අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රියදුරන් දෙදෙනකුගේ ආරවුලට මුවාවී ජාතිවාදයෙන් රට ගිනි තැබීම කුමන්ත්‍රණයක්..!

රියදුරන් දෙදෙනකුගේ ආරවුලට මුවාවී ජාතිවාදයෙන් රට ගිනි තැබීම කුමන්ත්‍රණයක්..!

මහනුවර සිද්ධිය ගැන සියලු දෙනාම කණගාටුව පළ කිරීම යහපත්..! සැදැහැවත් බෞද්ධයින් ජාතිවාදී කුමන්ත්‍රණවලට අසු නොවිය යුතුයි (සුජිත් මංගල ද සිල්වා) රියදුරන් දෙදෙනකුගේ ආරවුලට ජාතිවාදය ආරෝපණය කර රට ගිනි තැබීමේ…

මහනුවර සිද්ධිය ගැන සියලු දෙනාම කණගාටුව පළ කිරීම යහපත්..!

සැදැහැවත් බෞද්ධයින් ජාතිවාදී කුමන්ත්‍රණවලට අසු නොවිය යුතුයි

(සුජිත් මංගල ද සිල්වා)

රියදුරන් දෙදෙනකුගේ ආරවුලට ජාතිවාදය ආරෝපණය කර රට ගිනි තැබීමේ කුමන්ත්‍රණ වහාම නතර කළ යුතු යැයි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස නා හිමියෝ අවධාරණය කළහ.

සැදැහැවත් බෞද්ධයින් ජාතිවාදී  මේ කුමන්ත්‍රණවලට අසු නොවිය යුතු බවට ද උන්වහන්සේ අනුසාසනා කළහ.

දැන්වීම

කොටුගොඩ ධම්මාවාස නා හිමියන් මෙසේ අනුසාසනා කළේ රටේ උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් “lankanewsweek” වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.

එහිදී කොටුගොඩ ධම්මාවාස නා හිමියෝ මෙසේ ද අනුසාසනා කළහ.

මහනුවර තෙල්දෙණිය දිගන ප්‍රදේශයේදී ලොරි රථයක රියදුරකු සහ ත්‍රී රෝද රථයක රියදුරකු අතර ඇති වූ ගැටුම හේතුවෙන් ලොරි රථයේ රියදුරු අකාලයේ ජීවිතක්ෂයට පත්වීම  ජාතිවාදය මත පදනම්ව සැලසුම් සහගතව ඇති කෙරුණු සිද්ධියක් නොව ඒ දෙදෙනාම දුර දිග නොබලා ප්‍රකෝපකාරී ලෙස හැසිරීම හේතුවෙන් සිදු වූ අවාසනාවන්ත සිද්ධියක් බව කිව යුතුයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අප සියලු දෙනාම කණගාටු වන අතර මේ වගේ අවාසනාවන්ත සහ ඛේදජනක සිද්ධියක් ඇති වුණාම අප සියලු දෙනා පොදුවේ ඒ ගැන  කණගාටු වී ඒ කණගාටුව ප්‍රකාශ කිරීම හොඳ පුරුද්දක් බව ද කිව යුතුයි.

සිංහල සහ මුස්ලිම් ජාතිකයින් දෙදෙනකු අතර ඇතිවූ මේ පුද්ගලික ආරවුලට ජාතිවාදය ආරෝපණය කරමින් දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව පටු අරමුණු වෙනුවෙන් ඇතැම් පිරිස් රට ගිනි තැබීමට දරන උත්සාහයෙන් පැහැදිලි වන්නේ යුද්ධයෙන් පසුව රට ගොඩනගමින් ගෙන යන සාමකාමී වැඩ පිළිවෙළ විනාශ කිරීම සඳහා දේශීය සහ විදේශීය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.

මේ ජාතිවාදී අරමුණු වෙනුවෙන් බුදුන් වහන්සේවත්,උන්වහන්සේගේ නිර්මල ධර්මයවත්,සිංහල බෞද්ධකමවත් යොදා ගැනීමෙන් වැළකී සිටින්න යැයි සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින අතර මේ ජාතිවාදී සහ ආගම්වාදී කුමන්ත්‍රණවලට අසු නොවන ලෙස සැදැහැවත් බෞද්ධයන්ගෙන් ද ඉල්ලා සිටිනවා.

ජාතිය සහ ආගම වෙනුවෙන් මිනී මරා ගැනීම තබා ජාතිවාදයවත් බුදුන් වහන්සේ කිසිසේත් අනුමත කර නොමැති අතර උන්වහන්සේගේ ශ්‍රී සම්බුදු ශාසනයේ විවිධ ජාතීන් 119ක් එදා මහණ වී සිටි බව සිහිපත් කළ යුතුයි.

මේ රටේ සිංහල,දෙමල සහ මුස්ලිම් අප සියලු දෙනාම එකට එක්ව ජීවත් විය යුතු අතර ජාතීන් සහ ආගමිකයින් ලෙස බෙදී ඇණ කොටා ගැනීම සහ ගහ මරා ගැනීම නිර්මල බුදු දහමට විරුද්ධයි.

සිංහල ජාතිකයකු හෝ මුස්ලිම් ජාතිකයකු හෝ ද්‍රවිඩ ජාතිකයකු හෝ එකිනෙකාට එරෙහිව පෞද්ගලික කෝන්තර මත විවිධ  ආරවුල් ඇති කර ගැනීම ජාතිවාදයක් වන්නේ කෙසේ ද ? මහනුවර ඇති වූ සිද්ධිය කිසිසේත් ජාතිවාදී අරගලයක් නොව රියදුරන් දෙදෙනකුගේ පුද්ගලික ආරවුලක් බව මේ අනුව යළිත් අවධාරණය කරනවා.මේ හුදෙකලා සිද්ධීන් අල්ලා ගෙන ජාතිය සහ ආගම යොදා ගෙන ඒ සිද්ධීන්වලට ජාතිවාදයත් ආගම්වාදයත් ආරෝපණය කර රට ගිනි තැබීමේ කුමන්ත්‍රණ වහාම නතර කළ යුතු අතර සැදැහැවත් බෞද්ධයින් මේ කුමන්ත්‍රණවලට අසු නොවිය යුතුයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රියදුරන් දෙදෙනකුගේ ආරවුලට මුවාවී ජාතිවාදයෙන් රට ගිනි තැබීම කුමන්ත්‍රණයක්..! | Lanka Newsweek