ලිංගික හිංසන සිද්ධිය යට ගහන ලොක්කා කවුද..?

තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාන්තාවන්ට සිදුවන්නේ යැයි කියන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් පැවැත්වූ මූලික පරීක්ෂණයේ වාර්තාව කතානායකවරයාට තවමත් ඉදිරිපත් නොකර යට ගසා ඇතැයි පාර්ලිමේන්තු සේවකයෝ…
තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාන්තාවන්ට සිදුවන්නේ යැයි කියන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් පැවැත්වූ මූලික පරීක්ෂණයේ වාර්තාව කතානායකවරයාට තවමත් ඉදිරිපත් නොකර යට ගසා ඇතැයි පාර්ලිමේන්තු සේවකයෝ පවසති.
පාර්ලිමේන්තුවේ පරිපාලන බලධාරියෙකු මෙම වාර්තාව මෙසේ යට ගසා ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම පරිපාලන බලධාරියා ලිංගික හිංසන සිදුවන්නේ යැයි කියන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ආරක්ෂා කරන ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බවත් වින්දිත නිලධාරිනිය පමණක් ඇයගේ විෂය පථයට අදාල නොවන වෙනත් අංශයකට මාරු කර
ඇයට සාධාරණය ඉටු කිරීමෙන් තොරව කල්මරමින් සිටින බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.
කතානායකවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයකට යොමු කිරීමට සූදානම් වෙමින් සිටියදී අභ්‍යන්තර වාර්තාව නොදී මෙසේ කල්මැරීම වින්දිත නිලධාරිනියට කරන බලවත් අසාධාරණයක් බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති. පාර්ලිමේන්තුවේ ඇතැම් පරිපාලන බලධාරීන් බාහිර විමර්ශනයකට බිය වී සිටින්නේ පරිපාලනයේ දුර්වලතා ඉන් එළියට එනු ඇතැයි විශ්වාසයෙන් බවත් බාහිර විමර්ශනයකට ගියහොත් ඇතුළත තොරතුරු පිටත යන්නේ යැයි බොරු තර්ක ඉදිරිපත් කරමින් ඔවුන් බාහිර විමර්ශනයට වළකපමින් සිටින බවත් දැනගන්නට ඇත. මේ තත්වය යටතේ දැනට කරන ලද මූලික විමර්ශනයේ වාර්තාව පදනම් කරගෙන එම සිද්ධිය බාහිර විමර්ශනයකට යොමු කරන ලෙස පාර්ලිමේන්තු සේවකයෝ කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරති. මේ සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාද පාර්ලිමේන්තු සභාගර්භයේදී පසුගියදා කරුණු ඉදිරිපත් කළේය.
දැන්වීම
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදු වී ඇතැයි කියන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් පැවැත්වුණු විමර්ශනයෙන් පසු එහි ප්‍රධානියකු ඇතුළු සේවකයන් තිදෙනෙකු සේවයෙන් නෙරපා හැරීමට පසුගියදා තීරණය කෙරිණ. එම බාහිර විමර්ශනය පවත්වනු ලැබුවේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසිනි. වින්දිත නිලධාරිනියට සාධාරණයක් ඉටු නොවන්නේ නම් ඇයට ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීම හැර වෙන විකල්පයක් නොමැති බව පාර්ලිමේන්තු සේවකයෝ වැඩිදුරටත් සඳහන් කරති. මෙම අසාධාරණ ක්‍රියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සේවකයන් පිරිසක් පසුගියදා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවකටද පැමිණිලි කර ඇතැයි දැනගන්නට ඇත.
මෙම දෙපාර්තමේන්තුවේ කාන්තාවන්ට හිරිහැර සිදුවී ඇතැයි පැවසෙන්නේ අද ඊයේ සිට නොවන බවත් මීට පෙර එහි සිටි ප්‍රධානියකුගෙන් සිදුවූ හිරිහැර හේතුවෙන් කාන්තාවන් කිහිප දෙනෙකු රට පවා අතහැර ගොස් ඇති බවත් වාර්තාවේ.