අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විකල්ප නැති බවට ජනපති කියන්නේ තක්කඩි කතාවක්

විකල්ප නැති බවට ජනපති කියන්නේ තක්කඩි කතාවක්

ආණ්ඩුව කරන්නේ "Magic" පෙන්වා ජාත්‍යන්තරය-IMF සතුටු කිරීමයි විකල්ප නැති බවට ජනාධිපතිවරයා කියන්නේ තක්කඩි කතාවක් යැයි ද, ඕනෑම ප්‍රශ්නයකට විකල්ප සේම උත්තර ද තිබෙන්නේ යැයි ද ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු…

ආණ්ඩුව කරන්නේ "Magic" පෙන්වා ජාත්‍යන්තරය-IMF සතුටු කිරීමයි 

විකල්ප නැති බවට ජනාධිපතිවරයා කියන්නේ තක්කඩි කතාවක් යැයි ද, ඕනෑම ප්‍රශ්නයකට විකල්ප සේම උත්තර ද තිබෙන්නේ යැයි ද ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසේකර මහත්මිය පැවසුවාය. 

ආචාර්ය හරිනි අමරසේකර මහත්මිය මේ බව කියා සිටියේ කොළඹ දී බ්‍රහස්පතින්දා (05) පැවති ජාතික ජන බලවේගයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය මෙසේ ද පැවසුවාය.

රටක බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේදී සලකා බැලිය යුතු මූලික කරුණු කිහිපයක් තිබෙනවා. සාධාරණවීම, සමස්ත ආර්ථිකයේ කොටසක්වීම, විනිවිදභාවයකින් ක්‍රියාත්මක කිරීම, අක්‍රමිකතා අවම වන ලෙස ක්‍රියාත්මක කිරීම, සහ බදු ගෙවන්නන්ට ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් විය යුතුයි. 

දැන්වීම

මේ කිසිම මූලධර්මයක් අද වෙන කොට අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ වන විටත් ඉතාමත්ම අසාධාරණ ලෙස ක්‍රියාත්මක වුණු බදු ප්‍රතිපත්තිය මත වැට් බදු පනවා තිබෙනවා. දැන් අවුරුදු දෙකක් පුරා ක්‍රියාත්මක කරන ආර්ථිකය හැකිළීමෙ ප්‍රතිපත්තිය තුළ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන්ම නැති කරලා. 

ආර්ථිකයට සහභාගීවීමේ හැකියාව ජනතාවට අහුරා තබා මේ යන ගමන ජනතාවගේ පැත්තෙන් නොවෙයි. රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුව බදු සහ ආර්ථිකය ගැන කල්පනා කරන්නේ ගිණුම් තුළනය කිරීමේ පැත්තෙන් පමණයි. ආර්ථිකය අවසන් වශයෙන් බලපාන මිනිස් ජීවිත, පවුල් ජීවිත, සහ රටේ සමස්ත පුරවැසියන් ගැන කිසිම තැකීමක් නැහැ. මිනිසුන් කියන්නෙත් සංඛ්‍යා ලේඛන විතරක් හැටියට පාලකයන් හිතනවා නම්, එවැනි පාලකයන් මේ ආකාරයේ ආර්ථික තීන්දු තීරණ ගන්නවා. මේ ආණ්ඩුවට මිනිසුන් හෝ මිනිසුන් ජීවත් වීම ගැන කිසිම අදාළත්වයක් නැහැ. ජාත්‍යන්තරයට අයි.එම්.එෆ්. එකට මැජික් පෙන්වා සතුටු කිරීමේ පදනම මත ආණ්ඩුව ක්‍රියා කරනවා.

අලුතින් පැනවූ බදු නිසා මහ ජනතාවට පීඩා එල්ල වෙනවා වගේම සමස්ත ආර්ථිකයට විශාල බලපෑමක් සිදු වෙනවා. සියලු දේම කප්පාදු කර අවමයෙන් ජීවත් වීම ගැන හැම දෙනාම කල්පනා කරන්නේ. පොල් සම්බෝලයට ලූණු දාන්නේ කොහොමද කියලා ගෘහණියන් කල්පනා කරනවා වගේම, ආර්ථිකයට සම්බන්ධ ව්‍යවසායකයනුත් කල්පනා කරනවා. මේ දක්වා දෙමාපියන් “මොනවා කළේ නැතත් දරුවන්ට උගන්වන්න ඕනෑ.” කියලා කල්පනා කළා. නමුත් අද වෙන කොට දරුවන් අධ්‍යාපනයෙන් පිටමන් කරවනවා. මොන ක්‍රමයකින් හෝ ආදායමක් සොයා ගන්න තැනට අවුරුදු 15-16 දරුවන් යොමු කර තිබෙනවා. ජනතාවගේ එදිනෙදා පීඩනය ගැන කිසිම සංවේදීභාවයක් නැති බව ඔවුන් කරන කියන සෑම දෙයකින්ම පැහැදිලියි.

විකල්ප නැති බවට ජනාධිපතිවරයා කියන කතාව තක්කඩි කතාවක්. ඕනෑම ප්‍රශ්නයකට විකල්ප තිබෙනවා, උත්තර තිබෙනවා. කුමන විකල්පයක් තෝරා ගන්නවා දැයි තීරණය වෙන්නේ අපි දරණ මතවාදයත් ජනතාව සමග තිබෙන සම්බන්ධතාවයත් උඩයි. 

ජනතාව මත බර පටවන්න ඕනෑ කියන තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ සාධාරණ බදු ක්‍රමයක් ඇති කිරීම, බදු නිසා ආර්ථිකය සංකෝචනය නොවීම සහ බදු ක්‍රමය විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා වහාම ක්‍රියා මාර්ග ගන්නවා. පාරිභෝගිකයාගෙන් අය කරන වැට් බද්ද ඒ ආකාරයෙන්ම භාණ්ඩාගාරයට ලැබෙනවාද යන්න විමසා බැලීමේදී ක්‍රමවේද තිබෙනවාද..? 

මිනිස්සු බදු බරින් මිරිකා තිබුණත් ඒ බදු භාණ්ඩාගාරයට ගන්න තාක්ෂණය ක්‍රියාත්මක කර නැහැ. තවදුරටත් තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීම ගැන පමණයි ඔවුන් කල්පනා කරන්නේ. මේ රටේ ගැහැනුන් නිර්භීත, ධෛර්යමත් පිරිසක් බව ඉතිහාසය පුරා ඔප්පු කර තිබෙනවා. අපේ රට අවදානමට පත්වුණු සෑම අවස්ථාවකම ගැහැනුන් ඉදිරියට ඇවිත් තිබෙනවා. නැවත වතාවක් එවැනි මොහොතක් ඇවිත් තිබෙනවා. ගැහැනු අපි නායකත්වය ගත යුතුයි. තවත් සංවිධානය වෙමින් මේ වසරේදී දුෂ්ට පාලනය අවසන් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරීව පෙරට එන ලෙස ඉල්ලා සිටිනවා.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
විකල්ප නැති බවට ජනපති කියන්නේ තක්කඩි කතාවක් | Lanka Newsweek