අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලෝක උරුමය අහිමිවීමේ අවධානමෙන් ගාලු කොටුව ගැලවෙයි

ලෝක උරුමය අහිමිවීමේ අවධානමෙන් ගාලු කොටුව ගැලවෙයි

(සුජිත් මංගල ද සිල්වා) රජය යුනෙස්කෝ කොන්දේසි නිසි ලෙස ක්‍රියාත්මක කිරීම නිසා ගාල්ල කොටුව ලෝක උරුම තත්ත්වයෙන් ඉවත්වීමේ අවධානම පහව ගොස් ඇති බව නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා…

(සුජිත් මංගල ද සිල්වා)

රජය යුනෙස්කෝ කොන්දේසි නිසි ලෙස ක්‍රියාත්මක කිරීම නිසාගාල්ල කොටුව ලෝක උරුම තත්ත්වයෙන් ඉවත්වීමේ අවධානම පහව ගොස් ඇති බව නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ගාල්ලේ දී අද(08) පැවසීය.

ඔහු  මේ බව කියා සිටියේ ගාල්ල කොටුවේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමිනි.

දැන්වීම

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

" ගාල්ල කොටුව සජීවී ලෝක උරුමයක්. යුනෙස්කෝ සංවිධානය කොටුවේ ගෘහ නිර්මාණ ලක්ෂණ හා එහි පෞරාණික තත්ත්වය සැළකිල්ලට ගෙන  ලෝක උරුමයක් ලෙස පිළිගෙන තිබෙනවා.

එය ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යාම සඳහා අදාල කොන්දේසි යුනෙස්කෝ සංවිධානය විසින් ඉදිරිපත් කර තිබුණා. පසුගිය කාලයක් පුරාවට මේ කොන්දේසි කඩ කරන ඉදිකිරීම් සිදුවූ නිසා ගාල්ල කොටුව ලෝක උරුම ලේඛනයෙන් ඉවත්වීමේ අවධානමක් තිබුණා.

නමුත් අපේ රජය බලයට පත්වූ වහාම මේ කොන්දේසි පිළිබඳ සැළකිලිමත් වෙලා ඒවා දැඩි ලෙස ක්‍රියාත්මක කළා. දැන් ආයතන 14ක් කොටුවෙන් ඉවත් කරන්න  සැළසුම් කර තිබෙනවා.

අපි ගාලු උරුමය රකින්න උත්සාහ කරන්නේ අපේ උරුමයක් ලෙස හිතා ගෙනයි. දැන් මේ තියෙන විදිහට තව ටික දවසක් පැවතුණොත් මේ පැරණි ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක් යළි ප්‍රයෝජනයක් ගත නොහැකි තත්ත්වයටම විනාශ වෙනවා. මේ දැනට නියමිත සියලු සංවර්ධන කටයුතු සිදු කරන්නේ ගාලු කොටුවේ සාමාන්‍යය ජන ජීවිතයට කරදරයක් නොවන විදිහටයි.

ඇතැම් අය චෝදනා කරනවා ගාල්ල ඕල්සන්ට්ස් මධ්‍ය මහා විද්‍යාලය ඉවත්කරන්න හදනවා කියා. මේ පාසලේ පර්චස් 70ක භූමියක ළමයි 2500ක් ඉගෙන ගන්නවා. ඒ ළමයින්ට සිදුවන අපහසුතා ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. නමුත් අපි රජයක් ලෙස මේ පාසල මේ ස්ථානයේ තිබිය දී දරුවන්ගේ පහසුකම් ගැනත් සැළකිලිමත් වෙමින් කොටුවේ පෞරාණික බවටත් හානි නොවන ආකාරයෙන් පාසල පුළුල් කරන්නත් සාකච්ඡා කරමින් සිටිනවා.

අපි මේ තීරණ ගන්නේ රටත්, රටේ අනාගතයත්, රටේ  උරුමයන් සහා රටේ ආර්ථිකයත් ගැන හිතලා. විවේචන එනවා. නමුත් අපි රජයක් ලෙස හරි දේ කරනවා. දැනටමත් ලෝක උරුමයක් ලෙස ගාල්ලට අත්ව තිබූ අවධානම ඉවත්වීම අපි ලැබූ විශාල ජයග්‍රහණයක්. ලෝක උරුම ලැයිස්තුවෙන් ගාල්ල හැලී ගියා නම් ඒක අපේ රටට විශාල අවමානයක් වෙන්න තිබුණා."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලෝක උරුමය අහිමිවීමේ අවධානමෙන් ගාලු කොටුව ගැලවෙයි | Lanka Newsweek