රුපියලවත් රකින්න බැරි මංගල බුදු දහම රකින්නේ කොහොමද..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5

(හේමන්ත තුෂිත) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ යුත්තේ බුද්ධාගම හෝ ශාසනය ගැන වද වීම නොව ඩොලරයට සාපේක්ෂව රුපියලේ ඇද වැටීම වළක් වන්නට හැකිනම් පියවර ගැනීම යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ…
(හේමන්ත තුෂිත)
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ යුත්තේ බුද්ධාගම හෝ ශාසනය ගැන වද වීම නොව ඩොලරයට සාපේක්ෂව රුපියලේ ඇද වැටීම වළක් වන්නට හැකිනම් පියවර ගැනීම යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඔහු මේ නිවේදනය නිකුත් කර තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දින උත්සවයේදී අස්ගිරි පාර්ශවයේ අනු නායක වෙඬරුවේ උපාලි නා හිමියන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා නිකුත් කර ඇති නිවේදනයට පිළිතුරු වශයෙනි.
විමල් වීරවංශ මහතා නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.
තම සමස්ත දේශපාලන සර්වාංගයෙන්ම දේශද්‍රෝහී බව ඕජස් ගලන මංගල පින්සිරි සමරවීර අමාත්‍යවරයා හදිසියේම නිර්මල ථේරවාදී බෞද්ධ ධර්මයේ ආරක්ෂාව උදෙසා නැගී සිට තිබේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් පැවැති දානමය පිංකමේ දී එම අවස්ථාවට වැඩම කර සිටි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි ස්වාමීන්වහන්සේ විසින් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුකොටගෙන මංගල පින්සිරි සමරවීර අමාත්‍යවරයා සිය බුද්ධාගම රැක ගැනීමේ සටන අරඹනු ලැබ තිබේ. අමාත්‍යවරයා 2018-06-22 දා තම අත්සන සහිතව තම අමාත්‍යාංශ ලිපි ශීර්ෂය යොදා ගනිමින් නිකුත් කර තිබෙන ප්‍රකාශය කියවා බැලූ විට ඔහුගේ හදිසි බෞද්ධ පේ‍්‍රමය වටහා ගැනීම අසීරු නොවේ.
උක්ත ලිපිය මගින් පින්සිරි සමරවීර මහතා පෙන්වා දෙන්නේ අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි ස්වාමීන්වහන්සේ කරන ලද ප්‍රකාශයක බරපතළකම ය. ඔහුට ප්රශ්නය වී තිබෙන ගරුතර ස්වාමීන්වහන්සේ සිදු කළ ප්‍රකාශය මෙසේය.
ඔබතුමා ගැන සඳහන් කරන කොට හිට්ලර් හැටියටත් හඳුන්වලා තිබුණා. ඉතිං අපි මතක් කරනවා. හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියන එක තමයි මහා සංඝරත්නය අවසාන වශයෙන් මතක් කරන්නේ. ඔබතුමා මිලිටරි පාලනයක් හරි අරගෙන ඇවිල්ලා මේක හදන්න කියලා නැවතත් මතක් කරනවා
පින්සිරි සමරවීර අමාත්‍යවරයා කලබල වී ඇත්තේ මෙම ප්‍රකාශයේ සඳහන්ව ඇති හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියන කොටසට ය. ඔහුට අනුව එය නිර්මල බුදුදහමට පටහැනි ය. දැන් මෙරට සියලූ භික්ෂූන්වහන්සේ බෞද්ධ ධර්මයට අනුකූල කුමක්ද? අනනුකූල කුමක්ද? යන්න විමසා දැනගත යුත්තේ පින්සිරි සමරවීර උපාසක අමාත්‍යවරයා වෙතිනි. එසේම හිට්ලර්ගේ වදකාගාරවලටත් එහා ගිය වදකාගාර පවත්වාගෙන ගිය බටලන්ද ඝාතකයා තම නායකයා කරගත් මේ උපාසක තෙමේ දෙසන බණ ඇසෙන විට අපට ඇති වන්නේ අරුම පුදුම ප්‍රීතියකි.
අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි ස්වාමීන්වහන්සේගේ අදාළ ප්‍රකාශය තේරුම් ගත යුත්තේ ඊට අදාළ සංදර්භය මත තබා මිස එයින් වියුක්තව නොවේ. උන්වහන්සේ මේ සරලව පවසන්නේ ගෙවුණු වසර 3ක කාලය තුළ පින්සිරි සමරවීරලාගේ “සමසිරි” ආණ්ඩුව මේ රට ඇදවට්ටවා ඇති ප්‍රපාතයේ තරම යයහපාලන නැමැති වචනය ගණිකා ව්‍යාපාරයේ යොදවා බලයට පැමිණ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික යන සෑම අතින්ම රට ඇදගෙන ගොස් ඇත්තේ දශක ගණනාවකින් පසුපසට ය. පින්සිරි සමරවීරලාගේ දක්ෂතාව හේතුකොටගෙන අද රුපියල ඇ. ඩො. 161 දක්වා බාල්දු වී ඇත. චීනයේ සිට වැඩම කරවන ලද බුදු පිළිම වහන්සේලාට මිලියන ගණනින් බදු ගහන පින්සිරිලාගේ ආණ්ඩුව, තිරි`ගුපිටි සමාගම්වලට කිරිපිටි සමාගම්වලට බදු සහන දී ඇත්තේ වසරකට රු. මිලියන 52,000කට වඩා මහා භාණ්ඩාගාරයට අහිමි වන පරිදි ය. නීතිය කැමති අතකට නැවිය හැකි පාලකයන්ගේ අවිය වී තිබේ.
පින්සිරිලා ජිනීවා ගොස් ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට හතුරුව ගෙන එන ලද 30/1 යෝජනාවට සම්පූර්ණ අනුග්‍රාහකත්වය දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස අද රට බේරාගත් රණවිරුවන් ඉන්නේ හිරගෙදර ය. අද ආරක්ෂක හමුදාව 25% කප්පාදු කිරීම අරඹා ඇත්තේ ද පින්සිරිලාගේ ජිනීවා පාවාදීමට අනුව ය. දැනට පවතින හමුදා කඳවුරු සියයක් ගැලවීමට තීරණය කර ඇත්තේ ඒ පාවාදීමට අනුවම ය. මිලේනියම්සිටි කුප්‍රකට බුද්ධි අංශ පාවාදීමට වරදකරුවන් වූ හමුදා නිලධාරීන්ට හි`ග වැටුප් හා උසස්වීම් සම`ග විශ්‍රාම යාම සලසා දුන්නේ පින්සිරිලාගේ අණ්ඩුවම ය. ඔඞ්ඩුසුඩාන් ප්‍රදේශයේදී පසුගියදා ක්ලේමෝ බෝම්බ වෙනත් ආයුධ කොටි නිල ඇඳුම් හා කොටි කොඩි සම`ග කොටි සැකකරුවන් පොලිසියට හසුවන්නේ පින්සිරිලා ලබා දී තිබෙන අපූරු යහපාලනයට පිං සිදු වන්නට ය.
බදු බර අහස උසට ය. රාජපක්ෂ පාලන සමයේ රටවැසියා වෙතින් අය කරන ලද මුළු බදු ප්‍රමාණයට වඩා දෙගුණයකටත් වැඩි බදු බරක් පින්සිරිලාගේ ආණ්ඩුව ජනයා මත පටවා ඇත. අද ව්‍යාපාරිකයන් මහන්සි වන්නේ ලාබය වැඩිකර ගැනීමට වඩා සිය ව්‍යාපාරය වැසී යාමට නොදී රැක ගැනීමට ය. පින්සිරිලාගේ ආර්ථිකයේ නියම තත්වය වටහා ගැනීමට නම් බැංකුවක කළමනාකරුවකුගෙන් දිනකට අගරු වන චෙක්පත් ප්‍රමාණය කොපමණදැයි විමසා බැලිය යුතු ය. මහජනතාවගේ මුදලින් කොටි ත්රස්තයන්ගේ පිළිම උතුරේ හැදුව ද පොදු ජනතාවගේ සැබෑ අවශ්‍යතා ඉටු කරන සංවර්ධනයක් පෙනෙන තෙක් මානයකවත් නැත.
අනෙක් අතට පින්සිරිලාගේ ආණ්ඩුව කරන හොරකම්වල ද කෙළවරක් නැත. අර්ජුන් මහේන්ද්‍රන්ලාට නීතිය ක්‍රියාත්මක වන අපූරු අන්දම දෙස මහජනතාව බලා සිටින්නේ ඉමහත් උත්ප්රාසයෙන් යුතුව ය. පාතාල කල්ලි දිනපතා මිනී මරන්නේ පින්සිරිලාගේ පාලනයෙන් ලැබී තිබෙන අපූරුව දනවමින් ය. පින්සිරිලා කියන මහින්ද රාජපක්ෂ යුගයේ (පින්සිරිලාට අනුව කළු දශක) රට තිබූ තැනත් අද වැටී තිබෙන තැනත් ගැන මෙරට මහජනතාවට ඇත්තේ දැඩි කනස්සල්ලකි.
අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි ස්වාමීන්වහන්සේගේ ප්‍රකාශය වෙතින් පිටවන්නේ මුළුමහත් සමාජය තුළ දැඩිව පවතින මෙම කනස්සල්ල ය. එසේ නොවේනම් රටට සිදු වෙමින් තිබෙන විනාශය පිළිබඳ කලකිරීම ය. මෙම කලකිරීමේ ප්‍රතිඵලය වන්නේ යකෙක් හරි කමක් නෑ දැන්නම් කියා හිතෙන මට්ටමට මිනිසුන් පත්වීම ය. හිට්ලර් වෙලා හරි කමක් නෑ මේ රට හදන්න යන ප්‍රකාශයෙන් උන්වහන්සේ පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට හිට්ලර් වන්නට නොවේ. මොන විදියකින් හරි මේ වැටෙන රට හදන්නට ප්‍රමුඛත්වය ගන්න කියා ය. පින්සිරිලා ද මාධ්‍ය නිවේදන මගින් කුමක් කීවත් සත්‍ය මෙය බව නොදන්නවා නොවේ.
අලි පැටවකු පන්සලේ ඇතිදැඩි කළ වරදට පවා භික්ෂූන්වහන්සේ සිරගත කළ පින්සිරිලාගේ ආණ්ඩුවට බුද්ධාගම රැකගැනීමට සිතක් පහළවීම ද එක අතකින් සතුටට කාරණයකි. සමරිසි ජීවිතය ගැන පෙර පාසල්වල සිට පාසලේ 3 වන පන්තිය දක්වා කියා දෙන්නට රාජ්‍ය නොවන සංවිධාන ජාලය සම`ග වැඩසටහන් පවත්වාගෙන යන පින්සිරිලාගේ ආණ්ඩුවට බුද්ධාගම ගැන හිට්ලර් කෙනෙක් නිසා හෝ ඇල්මක් ඇති වී තිබේනම් එය ද යහපතකි.
රාජපක්ෂලාගේ ඊනියා කළු දශකයක් ගැන කියමින් අසත්‍ය චෝදනා කරමින් නැවත නැවතත් පච වැපිරීම පින්සිරිලාගේ ආණ්ඩුව කරන එකම රාජකාරිය ය. පසුගිය වසර 3 පුරාම සිදු කළේ එකී පච බේගල් නැවත නැවතත් වැපිරීම මිස අන් යමක් නොවේ. ඔවුනට ඉදිරියට ද කරන්නට ඇත්තේ ඒ වැඬේ පමණි. අවසන් වශයෙන් මා පින්සිරි අමාත්‍යවරයා වෙතින් ඉල්ලා සිටින්නේ ඔබට හා ඔබ පසුපස සිටින විදේශීය හාම්පුතුන්ට රාජපක්ෂලා කෙරෙහි ඇති වී තිබෙන වෛරය ගරුතර මහා සංඝරත්නය වෙතින් පිට නොකරන මෙන් ය. කසාවතට මේ මව්පොළොව සම`ග ඇති ඓතිහාසික බැ`දීම නොදන්නා ඔබ වැන්නකු එයින් සිදුකර ගන්නා අගතිය සුළුපටු නැත. එදා රනිල්ට බෑ කියූ ඔබ අද රනිල්ට පුළුවන් කියන විට ඔබ වැන්නකු ගැන අපට කතා කරන්නටවත් කිසිවක් ඉතිරි වී නැත. බුද්ධාගම හෝ ශාසනය ගැන හෝ වද නොවී ඩොලරයට සාපේක්ෂව රුපියලේ ඇද වැටීම වළක්වන්නට හැකිනම් පියවර ගන්නා මෙන් ඔබ වෙතින් ඉල්ලා සිටිමි.
පින්සිරි අමාත්‍යවරයාගේ යහපත පිණිස අවසාන වශයෙන් මම බුදුන් වහන්සේ දේශනා කරන ලද ධම්මපදයේ වන පහත සඳහන් ගාථාව ඉදිරිපත් කරමි.
"අත්ථාන මේව පඨමං
පතිරූපේ නිවේශයේ
අතඥ්ඥ අනුසාසෙයිය
නිබ්චිලේ සෙයිය පණ්ඩිතෝ"
මෙහි අර්ථය මෙසේය.
“අන්‍යයන්ට උපදෙස් දීමට පෙර තමා පළමුව සුදුසු තැනක පිහිටිය යුතු ය.”

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5