අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලෝකයේ අවම වැටුප් ඇති අපේ රටේ තිරිගු පිටි මිල නැවතත් වැඩි කරලා

ලෝකයේ අවම වැටුප් ඇති අපේ රටේ තිරිගු පිටි මිල නැවතත් වැඩි කරලා

- විපක්ෂ නායක - මේ වන විට තිරිගු පිටි මිල කිලෝවක් රු. 17කින් වැඩි වී ඇති බවත් මේ නිසා පාන් සහ බේකරි නිෂ්පාදනවලට හා පිටි ආශ්‍රිත නිෂ්පාදනවලද මිල ඉහළ යන බවත් මේ නිසා ජනතාව පාරිභෝජනයට ගන්නා ආහාර පානවලට…

- විපක්ෂ නායක - 

මේ වන විට තිරිගු පිටි මිල කිලෝවක් රු. 17කින් වැඩි වී ඇති බවත් මේ නිසා පාන් සහ බේකරි නිෂ්පාදනවලට හා පිටි ආශ්‍රිත නිෂ්පාදනවලද මිල ඉහළ යන බවත් මේ නිසා ජනතාව පාරිභෝජනයට ගන්නා ආහාර පානවලට විශාල බලපෑමක් සිදුවන බවත් තවදුරටත් මෙරට ජනතාව දුක්ඛිත භාවයේ පතුලටම ඇද වැටෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජාත්‍යන්තර ආයතනයක් ලෝකයේ රටවල අවම වැටුප සම්බන්ධයෙන් රටවල් 130ක් ඇසුරින් සිදු කරන ලද සංගණයකට අනුව අප රට 120 වැනි ස්ථානයේ සිටින බවත් අපිටත් උඩින් පාකිස්ථානය නේපාලය බංග්ලාදේශ සිටින බවත් දකුණු ආසියා රටක් ලෙස අප රට බරපතළ තැනක සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට තිස්සමහාරාමය විජිතපුර කොට්ඨාසයේ පැවැති ගොවි හමුව අමතමිනි.

දැන්වීම

මේ රජය ජනතාවට විශිෂ්ට සේවාවක් කරනවා නම් වහාම පළාත් සභා ඡන්දය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කර බවත් ඒ තුළින් ආණ්ඩුවට ඇති ජනතා ප්‍රසාදය දැන ගැනීමට හැකි බවත් ගොවි ධීවර කම්කරු ව්‍යවසායකයන් කර්මාන්තකරුවන් පවා පළාත් සභා ඡන්දය එනතුරු අපේක්ෂාවෙන් සිටින බවත් මෙරට අලුත් ගමනක නව දර්ශනයක හැරවුම් ලක්ෂය නිර්මාණය වන්නේ සමගි ජන බලවේගය තුළින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ ප්‍රශ්න විසදන්නේ නැතිව රජය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා

ර‌ටේ ප්‍රශ්න අනන්තවත් තිබියදී රජය ගරු අධිකරණයේ ගරු විනිසුරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට උත්සාහ කරන බවත් රජයට ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර නොමැති වුවත් රජය කරන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරිම බවත් අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කිරීම බවත් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය දුර්වල කර නීතියේ ආධිපත්‍ය විනාශ කිරීමට බවත් රජය කරන්නේ අධිකරණයට ඇගිලි ගසා බලපැම් කර ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර රට තුළ ඒක පක්ෂ පාලනයක් ස්ථාපිත කිරීමට බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රජය තනි පක්ෂ පාලනයකට උත්සාහ කරනවා

රජය ගොවි සමිතියේ සිට සෑම ආයතනයකම බලය අරගෙන තනි පක්ෂ පාලනයක් රටේ ස්ථාපිත කරන්න උත්සාහ කරන බවත් අධිකරණයේ ස්වාධිනත්වය විනාශ කර ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න යන්නේ මේ හේතුව නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව ප්‍රශ්න රැසක සිටියට උග්‍ර පොහොසතුන් නම් සතුටින්

අද වන විට අප රටේ ජීවත් වන ලක්ෂ 220ක් ජනතාව දුක් ගැහැට රැසක් මැද අභියෝග රැසක් මැද ඉතාම අමාරුවෙන් ජීවිතය ගැටගසා ගෙන සිටින බවත් සමාජයේ සිටින උග්‍ර පොහොසතුන් කෝටිපතියන් හැරුණු කොට බොහෝ ජනතාව දැවැන්ත ප්‍රශ්න රැසක් මැද ජිවත් වන බවත් දුක් ගිණි රැසක් මැද අමාරුවෙන් ජීවත් වෙන බවත් පසුගිය මැතිවරණ තුනේදීම මෙරට බහුතර ජනතාව පත් කර ගත් ජවිපේ ආණ්ඩුව දිගින් දිගටම පොරොන්දු කඩ කරන ජනතාවට සහන ලබා නොදෙන බොරුකාර රැවටිලිකාර රටේ ජනතාව අන්දවන රජයක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය බොරු කියලා සම්මාන ගහලා 

