අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වැසූ කම්හලේ වැටුප් ලබන සේවකයෝ..!

වැසූ කම්හලේ වැටුප් ලබන සේවකයෝ..!

රුපියල් හයකෝටි තිස්දෙලක්ෂයක් වන්දි ගෙවලා..! 1999 වර්ෂයේ සිට කර්මාන්තායතනයේ කිසිදු මෙහෙයුම් කටයුත්තක් සිදු වෙලා නෑ..! 2020 ජනවාරි සිට 2023 දෙසැම්බර් මූල්‍ය වර්ෂයන්ට අදාල මූල්‍ය ප්‍රකාශන ලැබීම…

රුපියල් හයකෝටි තිස්දෙලක්ෂයක් වන්දි ගෙවලා..!

1999 වර්ෂයේ සිට කර්මාන්තායතනයේ කිසිදු මෙහෙයුම් කටයුත්තක් සිදු  වෙලා නෑ..!

2020 ජනවාරි සිට 2023 දෙසැම්බර් මූල්‍ය වර්ෂයන්ට අදාල මූල්‍ය ප්‍රකාශන ලැබීම ප්‍රමාදයි 

ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි

1994 දී වසරෙදී  වසා දමන ලද කන්තලේ සීනි කර්මාන්තායතනයේ වන්දි ලබා දි ඉවත් කරන ලද සේවකයින් 33 දෙනෙක් සදහා 2020, 2021, 2022 සහ 2023 වර්ෂවලදී පමණක් රුපියල් හයකෝටි තිස්දෙලක්ෂ තිස්එක්දහස් පන්සිය හැත්තෑඅටක් (6,32,31,678/-) වැටුප්, දීමනා, අතිකාල, සේවක අර්ථ සාධක හා සේවක භාරකාර (EPF/ETF) වශයෙන් ගෙවා තිබෙන බව ජාතික විගණන කාර්යාලය සිදුකරන ලද විගණන පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.

1999 වර්ෂයේ සිට කර්මාන්තායතනයේ කිසිදු මෙහෙයුම් කටයුත්තක් සිදු නොවුනද වත්කම් ආරක්ෂා කිරීම සහ අනෙකුත් කාර්යයන් වෙනුවෙන් සාමාන්‍යාධිකාරි ඇතුළු සේවකයින් 33 ක් වෙනුවෙන් මෙම මුදල් ගෙවා තිබෙන බවත් එම සේවකයින් අතර ආරක්ෂක නිලධාරීන් 03 ක්, නියාමකවරුන් 15 ක්, රියදුරන් 04 ක්, ගබඩාකරුවන් 03 ක්, පොත් තබන්නන් 06 ක් සහ කාර්මික උදව්කරුවන් 02 ක් සිටින බවත් එම විගණන වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

2018 අංක 19 දරණ ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරණ මුදල් පනත අනුව ජාතික විගණන කාර්යාලය 2020, 2021, 2022 සහ 2023 වර්ෂයන්ට වෙනුවෙන් කන්තලේ සීනි කර්මාන්තායතනයේ කටයුතු සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයට අදාල විගණන මූල්‍ය ප්‍රකාශනයේ මේ බව සදහන් වේ.

