අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලෝක මාධ්‍යවේදීන් ඒකාබද්ධ කළ GIJN සමුළුව..!

ලෝක මාධ්‍යවේදීන් ඒකාබද්ධ කළ GIJN සමුළුව..!

(දිලීෂා අබේසුන්දර) ගෝලීය ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ සමුළුව හෙවත් Global Investigative Journalists Conference 2017 නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි Witwatersrand විශ්ව විද්‍යාල…

ලෝක මාධ්‍යවේදීන් ඒකාබද්ධ කළ GIJN සමුළුව..!

(දිලීෂා අබේසුන්දර)

ගෝලීය ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ සමුළුව හෙවත් Global Investigative Journalists Conference 2017  නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි Witwatersrand විශ්ව විද්‍යාල භූමියේදී අති සාර්ථකව පැවැත්විණි. මෙවර එහි විශේෂත්වය වූයේ ගෝලීය ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ සමුළුවේ දස වැනි සංවත්සරය යෙදී තිබීමයි. මෙවර සමුළුව සඳහා රටවල් එකසිය තිහකින් ජනමාධ්‍යවේදීහු එක්දහස් දෙසිය දෙනෙක් සහභාගි වූහ. දින පහක් පුරා ගවේෂණාත්මක ජනමාධ්‍යකරණයට අදාළව අදහස් තොරතුරු බෙදාහදා ගැනීම, දැනුම දියුණු කර ගැනීම, වෙනත් රටවල ජනමාධ්‍යවේදීන් සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම මෙන්ම  නිර්මාණාත්මක නවීන ගවේෂණාත්මක මාධ්‍යකරණයට විශේෂිත වූ ක්‍රම සහ ශිල්ප හඳුනා ගැනීමට මෙම සමුළුව අතිශයින්ම වැදගත් විය. තවද ගෝලීය ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ සමුළුව අප්‍රිකානු භූමියෙහි පැවැත්වුණු ප්‍රථම අවස්ථාව මෙය වේ. රටවල් ගණනාවක අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීන් 150 දෙනකු ගෙන් යුත් විද්වත් මණ්ඩලවලින් සමන්විත වැඩමුළු ගණනාවක් හරහා ජනමාධ්‍යවේදීන්ට තමන්ගේ දැනුම සහ දක්ෂතා ඔප් නංවාගත හැකි වූ අතර වැඩමුළු තෝරා ගෙන  සහභාගිවීමට අවස්ථාව මෙහිදී හිමිවිය. වැඩමුළු තෝරා ගැනීමේ පහසුව සඳහා විශේෂිත online app එකක් නිර්මාණය කර ඒ හරහා විධිමත් ලෙස දැනුම සොයා යෑමට ජනමාධ්‍යවේදීන්ට අවකාශය ලැබුණි. මනෝවිද්‍යාත්මක ආරක්ෂාව පිළිබඳ ගවේෂණාත්මක වාර්තාකරණය, ගවේෂණාත්මක වාර්තාකරණය සඳහා දත්ත ගොනු කරන්නේ සහ විශ්ලේෂණය කරන්නේ කෙසේද, ද්‍රෝන, සැටලයිට්, අන්තර්ජාලය ඇතුළු දියුණු තාක්ෂණය භාවිත කරන අන්දම, සිතියම්කරණය, ගවේෂණාත්මක ජනමාධ්‍යවේදයේ ආචාරධර්ම, සමාජ ජාල සැකසීම, බහු මාධ්‍යකරණය, මානව කුට්ටනය සහ බලහත්කාරයෙන් කම්කරු සේවයෙහි යෙදවීම පිළිබඳ වාර්තාකරණය, තොරතුරු දැනගැනීමේ නීතිය, ගවේෂණාත්මක ජනමාධ්‍යවේදයේ හමුවන අතත්‍ය යථාර්ථය, ශාස්ත්‍රීය පත්‍රිකා, ආසියානු මාධ්‍යවේදීන් ජාලගතකරණය, අප්‍රිකානු ජනමාධ්‍යවේදීන් ජාලගතකරණය ආදී වැඩසටහන් සහ ක්‍රියාකාරකම රැසකට සම්බන්ධ වන්නට මෙහිදී අවස්ථාව ලැබුණි. ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය කෙරෙහි බොහෝ විට බලපානු ලබන්නේ ආසන්නතම රට වන ඉන්දියාවේ ජන මාධ්‍ය භාවිතයන් ය. ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත සකස් කිරීමේදී වැඩිදුර ආදර්ශයට ගනු ලැබුවේ ඉන්දියාවේ ක්‍රියාත්මක වන තොරතුරු දැනගැනීමේ නීතියයි. ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ නීතිය භාවිත කරමින් වාර්තාකරණයන් ගණනාවක් සිදු කළ ශාමල් යාදව්ගේ දේශනය මෙහිදී සියලු දෙනාට  විශේෂයෙන් වැදගත් විය. ඔහු තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලූම්පත් හත් දහසකට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර තොරතුරු ලබා ගෙන තිබෙන අතර ඒවා මඟින් සමාජයට වැඩදායි ගවේෂණාත්මක වාර්තාකරණයන් සිදු කර ඇත. තොරතුරු ලබාගැනීමේදී ඔහු භාවිතා කරන ලද ක්‍රමවේද සහ උපක්‍රම පිළිබඳව මෙහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළේය. තුර්කියේ පීනා ඩැග් විසින් ඉදිරිපත් කරන ලද දත්ත සැකසුම්කරණය පිළිබඳ දේශනය මගින් දත්ත රැස් කර ගන්නා ආකාරය සහ නිර්මාණශීලීව ලැයිස්තුගත කරන අන්දමත් ඒ සඳහා උපයෝගී කර ගත හැකි නවීන අන්තර්ජාල මෙවලම් මොනවාද යන්න පිළිබඳවත් අදහස් දක්වන ලදී. ඉන්දියාවේ රානා අයුබ් යනු සිය අනන්‍යතාව වසන් කරමින් සිදු කළ අනාවරණයක් හේතුවෙන් ඉන්දියාව තුළ මහත් ආන්දෝලනයට ලක්වූ මාධ්‍යවේදිනියක් ලෙස හැඳින්විය හැකිය. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නම ඈඳුණු අපරාධයක් පිළිබඳව වන ගවේෂණය සිදු කළ අන්දම පිළිබඳව ඇය මෙහිදී විග්‍රහ කළාය. මාස අටකට අධික කාලයක් රජයේ ප්‍රධාන පෙළේ ඇමතිවරයකුගේ නිවසක ඔහුගේ පවුලේ අය සමග එක්ව වසමින් ශරීරයෙහි සවි කර ගන්නා ලද පටිගත කිරීමේ උපකරණ ද යොදා ගනිමින් සිදු කළ අසීරු තොරතුරු වාර්තාකරණය සියලු දෙනාගේ  විමතිය දනවන්නක් විය. මේ හැරෙන්නට රුසියාව, ඉරාකය ලෙබනනය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය ආදී අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙන රටවල්වල ජනමාධ්‍යවේදීහු ලා පළ කළ අදහස් සහ ඔවුනගේ අත්දැකීම් මත සිදු කළ අනාවරණය කිරීම් ජනමාධ්‍යවේදීන් වන අපට අතිශය වැදගත් විය. ගෝලීය ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ ජාලය අන්තර්ජාතික වශයෙන් ක්‍රියාත්මක වන ගවේෂණාත්මක වාර්තාකරණය පිළිබඳ සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කරන අතර රටවල් 68 ක සාමාජිකයන් එකසිය පනස් පස් දෙනෙකුගෙන් සමන්විත වේ. 2003 වර්ෂයේදී ආරම්භ කෙරුණු මෙම සංවිධානයේ දෙවැනි සම්මේලනය ලොව පුරා ජනමාධ්‍යවේදීන් 300කට අධික පිරිසක් නියෝජනය කරන ලදි. මීළඟ #GIJN සමුළුව ජර්මනියේ හැම්බර්ග්හිදී පැවැත්වීමට නියමිතය. ලෝක මාධ්‍යවේදීන් ඒකාබද්ධ කළ GIJN සමුළුව..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
ලෝක මාධ්‍යවේදීන් ඒකාබද්ධ කළ GIJN සමුළුව..! | Lanka Newsweek