ලක්ෂ්මන් ෆොන්සේකාගේ සමීක්ෂණය තහවුරුයි..සජබ ප්‍රභූන්ගේ දතකට පූට්ටුයි

ජනපතිවරණයේ ඉදිරියෙන් සිටින්නේ සජබය බව IHP වාර්තා ද පෙන්වා දෙයි සජබය 38%යි-මාළිමාව 35%යි-පොහොට්ටුව 8%යි-ශ්‍රීලනිපය 1%යි ජනාධිපතිවරණ සටනේ මේ වන විට ඉදිරියෙන්ම සිටින්නේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
ජනපතිවරණයේ ඉදිරියෙන් සිටින්නේ සජබය බව IHP වාර්තා ද පෙන්වා දෙයි
සජබය 38%යි-මාළිමාව 35%යි-පොහොට්ටුව 8%යි-ශ්‍රීලනිපය 1%යි

ජනාධිපතිවරණ සටනේ මේ වන විට ඉදිරියෙන්ම සිටින්නේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහු නායකත්වය ලබා දෙන සමගි ජන බලවේගය බව IHP පර්යේෂණ මධ්‍යස්ථානය සිදු කර ඇති අලුත්ම ජන මත සමීක්ෂණයෙන් හෙළිදරව් වී තිබේ.
IHP පර්යේෂණ මධ්‍යස්ථානය මගින් සිදු කර ඇති එම ජන මත සමීක්ෂණයේ ප්‍රතිඵලය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය වෙනුවෙන් මීට පෙර විපක්ෂ නායක කාර්ය මණ්ඩල ප්‍රධානී ලක්ෂ්මන් ෆොන්සේකා මහතා සිදු කළ ජන මත සමීක්ෂණයේ ප්‍රතිඵලවලට බොහෝ දුරට සමපාත වේ.
දැන්වීම
කෙසේ නමුත් ලක්ෂ්මන් ෆොන්සේකා මහතා විශාල මුදලක් වියදම් කර ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළි ගත් සුප්‍රසිද්ධ සහ අපක්ෂපාතී ආයතනයක් මාර්ගයෙන් සිදු කළ එම ජන මත සමීක්ෂණයේ ප්‍රතිඵල පිළි ගැනීමට මැලිවූ සමගි ජන බලවේගයේ ප්‍රභූන් පිරිසක් විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත.
එමගින් පැහැදිලි වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ සමගි ජන බලවේගයේ ජන පදනම ගැන එම පක්ෂයේ ඉංග්‍රීසියෙන් කතා කරන සහ සිතන ඇතැම් ප්‍රභූන්ට ද විශ්වාසයක් නොතිබූ බව යැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග පැවසීය.
කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට, ජාතික ජන බලවේගයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ජන පදනමින් ඉදිරියෙන් සිටින බවට IPH පර්යේෂණ මධ්‍යස්ථානය සිදු කළ සමීක්ෂණයෙන් හෙළිදරව් වීමත් සමග එම ප්‍රභූන් කිසිවක් කර කියා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.
IHP යනු ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළි ගැනීමට ලක්ව සිටින, කොළඹ පිහිටි ස්වාධීන සහ පක්ෂග්‍රහී නොවන පර්යේෂණ මධ්‍යස්ථානයක් වන අතර එහි ප්‍රධාන විමර්ශකයා වන්නේ "Harvard" විශ්ව විද්‍යාලයේ මහා ජන මත විමසුම් පිළිබඳ පුහුණුව ලබා දශක තුනක් මුළුල්ලේ බොහෝ ජන මත සමීක්ෂණ සිදු කර ඇති ආචාර්ය රවී රන්නන් මහතාය.
ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළි ගැනෙන ජන මත සමීක්ෂණ ආයතනයක් මගින් ලක්ෂ්මන් ෆොන්සේකා මහතා සිදු කරනු ලැබූ ජන මත සමීක්ෂණයට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය 39%ක ජන පදනමක් වාර්තා කර තිබූ අතර IHP ආයතනයේ සමීක්ෂණයට අනුව එම පදනම 38%කි.
මීට සති ගණනාවකට පෙර සමගි ජන බලවේගය මැදිහත් වී සිදු කළ ජන මත සමීක්ෂණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ ජන පදනම වාර්තා කර තිබුණේ 20%ක් ලෙස වන නමුත් IHP සමීක්ෂණ ප්‍රතිඵල පෙන්වා දෙන්නේ එම පදනම මේ වන විට 35% සීමාවේ පවතින බවය.
විපක්ෂ නායක කාර්ය මණ්ඩල ප්‍රධානී ලක්ෂ්මන් ෆොන්සේකා මහතාගේ මෙහෙය වීමෙන් සිදු කෙරුණු ජන මත සමීක්ෂණ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන පදනම 9%ක් ද, එක්සත් ජාතික පක්ෂයේ ජන පදනම 5%ක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන පදනම 5%ක් ලෙස වාර්තා කර තිබිණ.
කෙසේ නමුත් IHP පර්යේෂණ මධ්‍යස්ථානය සිය ජන මත සමීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන පදනම 8%ක් ද, එක්සත් ජාතික පක්ෂයේ ජන පදනම 5%ක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන පදනම 1%ක් ද වන බවය.