වර්ධනය වන අපරාධ රැල්ල වහාම මර්දනය කරනු

රටේ වර්ධනය වෙමින් පවතින අපරාධ රැල්ල මර්දනය කිරීමට වග කිව යුත්තන් නොපමාවම පියවර ගත යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර…
රටේ වර්ධනය වෙමින් පවතින අපරාධ රැල්ල මර්දනය කිරීමට වග කිව යුත්තන් නොපමාවම පියවර ගත යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින සංවිධානාත්මක අපරාධ ඇතුළු සාහසික මිනීමැරුම් පිළිබඳව පොලිසිය ඇතුළු වගකිව යුත්තන්ගේ අවධානය ක්‍රියාකාරී මට්ටමින් යොමු විය යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරනු කැමැත්තෙමු.
පසුගිය මාස කිහිපය තුළ පමණක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සාහසික මිනීමැරුම් සංඛ්‍යාව සමාජය තැතිගන්වන සුළුය. එමෙන් ම ඒ පිළිබඳව පොලිසිය විසින් ගෙන ඇති පියවර හා එහි ප්‍රගතිය නොපමාව සමාලෝචනය කර ගත යුතු සියළු පියවර ගැනීම ඒ ඒ ආයතනවල වගකිව යුත්තන්ගේ කාර්යභාර්යයක් වන බව ද සිහිපත් කරනු කැමැත්තෙමු.
මෑත භාගයේදී ශ්‍රී ලංකාව තුළ මේ අකාරයේ අපරාධ සිදුවීමට තුඩු දී ඇති හේතූන් සොයා බලා ප්‍රතිකර්ම යෙදීම ද නොපමාව සිදු කල යුතුව තිබේ. එහිදී නව පොලිස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් වෙත විශේෂ වගකීමක් ඇතැයි ද අප විශ්වාස කරන්නෙමු. විශේෂයෙන්ම එහිදි ජාතික දේශපාලඥයන්ගේ පවුල් සාමාජිකයන් මෙන් ම ප්‍රාදේශිය දේශපාලඥයන්ගේ නිර්දේශ මත පොලිස් ස්ථානවලට ස්ථානාධිපතිවරුන් පත් කිරීම ගැන තොරතුරු අපට අසන්නට ලැබුණි. එවැනි තත්ත්වයන් රටේ මහජන ආරක්ෂාව දුර්වල කිරීමට හේතු වී ඇති බව පැහැදිලි වන නිසා අනාගතයේ එවැනි තත්ත්වයන් ඇති නොවීමට පොලිස් කොමිසම පියවර ගනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.