විද්‍යාඥයින් වසර මිලියන 95ක් පැරණි ඩයිනෝසෝරයෙකුගේ ආමාශය විවෘත කරයි

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ වින්‍ටන් සැකැස්මෙන් (Winton Formation) සොයාගත්, වසර මිලියන 95ක් පැරණි ශාක භක්ෂක ඩයිනෝසෝරයෙක් වන "ජූඩි (Judy)" ලෙස නම් කළ පොසිල බවට පත් වූ ඩයිනෝසෝරයා, විද්‍යාඥයින්ට…
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ වින්‍ටන් සැකැස්මෙන් (Winton Formation) සොයාගත්, වසර මිලියන 95ක් පැරණි ශාක භක්ෂක ඩයිනෝසෝරයෙක් වන "ජූඩි (Judy)" ලෙස නම් කළ පොසිල බවට පත් වූ ඩයිනෝසෝරයා, විද්‍යාඥයින්ට ක්‍රිටේසියස් යුගයේ (Cretaceous period) ඩයිනෝසෝරයන්ගේ ආහාර වේල පිළිබඳ දැනගන්නට සුවිශේෂී අවස්ථාවක් ලබා දී තිබෙනවා.
කර්ටින් විශ්වවිද්‍යාලයේ සහ ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ආයතනය වන CSIRO හි පර්යේෂකයන් "ජූඩි"ගේ ආමාශයේ සංරක්ෂිත අන්තර්ගතයන් පරීක්ෂා කිරීමෙන් පසුව මේ පුවත ලොව පුරා අවධානය දිනාගත්තා.
"ජූඩි"ගේ බඩේ තිබුණේ මොනවාද?
දැන්වීම
ඇගේ පොසිල බවට පත් වූ බඩවැල් තුළින් විද්‍යාඥයින්ට පරිපූර්ණව සංරක්ෂණය කරන ලද ශාක කොටස් හමු වී තිබෙනවා. ඒ අතර පර්ණාංග (ferns), කේතුධර ශාක (conifers) සහ මුල් කාලීන මල් පිපෙන ශාකවල සියුම් අවශේෂ පවා තිබීම විශේෂත්වයක්. ඩයිනෝසෝරයෙකුගේ අවසන් ආහාරය පිළිබඳ මෙතෙක් සොයාගත් වඩාත් සවිස්තරාත්මක සෘජු සාක්ෂිය මෙය වන අතර, එය පූර්ව ඓතිහාසික පරිසර පද්ධති සහ ආහාර ගැනීමේ හැසිරීම් පිළිබඳ විශ්මයජනක අවබෝධයක් පර්යේෂකයන්ට ලබා දෙනවා.
"ජූඩි" යනු දිගු බෙල්ලක් සහිත ශාක භක්ෂක සෞරපෝඩාවෙක් (sauropod) වන අතර, ඇගේ සොයාගැනීම ඕස්ට්‍රේලියානු ඩයිනෝසෝරයන් අවබෝධ කර ගැනීමේදී දැනටමත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. නමුත් ඇගේ ආමාශයේ අසාමාන්‍ය ලෙස සංරක්ෂණය වී තිබීම ඇගේ වැදගත්කම තවත් ඉහළ මට්ටමකට ගෙනැවිත් තිබෙනවා.
උසස් රූපකරණ තාක්ෂණයන් (Advanced Imaging Technology) භාවිතා කරමින්, පර්යේෂකයන්ට ශාක දිරවා ඇති ආකාරය, ස්ථර වී ඇති ආකාරය සහ ස්ථානගත වී ඇති ආකාරය හරියටම දැක ගත හැකි වූ අතර, ඩයිනෝසෝරයා ආහාර ලබාගත් පිළිවෙල සහ ඌ ප්‍රිය කළ ශාක මොනවාද යන්න පවා මෙයින් හෙළි වුණා.
