අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විජයානන්ද දහනායකගේ ගැටයෙන් ජේ.ආර් රිංගු හැටි..!

විජයානන්ද දහනායකගේ ගැටයෙන් ජේ.ආර් රිංගු හැටි..!

“රජ සබේ -රස කතා” (අනුර යසමිත්) ආචාර්ය විජයානන්ද දහනායක යනු ශ්‍රී ලංකාවේ පස් වැනි අගමැතිවරයා වන අතර ජේ.ආර් ජයවර්ධන යනු හත් වැනි අගමැතිවරයාය.දේශපාලන ජීවිතයේ මේ දෙදෙනාටම දීර්ඝ ඉතිහාසයක් තිබේ.එමෙන්ම…

“රජ සබේ -රස කතා”

(අනුර යසමිත්)

ආචාර්ය විජයානන්ද දහනායක යනු ශ්‍රී ලංකාවේ පස් වැනි අගමැතිවරයා වන අතර ජේ.ආර් ජයවර්ධන යනු හත් වැනි අගමැතිවරයාය.දේශපාලන ජීවිතයේ මේ දෙදෙනාටම දීර්ඝ ඉතිහාසයක් තිබේ.එමෙන්ම දේශපාලනයෙන් තෙම්පරාදු වූ මොවුහූ බුද්ධියෙන් අගතැන්පත් දෙදෙනෙක් ද වූහ.මේ දෙදෙනාටම ජනතාව ආදරය කළ නමුත් මැතිවරණවලදී පරාජයට ද පත් වී තිබේ.

1970 දී පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල මැතිවරණ කොට්ඨාශයට තරඟ කළ විජයානන්ද දහනායක මහතා එමගින් ජය ගත් අතර එවර එක්සත් ජාතික පක්ෂයට හිමි වූ මන්ත්‍රී සංඛ්‍යාව 17ක් විය.

පසු කලකදී එක්සත් ජාතික පක්ෂ නායකත්වය සමග ඇති කර ගත් මතභේදයක් හේතුවෙන් විජයානන්ද දහනායක මහතා ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කළේය.

1970 දී බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයෙන් ජනතාවගේ ජන ජීවිතයට දුෂ්කරතා ඇති වන පරිදි පවත්වා ගෙන ගිය පාලනයට එරෙහිව ජේ.ආර් ජයවර්ධන මහතා රට පුරා විරෝධතා ව්‍යාපාර පවත්වා ගෙන ගියේය.

ඒ අනුව ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට නිසැක ජයක් අත් වන බවට ලකුණු පහළ වෙමින් තිබිණ.විජයානන්ද දහනායක මහතා ද එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සමීප වෙමින් රජයට එරෙහි එම විරෝධතා ව්‍යාපාරයට සිය සහය ලබා දුන්නේය.

සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ උපදෙස් පරිදි ජනාධිපති විලියම් ගොපල්ලව මහතා විසින් 1977 මැයි මස 18 වනදා ජාතික රාජ්‍ය සභාව විසුරුවා හරිනු ලැබීය.

ඒ අනුව ඉදිරි මැතිවරණයේදී ගාල්ල මැතිවරණ කොට්ඨාශයට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා ගැනීමට විජයානන්ද දහනායක මහතා උත්සහ කළේය.කෙසේ නමුත් විජයානන්ද දහනායක මහතාට නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් ගාල්ල නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරුන් පිරිසක් බලවත් විරෝධයක් පළ කළහ.

මේ හේතුවෙන් විජයානන්ද දහනායක මහතාට 1977 මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වය හිමි නොවූ අතර ඒ සඳහා පත් කෙරුණේ ඩබ්ලියු.ජී ඇල්බට් ද සිල්වා මහතාය.

නව සංවිධායකවරයා හඳුන්වා දීම සඳහා ජේ.ආර් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ ප්‍රධාන පෙළේ රැස්වීමක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණ.මෙහිදී අලුත් උපක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට විජයානන්ද දහනායක මහතාට සිත් විය.

ඒ අනුව කසි කබල් මෝටර් රථයක නැගුණු විජයානන්ද දහනායක මහතා හනිකට හික්කඩුවට ගොස් වාහනය පසෙකින් නවතා විපරම් කරමින් පෙර මඟ බලා සිටියේ ඇල්බට් සිල්වා මහතාගේ ගාලු ජන රැළියට සහභගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ.ආර් ජයවර්ධන මහතා පැමිණෙන තුරුය.

විපරමෙන් යුතුව පෙර මඟ බලා සිටියදී, ජේ.ආර් ජයවර්ධන මහතාගේ මෝටර් රථය පැමිණෙන බව දුරතියාම දුටූ විජයානන්ද දහනායක මහතා සිය අතේ තිබූ කළු කුඩය දිගු කර මෝටර් රථය නතර කරන ලෙසට සංඥා කළේය.

මෝටර් රථය විජයානන්ද දහනායක මහතා ඉදිරියේ නතර වූ අතර ජේ.ආර් ජයවර්ධන මහතා රථයේ වීදුරුව පහත් කරමින් “ඇයි ඩොක්ටර්...” යනුවෙන් විමසීය.

“මට පොඩි අකරතැබ්බියක් වෙලා...මගේ කාර් එක කැඩිලා.කරුණාකරලා මාව ගාල්ලට ඇරලවන්න පුළුවන් ද...” යනුවෙන් විජයානන්ද දහනායක මහතා ජේ.ආර් ජයවර්ධන මහතාගෙන් විමසීය.

“ඩොක්ටර්..මට රැස්වීමට යන්න හදිස්සියි.දැනටමත් පරක්කුයි.ඇල්බට් සිල්වාලා කට්ටිය මං එනකම් බලා ගෙන ඉන්නවා.ඩොක්ටර් මෙන්න සල්ලි..මේ සල්ලිවලින් ඩොක්ටර් කුලී කාර් එකක් අර ගෙන යන්න..”

කපටිකමට කපටිකමකින්ම එසේ උත්තර දුන් ජේ.ආර් ජයවර්ධන මහතා සිය පසුම්බියෙන් මුදල් නෝට්ටු කිහිපයක් ඇද විජයානන්ද දහනායක මහතා වෙත දිගු කළේය.

ජේ.ආර් ජයවර්ධන මහතා සමග එකට මෝටර් රථයෙන් ගොස් ඇල්බට් සිල්වාගේ රැස්වීම අසලින් බැස ජනතාවට පෙනෙන්න පයින් ගෙදර යාමට විජයානන්ද දහනායක මහතා කළ සැලසුම එසේ අසාර්ථක විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
විජයානන්ද දහනායකගේ ගැටයෙන් ජේ.ආර් රිංගු හැටි..! | Lanka Newsweek