වසර 15කට පසුව ආසියානු තරුව යුරෝපය හැර යයි

"මම දකුණු කොරියාවෙන් නික්මුණේ අවුරුදු 15 දී. දෙමාපියන් අතඇරලා එච්චර පොඩි වයසකදී ජර්මනියට පැමිණෙන එක මට පොඩ්ඩක්වත් පහසු වුණේ නෑ. අනික සංස්කෘතිය, භාෂාව මේ හැමදේම ජර්මනියේ වෙනස්." "මම හැම දවසකම ඇඬුවා.…
"මම දකුණු කොරියාවෙන් නික්මුණේ අවුරුදු 15 දී. දෙමාපියන් අතඇරලා එච්චර පොඩි වයසකදී ජර්මනියට පැමිණෙන එක මට පොඩ්ඩක්වත් පහසු වුණේ නෑ. අනික සංස්කෘතිය, භාෂාව මේ හැමදේම ජර්මනියේ වෙනස්."
"මම හැම දවසකම ඇඬුවා. මම මහන්සියෙන් තනිවෙලා හිටියේ. කිසිම කෙනෙක් නැති පාලුව මාව වෙලාගෙන තිබුණා. හැමදාම ඇඬුවත් හැමදාම තනි වුණත් මට එතනින් නික්ම යන්න, අභියෝගයෙන් පලා යන්න අවශ්‍ය වුණේ නෑ. මොකද ඒක තමයි මගේ සිහිනය."
"ඔබේ ජීවිතේ අමාරු අවස්ථා එයි. හැබැයි ඔබට ඒ හැම එකකටම මුහුණ දෙන්න වෙනවා."
දැන්වීම
මෙහෙම කියන්නේ දකුණු කොරියානු පාපන්දු ක්‍රීඩක, එහෙමත් නැත්තන් මිලියන ගණනක් වූ දකුණු කොරියානු ළමුන්ගේ, වැඩිහිටියන්ගේ මේ හැම කෙනෙක්ගේම වීරයා, සොන් හෙයුන්ග් මින්.
ලොව තරගකාරීම පාපන්දු ක්‍රීඩාව තියෙන්නේ යුරෝපයේ. නමුත් යුරෝපා පාපන්දු ක්‍රීඩා සමාජ ඇතුළේ ආසියානු ක්‍රීඩකයන් දකින්න ලැබෙන්නේ ඉතා අඩුවෙන්. ඒ අතරිනුත් ඉහළින්ම ඉන්න ආසියානු ක්‍රීඩකයෝ දකින්න ලැබෙන්නේ අතිශය කලාතුරකින්. සොන් කියන්නේ එහෙම කලාතුරකින් දකින්න ලැබෙන ආසියානු ක්‍රීඩකයෙක්.
ඔහු නොම්මර 1 දක්ෂයෙක්. සොන් කුඩා කාලයේම ජර්මනියට එන්නේ පාපන්දු ක්‍රීඩා කරන්න. පාපන්දු දක්ෂතා නිසාම හැම්බර්ගර් කියන ජර්මානු පාපන්දු කණ්ඩායමේ ඇකඩමි එකට එන්න සොන් ට හැකියාව ලැබෙනවා.
තනි වෙලා හඬමින් හිටපු කුඩා සොන් කවදාවත් තමන්ගේ ඉලක්කය අතහැරියේ නෑ. ඔහු ජර්මන් භාෂාව ඉගෙන ගත්තා. කොටින්ම සොන් පාපන්දු පිටිය ඇතුළට ආවට පස්සේ කිසිම වෙලාවක තනි වුණේ නෑ. ඔහුගේ දක්ෂතා යුරෝපීය ක්‍රීඩකයන් පවා මවිතයට පත් කළා.
ප්‍රහාරක ක්‍රීඩකයෙක් වුණ සොන් ඉතාම වේගවත්, ඔහුගේ පන්දු පාලනය විශිෂ්ටයි. ඒ වගේම තමයි මාරාන්තික ප්‍රහාරයකුත් ඔහු සතු වුණා. මේ නිසාවෙන්ම ඔහු 2010 වර්ෂයේ හැම්බර්ගර් වෙනුවෙන් ජර්මානු පළමු පෙළ පාපන්දු ලීගයට ප්‍රවිශ්ට වුණා. ඒ වෙද්දී සොන් ගේ වයස අවුරුදු 18 යි.
හැම්බර්ගර් වෙනුවෙන් තරග 78 කදී ගෝල 20 ක් ලබාගත්ත සොන් ඉන් අනතුරුව තවත් ජර්මානු ක්‍රීඩා සමාජයක් වන බයර් ලෙවර්කුසන් සමගින් එකතු වෙනවා. එහිදී ලෙවර්කුසන් වෙනුවෙන් සොන් තරග 87 කදී ගෝල 29 ක් වාර්තා කළා.
