ලේලියගෙන් පහර කෑ නැන්දම්මා මරුට

(ජයකාන්ත ලියනගේ) සිය ලේලියගේ පහර කෑමට ලක්ව ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි නැන්දම්මා කෙනෙකු සිකුරාදා (30) සවස මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ දළුවතුමුල්ල, තෙල්වත්ත, හික්කඩුව…
(ජයකාන්ත ලියනගේ)
සිය ලේලියගේ පහර කෑමට ලක්ව ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි නැන්දම්මා කෙනෙකු සිකුරාදා (30) සවස මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ දළුවතුමුල්ල, තෙල්වත්ත, හික්කඩුව ලිපිනයේ පදිංචි අප්පුවාහන්දි රොසලින් නෝනා නැමැති 76 හැවිරිදි කාන්තාවකි.
දැන්වීම
මිය ගිය කාන්තාව සම්බන්ධයෙන් වූ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය ඊයේ (01) සවස බළපිටිය වැඩ බලන මහේස්ත‍්‍රාත් සමන්ත ආබ්‍රේව් මහතා විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව නිශ්චිතවම තහවුරු කර ගන්නා ලෙසට ඒ මහතා නියෝග කළේය. ඒ අනුව මිය ගිය අයට අදාල පශ්චාත් මරණ පරීක්ෂණය අද (02) ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මිය ගිය කාන්තාවගේ පුතා සමග සැකකාරිය විවාහ වී සිටින අතර පසුගිය 25 දින මිය ගිය කාන්තාව හා සැකකාරිය අතර බහින් බස් වීමක් සිදුව තිබෙන බවත් එහිදී සැකකාරිය මිය ගිය කාන්තාවට යම් පහර දීමක් කර තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
පහර දීම සිදු කළ බව කියන ලේලියලේ ස්වාමිපුරුෂයා වන මිය ගිය කාන්තාවගේ පුතා සිද්ධිය වන විට සිය රැකියාව වන මුහුදු රස්සාවේ ගොස් සිට ඇති බවද මීටියාගොඩ පොලීසිය කියයි. එම සිදු වීමෙන් පසුව මිය ගිය කාන්තාව රෝහල් ගත කර ඇති අතර සැකකාරියද මීටියාගොඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
මිය ගිය කාන්තාව හා ලේලිය අතර දිගින් දිගටම ආරවුල් සිදුව තිබෙන බවටත් එවන් අවස්ථාවල පහරදීම්ද සිදුව තිබෙන බවටත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි මීටියාගොඩ පොලීසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.
මියගිය කාන්තාව අධික රුධිර පීඩනය, දියවැඩියාව ආදී බෝ නොවන රෝග ගණනාවකින් පෙළෙන කාන්තාවක් බැවින් ඇය රෝගි තත්ත්වයට පත් වූයේ ලේලියගේ පහර කෑම හේතුවෙන්ම බවට පොලිස් පරීක්ෂණවලදී නිශ්චිතවම තහවුරු වී නොමැති බැවින් පසුගිය 26 දා ලේලිය පොලිස් ඇපමත මුදාහැර තිබේ.
අද (02) පැවැත්වීමට නියමිත පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව පහර දීම බවට නිශ්චිතවම තහවුරු වුවහොත් නැවත මිය ගිය කාන්තාවගේ ලේලිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව මීටියාගොඩ පොලිසිය කියයි.
මීටියාගොඩ පොලීසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක ජනක සම්පත්, උප පොලිස් පරීක්ෂක සනත් මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.