වසර 17ක් සෞදියේ සිරවී සිටි කේ.ජී.කුසුමාවතීට ලක්ෂ 36ක හිග වැටුප්...

(අශාන්ති වර්ණසූරිය) වසර 17ක් සෞදියේ සිරවී සිටි කේ.ජී.කුසුමාවතී මහත්මිය දිවයිනට ගෙන්වා ගැනීමෙන් අනතුරුව ඇයට හිමි හිග වැටුප ලෙස රු.3,600,000 ක මුදලක් අධිකරණ හා විදේශ රැුකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ…
(අශාන්ති වර්ණසූරිය)
වසර 17ක් සෞදියේ සිරවී සිටි කේ.ජී.කුසුමාවතී මහත්මිය දිවයිනට ගෙන්වා ගැනීමෙන් අනතුරුව ඇයට හිමි හිග වැටුප ලෙස රු.3,600,000 ක මුදලක් අධිකරණ හා විදේශ රැුකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් එම කාර්යාංශයේදී ලබාදෙන ලදී.
අඹන්පොළ, අටවරළ ප‍්‍රදේශයේ පදිංචි කේ.ජී.කුසුමාවතී මහත්මිය 2000.09.23 වන දින ගෘහ සේවිකාවක ලෙස රැකියාව සඳහා සෞදි අරාබියට ගොස් තිබේ. එදින සිට ඇය නාගරික සීමාවෙන් පිටත කාන්තාර ප‍්‍රදේශයක සේවය කර තිබේ. මුල් වසර 15 ක කාලය එහි එළුවන් හා බැටළුවන් බලාගනිමින් සේවය කර ඇත. එම වසර 15 තුළ මාස කිහිපයකට වතාවක් නිවසට දුරකතනයෙන් අමතා ඇති අතර, වසර එක හමාරක කාලයක් තුළ නිවැසියන්ට කිසිඳු තොරතුරක් ලැබී නොමැත. ඒ පිළිබඳව ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කොට තිබේ.
දැන්වීම
මේ සම්බන්ධයෙන් කරුණු දැනගත් අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය කේ .ජී.කුසුමාවතී මහත්මිය පිළිබඳව වහාම සොයා බලා කඩිනමින් දිවයිනට එවීමට කටයුතු කරන ලෙස සෞදි තානාපති කාර්යාලයේ කම්කරු නිළධාරීන්ට උපදෙස් ලබාදුන්නාය.
ඒ අනුව නිවැසියන් ලබාදී තිබු දුරකතන අංකයට තානාපති කාර්යාලයේ නිළධාරීන් ඇමතම් ලබාදී තිබූ අතර, ඇය වෙසෙන ප‍්‍රදේශය පිළිබඳව කිසිඳු අවබෝධයක් ඇයට නොතිබිණි. ඒ අනුව ඇය සොයාගැනීම දුෂ්කර වී ඇති අතර කෙටි කාලයකින් ඇයගේ දුරකතනයද විසන්ධි වී ඇත. ඇය සිටින ස්ථානය සොයාගැනීමට පෙරම තානාපති කාර්යාල නිළධාරීන් ඇයගේ වැටුප් හිමිකම් වෙනුවෙන් Taif ප‍්‍රදේශයේ කම්කරු උසාවියටද පැමිණිලි කර ඇත. සෞදි ආගමන විගමන කාර්යාලයෙන් ඇයගේ හාම්පුතාගේ තොරතුරු ලබාගෙන සෞදි රහස් පොලිසියේද සහය ඇතිව තානාපති කාර්යාල නිළධාරින් කුසුමාවතී මහත්මිය සොයාගෙන තිබේ.
ඇය සේවය කළ Ateef පොලිස් ස්ථානයට ඇයගේ හාම්පුතා හා ඇය කැඳවීමෙන් අනතුරුව තානාපති කාර්යාලයේ නිළධාරීන් විසින් ස්ථාවර කරුණු ඉදිරිපත් කරමින් ඇයගේ ශ‍්‍රමයට සරිලන ශ‍්‍රී ලංකා රජය අනුමත කර ඇති වැටුප් ලබාගැනීමට කටයුතු කර ඇත. මෙම අවස්ථාවේදී සේවක මහත්මිය විසින් මසකට රියාල් 400 බැගින් සියළු වැටුප් තමාට ලැබුණු බව ප‍්‍රකාශ කර ආරක්ෂාව පතා හාම්පුතා වෙත ලබාදී තිබූ රියාල් 38600ක මුදලක පමණක් තමාට ලබාදෙන මෙන් ඉල්ලා තිබේ. නමුත් සෞදි රජය හා ශ‍්‍රී ලංකා රජය අත්සන්කර ඇති ද්වීපාර්ශවික ගිවිසුමට අනුව වරින් වර වැටුප් මුදල් වැඩිවී තිබෙන අතර, ඒ පිළිබඳව එරට පොලිසිය දැනුවත් කර සියළු හිග වැටුප් ලබාගැනීමට හාම්පුතා එකග කරගන්නා ලදී. ඇය ඉල්ලා සිටි රියාල් 38600ක මුදල හාම්පුතාගෙන් ලබාගෙන එදිනම ඇය සුරක්ෂා නිවාසයට රැගෙනවිත් තිබේ.
2017.10.12 වන දින හාම්පුතා කොන්සල් කාර්යාලයට පැමිණි අතර, එහිදී පැවතී දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව කුසුමාවතී මහත්මියට ලැබිය යුතු තවත් රියාල් 50000 ක් 2017.11.12 වන දින ගෙවීමට හාම්පුතාගේ ලිඛිත එකගත්වය ලබාගන්නා ලදී. ඒ අනුව ඇයට ලැබිය යුතු මුළු මුදල රියාල් අසූ අටදහස් හයසීයයකි. එනම් රුපියල් තිස්හය ලක්ෂයකි. සේවක මහත්මියගේ පවුලේ ඥාතීන්ගේ ඉල්ලිම මත ඇය 2017.10.27 දින දිවයිනට පැමිණියාය.
මෙහිදී අදහස් දැක්වූ කේ .ජි. කුසුමාවතී මහත්මිය ”මම වසර 17ක් සෞදියේ සතුන් බලාගනිමින් හිටියේ. මම ළමයින් දෙදෙනා පොඩි කාලයේ ගියේ. මට ලංකාවට එන්න අවස්ථාව ලබාදුන්නට ගොඩක් ස්තූතියි.”
කුසුමාවතී මහත්මියගේ සැමියාද මෙහිදී අදහස් ප‍්‍රකාශ කළේය. ”මගේ බිරිඳ සෞදියට ගිහින් වසර 17ක් හිටියා. ඇයව ගෙන්වගන්න මම ගොඩක් දුක්වින්දා. ඒ අතරතුර තමයි තලතා අතුකෝරළ ඇමතිතුමිය මැදිහත් වෙලා සෞදි තානාපති කාර්යාලයේ නිළධාරීන් මැදිහත් වෙලා ගෙන්වලා දුන්නා. ඒකට අපි ගොඩක් ස්තූතිවන්ත වෙනවා.”