සොන් ගේ ජීවිතයේ තීරණාත්මකම වෙනස්කම සිද්ධ වෙන්නේ 2015 දී. ඔහු යුරෝ මිලියන 30 ක හුවමාරු වටිනාකමකට එංගලන්තයේ ටොටන්හැම් කණ්ඩායමත් සමගින් ගිවිසුම් ගත වෙනවා. එතැන ඉඳලා සොන් හෙයුන්ග් මින් කියන නම ලෝකය පුරා ජනප්‍රිය වෙන්න පටන් ගත්තා.
හැරී කේන් සහ සොන් කියන යුගලය ටොටන්හැම් කණ්ඩායම වෙනස්ම තැනකට රැගෙන ගියා. ආසියානු ක්‍රීඩකයෙක් විදිහට ලෝක පාපන්දුවේ ඉහළින්ම වැජඹෙන්න සොන් ට මේ කාලයේ හැකියාව ලැබුණා.
වර්තමානයේ යුරෝපයේ රටවල් වල පවතින පාපන්දු ලීග අතරින් තරගකාරීම පාපන්දු ලීගය ලෙසින් හැඳින්වෙන්නේ එංගලන්ත ප්‍රිමියර් ලීගය. එය ලොව රටවල් වල පවතින තරගකාරීම ලීගය විදිහට හඳුන්වන්නත් පුළුවන්.
සොන් 2021-22 තරගවාරයේ දී එංගලන්ත පාපන්දු ලීගයේ වැඩිම ගෝල ලාභියාට හිමි රන් පාවහන දිනා ගත්තා. එහෙම දස්කමක් කරපු පළමුවන ආසියානු ක්‍රීඩකයා ලෙසින් ද ඔහු ඉතිහාසගත් වුණා.
පාපන්දු ක්‍රීඩාව ආගමක් මෙන් අදහන යුරෝපයේ, දකුණු අමරිකාවේ සහ අප්‍රිකාවේ ක්‍රීඩකයන් සිය ගණනක් අභිබවා ආසියානුවෙක් විදිහට සොන් ප්‍රිමියර් ලීග් රන් පාවහන දිනා ගැනීම සමස්ථ ආසියාවම ආඩම්බරයෙන් පිරෙව්වා.
2020 වර්ෂයේ ලෝකය තුළ පැවැත්වෙන මොනම හෝ පාපන්දු තරගයක වාර්තා කළ හොඳම ගෝලයට හිමි ෆිෆා පුස්කස් සම්මානයෙනුත් සොන් හෙයුන්ග් මින් පිදුම් ලැබුවා.
සොන් හෙයුන්ග් මින් පෙන්නපු දක්ෂතා වලට ලැබුණ ඇගයීම් කිහිපයක් පහතින් සඳහන් කරන්න පුළුවන් මේ විදිහට,
* ෆිෆා පුස්කස් සම්මානය 2020 දී දිනා ගැනීම
* එංගලන්ත ප්‍රිමියර් ලීග් වැඩිම ගෝල ලාභියා 2022
* වසරේ ආසියානු පාපන්දු ක්‍රීඩකයා සම්මානය 9 වතාවක් ජය ගැනීම
* IFFHS Asian Men's Player of the Year සම්මානය 3 වතාවක් ජය ගැනීම
* 2010 දශකයේ ආසියානු පාපන්දු ක්‍රීඩකයා ලෙසින් IFFHS විසින් නම් කිරීම
* ප්‍රිමියර් ලීග් වසරේ හොඳම කණ්ඩායමට ඇතුළත් වීම
* වසරේ කොරියානු පාපන්දු ක්‍රීඩකයා සම්මානය 8 වතාවක් දිනා ගැනීම
* ටොටන්හැම් කණ්ඩායමේ වසරේ ක්‍රීඩකයා සම්මානය 3 වතාවක් දිනා ගැනීම
* 2019-20 ප්‍රිමියර් ලීග් හොඳම ගෝලය
* IFFHS විසින් ඉතිහාසයේ හොඳම ආසියා පාපන්දු කණ්ඩායමට නම් කිරීම
මේ වගේ ඇගයීම් ගණනාවක් සොන් ට හිමි වුණා. ඔහු මේ කාලයේ ටොටන්හැම් වෙනුවෙන් තරග 454 කදී ගෝල 173 ක් සහ ගෝල ලබා ගැනීමට සහාය වීම් 101 ක් ලබා දුන්නා. කොටින්ම මෑත කාලීනව ආසියාවෙන් බිහි වූ හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙසින් ඔහුව නම් කිරීම කිසිම වරදක් නෑ.