මේ රජය සම්මානලාභී බොරුකාරයන් බවට පත්ව ඇති බවත් මේ බොරුකාරකම රැවටිල්ල ඇන්දවිල්ල ගිනස් පොතට පවා යා යුතු බවත් ඒ තරම් බොරුකාර පචකාර ටොම්පච ආණ්ඩුවක් මෙරට ඉතිහාසයේම බිහි නොවූ බවත් ක්‍රමයේ වෙනසක් අපේක්ෂාවෙන් ජනතාව ඡන්දය දුන්නත් සත්‍ය දිනනවාට වඩා බොරුව ජයග්‍රහණය කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජය ප්‍රතිපත්ති සකස් කරන්නේ වැරදි දත්ත මත

අප රටේ ජනතාව ජීවත් වීම අවශ්‍ය අවම ආදායම වැටුප වේතනය දුර්වල මට්ටමක ඇති බවත් ලෝකයේ සමීක්ෂණ ඒ ආකාරයෙන් කියන විට අප රටේ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව එක් පුද්ගලයකුට දින 30ක් ජීවත් වෙන්න රු. 17315ක් ප්‍රමාණවත් බවත් තනි පුද්ගලයකුට දින 30ක් මේ මුදලින් ජීවත් විය හැකි ද කියා ජනතාවගෙන් ප්‍රශ්න කරන බවත් රජය ප්‍රතිපත්ති සකස් කරන්නේ මේ වැරදි දත්ත මත පදනම්ව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටෙන් 30-40%ක් දුප්පත්.

අද ජනතාව දුක විදින වේදනාව රජයට නොතේරෙන බවත් රටෙන් 30-40%ක් දුප්පත් බවත් මේ අයට දුප්පත්කමින් මිදෙන්න පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවත් දැන් අස්වැසුමට පවා කණකොකා හඩන බවත් අස්වැසුම කපමින් යන බවත් අද සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටි ඇති බවත් මේ රජය ගොවියාගේ සිට සෑම ජනතාවගේම ජන ජීවිත කඩා දමා ඇති බවත් එදා ගොයම් කකා වි කිලෝවට රු. 150ක් දෙනවා කිව්වත් අද ගොවියාට වි කිලෝවට රු. 17ක් පාඩු කර රු. 120ක මිලක් දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව පාලනය කරන්නේ ධන කුවේරයන්

ඡන්දය ගන්නා තුරු ගොවියා රජා, ගොවියා දෙවියා වී අද ගොවියා කසිප්පුකාරයා බවට හංවඩු ගසමින් යන බවත් මේ රජය වටේත් ආණ්ඩු වටේ කරකැවෙන ධන කුවේරයන් ගිජු ලිහිණියන් සිටින බවත් මොවුන් ආණ්ඩු පාලනය කරමින් සාමාන්‍ය ජනතාව තලා පෙළා පීඩනයට ලක් කරන බවත් දැන් ජනතාවගේ ගැටලු අහන මාධ්‍යයට පවා රජය බලපෑම් කරන බවත් මාධ්‍යවේදීන්ට බැන වදිමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ අද නෑ

අධ්‍යාපනය සහ සෞඛ්‍ය ආදී සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටි ඇති බවත් පිළිකා රෝගීන්ගේ ජීවිත බේරා ගන්නා රු. 900 එන්නත කලුකඩේ රු. 25000ට විකුණන බවත් සමහර අවස්ථාවල මේ එන්නත් නොමැති නිසා රෝගීන් 75000ක් පමණ මේ නිසා අනාරක්ෂිත වි ඇති බවත් සෑම අතකින්ම රටේ ජනතාවගේ ජිවත් වීමේ අයිතිය විනාශ වී ඇති බවත් 2019දීත් 2024දීත් මේ රටේ ජනතාව රැවටුණු බවත් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවා කිව්වත් ජනතාවගේ ජන ජිවිතය පොහොසත් නොවුණු බවත් අභිමානවත් ජීවිතයක් ගත කළ පුද්ගලයන් අද කුලි වැඩ කරන තැනට පත්ව ඇති බවත් වගා පාලු වී වාරි සංස්කෘතිය කඩා වැටී කෘෂිකර්ම ක්ෂේත්‍රයම විනාශ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයේ ආරම්භ කළ ඇගලුම් කම්හල් අද වැසී යනවා

එදා රණසිංහ ප්‍රේමදාස මහතා ඇගලුම් කම්හල් 200ක් ආරම්භ කළත් අද ඒ ඇගලුම් කම්හල් වැසී යමින් යන බවත් දසදහස් ගණනින් යෞවන යෞවනියන් රැකියා නොමැතිව මහ පාරට බසමින් සිටින බවත් මේ නිසා අප රටට සෘජු විදේශ ආයෝජන පවා නොලැබෙන බවත් අප රටට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගන්නා ක්‍රමයක් නොමැති බවත් මේ නිසා අප රටේ පුරවැසියන්ට රැකියා නොමැති වෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සංචාරක ව්‍යාපාරයේ දියුණුවට ජාතික වැඩ පිළිවෙළක් අවශ්‍යයි

කෘෂිකර්මය, කර්මාන්ත හා සේවා ක්ෂේත්‍ර කඩා වැටි ඇති බවත් විපක්ෂයක් ලෙස සෑම විටම අප රටට ආයෝජන ආකර්ෂණය කර ගන්න උත්සාහ කරන බවත් ඒ රට වෙනුවෙන් බවත් සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා ජාතික වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න