ජූඩි" ජීවත් වූ ක්‍රිටේසියස් යුගය (වසර මිලියන 95කට පෙර) වන විට, මල් පිපෙන ශාක, එනම් ආවෘත බීජක ශාක (Angiosperms), පෘථිවියේ පුරාණ භූ දර්ශනය පුරා ව්‍යාප්ත වීමට පටන් ගෙන තිබූණා. ඒ වගේම, මේ මල් පිපෙන ශාක තනිවම පැවතුණේ නැහැ. ඒවා පර්ණාංග (ferns) සහ මඩු (cycads) වැනි, ඊට වඩා පැරණි, ප්‍රාථමික ශාක වර්ග සමඟ එකට, සමගියෙන් පැවති බවත් (සහජීවනයෙන්) මේ පොසිල සාක්ෂි මගින් තහවුරු වෙනවා.
සරලව කිව්වොත්, "ජූඩි"ගේ බඩේ තිබූ ආහාරවලින් පෙන්නුම් කරන්නේ, ඒ කාලයේ පරිසරය විවිධ ශාක වර්ගවලින්, විශේෂයෙන්ම ඒ වන විට ව්‍යාප්ත වෙමින් තිබූ මල් පිපෙන ශාකවලින් පිරී තිබූ බවයි. මෙය ඩයිනෝසෝරයන් ජීවත් වූ පරිසර පද්ධතිය පිළිබඳ අලුත් අවබෝධයක් ලබා දෙනවා.
ඒ අනුව, මෙවැනි සොයාගැනීම් පුරාවිද්‍යාඥයින්ට ඩයිනෝසෝරයන් ආහාරයට ගත් දේ පමණක් නෙවෙයි, පසුකාලීන ක්‍රිටේසියස් යුගයේදී ඔවුන්ගේ වාසස්ථාන මොන වගේද කියලත් ප්‍රතිනිර්මාණය කිරීමට උපකාරී වෙනවා.
මුලින් කිව්වා වගේ, ජූඩි ජීවත් වුණේ මීට වසර මිලියන 95කට පමණ පෙරයි. ඒ කාලය වන විට සපුශ්ප ශාක (Angiosperms) පෘථිවිය මත ව්‍යාප්තිය ආරම්භ වෙලා තිබුණත් මේවා පරිණාමය වෙලා වැඩි කාලයක් ගිහින් නැති නිසා, සෞරොපොඩ්ලාට මේ අලුත් ශාක වර්ගයට හොඳින් අනුවර්තනය වෙන්න තරම් කාලයක් ලැබිලා නැතිව ඇති කියලා පර්‍යේෂකයන් සිතනවා.
වර්තමානයේ බොහෝ සපුශ්ප ශාකවල සතුන් ඒවා කන එක වළක්වන්නට විෂ හෝ රසායනික ආරක්ෂක ක්‍රම තිබෙනවා. සමහර ඒවා සතුන්ට මාරාන්තික වෙන්නත් පුළුවන්. ඩයිනෝසෝර යුගයේදීත් මේ වගේ මල් පිපෙන ශාකවලට සමාන ආරක්ෂක ක්‍රම තිබෙන්නට ඇති කියලා හිතන එක පුදුමයක් නෙවෙයි.
ඒ නිසා පර්‍යේෂකයන් සඳහන් කරන්නේ, ජූඩි තමන්ට විෂ සහිත ශාකයක් කෑ නිසා මිය ගියාද කියලා "දළ අනුමානයක්" (wild guess) තියෙනවා කියලයි. ඒ කියන්නේ, ඒක තවම තහවුරු කරලා නැති අදහසක්.
"ජූඩි"ගේ බඩවැල් මෙතරම් හොඳින් සංරක්ෂණය වී තිබීම අතිශයින්ම දුර්ලභයි. මෙතරම් සවිස්තරාත්මක ආමාශ අන්තර්ගතයන් සහිත ඩයිනෝසෝර පොසිල අතළොස්සක් පමණයි මෙතෙක් සොයාගෙන තිබෙන්නේ.
මේ නවතම සොයාගැනීම පිළිබඳ පර්‍යේෂණ වාර්තාව 2025 ජුනි මාසයේ "Current Biology" නම් විද්‍යාත්මක සඟරාවේ පළ කර තිබෙනවා.