ඔහු දකුණු කොරියාව වෙනුවෙන් තරග 133 කදී ගෝල 51 ක් ලබාගෙන සිටිනවා. දකුණු කොරියා පාපන්දු ඉතිහාසයේ දෙවන වැඩිම ගෝල ලාභියා වෙන්නේත් සොන්. නමුත් මේ සියලු දක්ෂතා ඔහුව ජයග්‍රහණයක් වෙනුවෙන් රැගෙන ගියේ නෑ. අවාසනාව සොන් ට හරස් වුණා.
ක්‍රීඩා සමාජ පාපන්දුව සමග දැන් ඔහු වසර 15 ක් ක්‍රීඩා කොට අවසන්. නමුත් මේ වසර 15 පුරාවටම සොන් කිසිඳු ලීග් ශූරතාවයක් ජය ගත්තේ නෑ. 2021 එංගලන්ත ලීග් පාපන්දු කුසලානය වන EFL Cup අවසන් තරගයට පැමිණියත් සොන් ඇතුළු ටොටන්හැම් පරාජය වුණා.
2019 දී ටොටන්හැම් කණ්ඩායම ඉතිහාසය රන් අකුරින් ලියන්නට ආසන්න වුණා. ඕනෑම ක්‍රීඩා සමාජ පාපන්දු ක්‍රීඩකයෙක්ගේ සිහිනය වන යුරෝපා චැම්පියන්ස් ලීග් අවසන් තරගයට ඔවුන් සුදුසුකම් ලැබුවා. නමුත් එවරත් සොන් ඇතුළු ටොටන්හැම් අවසන් තරගයේ දී ලිවර්පූල් ට දෙවැනි වුණා.
ජාත්‍යන්තර පාපන්දුවේත් දකුණු කොරියාව සමග සොන් ට උරුම වූයෙ අවාසනාව පමණයි. 2015 ආසියානු කුසලාන අවසන් තරගය දකුණු කොරියාව පරාජයට පත් වුණා. වෙනත් ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගාවලියක ශූරතාවයක් හෝ ඔවුන්ට මේ කාලයේ හිමි වුණේ නෑ.
මේ සෑම අවස්ථාවකම සොන් තම උපරිමය කණ්ඩායමට ලබා දුන්නා. මේ සෑම අවස්ථාවකම හඬමින් ක්‍රීඩා පිටියෙන් නික්ම් යන සොන් වෙනුවෙන් පාපන්දුව කාරුණික නොවන්නේ ඇයිද කියා ප්‍රේක්ෂකයින් ප්‍රශ්න කළා.
සොන් හෙයුන්ග් මින් ජයග්‍රහණයක් ලබා ගන්නා තුරු දකුණු කොරියානුවන් පමණක්ම නොව සමස්ථ ආසියාවම බලා සිටියා. අවසානයේ තමන්ගේ ජයග්‍රහණ ඉඩෝරය ඔහු 32 වන වියේ දී නිමා කළා.
මැන්චෙස්ටර් යුනයිටඩ් පරාජය කරමින් ටොටන්හැම් හොට්ස්පර් 2024-25 යුරෝපා ලීගය ජයග්‍රහණය කරන විට සොන් හෙයුන්ග් මින් කණ්ඩායමේ නායකයා වීමත් දෛවෝපගත සිදුවීමක්.
ටොටන්හැම් වසර 17 කට පසු ජයග්‍රහණය කළ කුසලානය එසවීමේ වාසනාව ආසියානුවෙක් වුණ සොන් ට හිමි වුණා. ආසියාව බිහි කළ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙක් වසර 15 ක වෘත්තීමය දිවියේ පළමු ශූරතාවය කණ්ඩායමේ නායකයා ලෙසින්ම දිනා ගත්තා.
සියලුම පරාජයන්, ජයග්‍රහණයන්, බිඳ වැටීම් සහ නැගිටීම් මැද සොන් හියුන් මින් යුරෝපීය පාපන්දුව හැර යාමට තීරණය කර තිබෙනවා. ටොටන්හැම් කණ්ඩායමෙන් නික්ම යමින් අමරිකාවේ MLS ලීගයේ ලොස් ඇන්ජලීස් කණ්ඩායම සමග එක්වන බවට වාර්තා වනවා.
හඬන කුලෑටි දරුවෙක් ලෙසින් යුරෝපයට පැමිණි සොන් මුළු මහත් ලෝකයක් ආදරය කරන චරිතයක් ලෙසින් යුරෝපා පාපන්දුවෙන් නික්ම යනවා. ඔහු ඕනෑම ක්‍රීඩාවක ඕනෑම ක්‍රීඩකයෙක් ට දැවැන්ත උදාහරණයක්.
සොන් ඔබට සුබ ගමන්!