දැන්වීම

මෙම සේවකයින් 33 දෙනා වෙනුවෙන් වැටුප්, දීමනා, අතිකාල, සේවක අර්ථ සාධක හා සේවක භාරකාර (EPF/ETF)  සදහා 2020 වර්ෂයේදී රුපියල් 1,48,22,246/- ක්ද, 2021 වර්ෂයේදී රුපියල් 1,50,00,761/- ක්ද, 2022 වර්ෂයේදී රුපියල් 1,68,38,619/- ක්ද, 2023 වර්ෂයේදී රුපියල් 1,65,69,952 ක්ද ගෙවා තිබෙන බවත් විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ. කර්මාන්තායතනයේ පරිපාලනයේ හා මෙහෙයුම්වල පැවති දැඩි අකාර්යක්ෂමතාවය හා අක්‍රමවත්භාවය හේතුවෙන් 1994 දී 1135 ක් වූ සියළු සේවකයින්ට පාරිතෝෂික ගෙවා ඔවුන්ගේ සේවය අවසන් කල බවත් එයින් පසුව කිසිදු නිශ්පාදන කටයුත්තක් නොමැතිව කර්මාන්තායතනය වසා දමා තිබූ බවත් විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත. 2019 දෙසැම්බර් 31 දිනට රුපියල් 31,79,245/- ක සෘණ ශුද්ධ වත්කම් තත්ත්වයක් නිරීක්ෂණය වූ බවත් 2021 දී නැවත නිශ්පාදන ආරම්භ කිරීම සදහා පෞද්ගලික සමාගම් 02 ක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කලද 2023 දෙසැම්බර් 31 දක්වා නිශ්පාදන කටයුතු ආරම්භ නොකිරීමෙන් ආයතනය අවිනිශ්චිත තත්ත්වයක පැවතුන බවත් විගණන වාර්තාව මගින් පෙන්වා දි ඇත.

1957 දී ආරම්භ කරන ලද කන්තලේ සීනි කර්මාන්තායතනය වාර්ෂිකව සීනි මෙට්‍රික් ටොන් 16300 ක්, මොලෑසස් මෙට්‍රික් ටොන් 9000 ක් සහ වෙනත් පරිපාරක ස්ප්‍රීතූ ලීටර් මිලියන 3.9 ක නිශ්පාදිත ධාරිතාවයකින් යුක්තව පැවතුන බවද එම විගණන වාර්තාවේ සදහන් වේ. 1957 අංක 11212 ගැසට් පත්‍රය මගින් හෙක්ටයාර් 8596 ක (අක්කර 21233, රූඩ් 2, පර්චස් 30) ඉඩම් ප්‍රමාණයක් කන්තලේ සීනි කර්මාන්තායතනය සදහා වෙන්කර දී තිබුණද කර්මාන්තායතනය වසා දැමීමෙන් පසුව එම ඉඩම් වලින් හෙක්ටයාර් 4887 ක් සදහා කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය විසින් කලාප 04 ක් සදහා වෙන්කර දි තිබෙන බවත් තවත් හෙක්ටයාර් 3709 ක් සීනි කම්හල හා නිවාස සංකීර්ණය, යොවුන් සේනාංකය, සරණාගතයන් කැලෑව හා පාර්වල් සදහා වෙන්කර ඇති බවත් විගණන වාර්තාවේ සදහන් වේ. මෙයින් තවත් අක්කර 500 ක් පුද්ගලික හා රාජ්‍ය ආයතනයකට වෙන්කර දි තිබෙන බවට ප්‍රකාශ කලත් එම තොරතුරු විගණනයට ඉදිරිපත් නොවූ බවද විගණන වාර්තාවේ සදහන් කර තිබේ.

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරණ රාජ්‍ය ව්‍යාපාර චක්‍රෙල්ඛණයේ හා 2021 නොවැම්බර් 16 දිනැති 01/2021 දරණ රාජ්‍ය ව්‍යාපාර චක්‍රෙල්ඛණයේ සදහන් වන පරිදි ගිණුම් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුලත මූල්‍ය ප්‍රකාශන කෙටුම්පත් විගණකාධිපති වෙත ඉදිරිපත් කල යුතු වුවත් 2020 ජනවාරි සිට 2023 දෙසැම්බර් මූල්‍ය වර්ෂය අවසන් වි විගණන මූල්‍ය ප්‍රකාශය නිකුත්වන තෙක් කන්තලේ සීනි කර්මාන්තායතනයේ මූල්‍ය ප්‍රකාශන කෙටුම්පත් විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබූ බවද විගණන වාර්තාව මගින් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

(ජයකාන්ත ලියනගේ)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න