැඳි, සෑම රටක් එක්කම පෞරුෂයකින් ගනුදෙනු කළ හැකි විදෙස් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි.
රට අභ්‍යන්තරයේ අපේ වාරි කර්මාන්තය, වැව් පද්ධතිය ගොඩනඟා තිබෙන්නේ ශිෂ්ටාචාරමය විකාශනයක් මත. අදත් අපේ ශ්‍රම බළකායෙන් සියයට විසි දෙකක් කෘෂිකර්මාන්තය මත පවතිනවා. අපනයන ආදායමෙන් සියයට විසිපහක් කෘෂිකර්මාන්තයෙන් ලබනවා. අපේ රටේ කර්මාන්තවලින් සියයට විසිපහක් අයත් වෙන්නේ කෘෂිකර්මාන්තය මතයි. අපේ රටේ කෘෂිකර්මාන්තය ආහාර සුරක්‍ෂිතතාව පැත්තෙන් සහ ග්‍රාමීය ජනතාවගේ ආදායම් මාර්ග උසස් කිරීම වෙනුවෙන් ඉතාමත්ම වැදගත් වනවා. අපේ රටේ ශිෂ්ටාචාරය, මානව සම්පත, ලෝක දේශපාලනය සහ අපේ රටේ සම්පත් මත ගොඩනැඟුණු නව ආර්ථික ක්‍රියා මාර්ගයකට අප යා යුතුයි.
ඒ සම්බන්ධයෙන් අපට දැක්මක් සහ වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩ පිළිවෙළ ක්‍රියාවට නඟන්නේ ව්‍යවසායකයන්. රජය ඉලක්ක හදනවා, ව්‍යවසායකයා ඒ ඉලක්ක සහගත වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනවා. අද සිදු වි තිබෙන්නේ, ව්‍යවසායකයන් අලුත් ක්‍ෂේත්‍රවලට අත නොතබා සිටීමයි. රජය ආර්ථික දැක්මක් අනුව ක්‍රියාවලියක් හඳුන්වා නොදෙන තාක් ව්‍යවසායකයන් ඥානක්කලා හමු වෙන්න යනවා.
අප ගොවියා, කම්කරුවා, ව්‍යවසායකයා, රාජ්‍ය සේවකයා යන සියලු දෙනා දැක්මක් සහිතව මෙහෙය වනවා. අවුරුදු පහක්-හයක් ඇතුළත මේ අනුව අපේ රට දියුණු රටක් බවට පත් කරන්න පුළුවන් වනවා.
පුරවැසියන්ට හැමදාමත් තිබුණේ යහපත් බලාපොරොත්තු. ඡන්ද පොළේදී කිසිදු ඡන්දදායකයෙක් ඡන්දය දීමේදී, රට කඩා වට්ටන චේතනාවෙන්, ජාතික සම්පත් විකිණීමේ චේතනාවෙන්, අපේ රට මේ තරම් විනාශකාරීත්වයට ඇද ගෙන යාමේ චේතනාවෙන් කතිරය ගැහැව්වේ නැහැ. හැම පුරවැසියාම කතිරය ගැහුවේ, යහපත් අපේක්‍ෂාවන්ගෙන් යුතුවයි. හැබැයි ඡන්ද දායකයාගේ යහපත් සුබ සිහිනය වෙනුවට ඡන්දය ගත් පාලකයන් ඔවුන්ගේ සුබ සිහිනය විදිහට තිබුණේ, තම පවුල ගැන අපේක්‍ෂාවන්. පාලකයාට තිබුණේ, ජාතික සම්පත් විකුණන, අතිශය මජර, කෑදර ජීවිතයි. අපි ගොඩනඟන්නේ පුරවැසියාගේ අපේක්‍ෂාවන්. මේ රටේ සියලු දෙනා එකතු වී ගොඩනඟන පාලනයක් තුළින් රට ඉදිරියට ගෙන යාමයි. ජාතික ජන බලවේගයේ විධායක සභාවට සියලු ක්‍ෂේත්‍ර නියෝජනය කරමින්, තෝරා පත් කර ගත් පිරිසක් ඉන්නවා. අපි ගමට ගිහින්, මේ රට අලුත් මාවතකට හැරවීමේ දේශපාලනයට ප්‍රවේශ වෙමු. අවුරුදු හැත්තෑතුනක් ගමන් කරමින් තිබෙන විනාශකාරීත්වයේ මාවත වෙනුවට විසඳුමේ මාවත තෝරා ගනිමු. මේ තමයි, විසඳුමේ මාවත. ඒ මාවතට සියලු දෙනා ධෛර්යසම්පන්නව එකතු වෙමු කියලා ආරාධනා කරනවා.