අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රාජ්‍ය ආදායම බිලියන 3012 දක්වා වැඩි කර ආර්ථික පිම්මක් පනිනවා

රාජ්‍ය ආදායම බිලියන 3012 දක්වා වැඩි කර ආර්ථික පිම්මක් පනිනවා

ජනපතිගේ ආර්ථික වැඩ පිළිවෙළට ජාත්‍යන්තරයේ විශ්වාසය පළ වෙලා ශ්‍රී ලංකාව වැඩිම රාජ්‍ය ආදායම ලැබූ වර්ෂය බවට 2023 පත් කරනවා මහාචාර්ය ආශුබෝධ මාරසිංහ අවධාරණය කරයි 2023 දෙසැම්බර් 31 වැනිදා වන විට සමස්ත…

ජනපතිගේ ආර්ථික වැඩ පිළිවෙළට ජාත්‍යන්තරයේ විශ්වාසය පළ වෙලා 

ශ්‍රී ලංකාව වැඩිම රාජ්‍ය ආදායම ලැබූ වර්ෂය බවට 2023 පත් කරනවා 

මහාචාර්ය ආශුබෝධ මාරසිංහ අවධාරණය කරයි  

2023 දෙසැම්බර් 31 වැනිදා වන විට සමස්ත රාජ්‍ය ආදායම ලෙස රුපියල් බිලියන 3012ක් උපයා ගෙන ආර්ථික වශයෙන් ඉදිරි පිම්මක් පැනීමට ජනාධිපතිවරයා ප්‍රධාන රජය සැලසුම් කර ඇතැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩ පිළිවෙළ ගැන ජාත්‍යන්තරයේ විශ්වාසය පළ වී ඇතැයි පෙන්වා දුන් මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා වඩා අත්දැකීම් සහිත ජාත්‍යන්තර පන්නයේ නායකයෙකු ලෙස මේ රට ඉදිරියට ගෙන යාමේ හැකියාව සහ ශක්තිය තමාට තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් ඔප්පු කර ඇතැයි කියා සිටියේය. 

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ පිහිටි "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ බ්‍රහස්පතින්දා (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

දැන්වීම

අද විශේෂ දිනයක් වෙනවා. ඒ තමයි නොවැම්බර් තිස් වෙනිදා. ජනතාව තමන්ගේ වර්ෂයක් උපයා ගත්ත ආදයම්වලට අනුව බදු ගෙවන ප්‍රමාණය කුමක්ද කියන එක තීරණය වෙන්නේ අද දිනය තුළ යි. ඒ නිසා කවුද බදු ගෙවන්නේ..? කවුද බදු නොගෙවන්නේ කියන එක අපට සාකච්ඡා කිරීමට හැකියාව ලැබෙනවා. 

විශේෂයෙන්ම ඔක්තෝම්බර් මාසයේ වෙද්දි අපේ ජන ගහනයෙන් දෙලක්ෂ තිස්පන්දහක් පමණයි බදු ගෙවිය යුතුයි කියලා ලියා පදිංචි වෙලා තිබුණේ. රජයේ සේවකයන්ගේ ලක්ෂ 13 තුළ රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ගන්න අය ඉන්නේ විසි පන්දාහක් පමණයි. දොළොස් ලක්ෂ හැත්තෑ පන්දාහක් විතර රජයේ සේවකයෝ ඉන්නේ රුපියල් ලක්ෂයට අඩුවෙන් වැටුප් ගන්නා අයයි. පෞද්ගලික අංශයේ හත් ලක්ෂ හැට පන්දාහක් ඉන්නවා. ඒ පිරිස රාජ්‍ය ආදායම උත්පාදනය කර ගන්න රජයට සහය දක්වන පිරිසයි. ඒ නිසා මිලියන 22කින් ලක්ෂ දහයක් වත් බදු ගෙවන අය නොමැති බව පෙනී යන කාරණයක්. 

මේ රටේ වැඩි බදු ගෙවන පුද්ගලයා කොච්චරක් බදු ගෙවලා තියෙනවද..? මිලියන 700ක් ඒ පුද්ගලයා ගෙවලා තියෙනවා. ඒ මහත්මයා අවුරුදු 85 ක් වයසැති ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් වෙනවා. දෙවනියට බදු ගෙවන ඉහළම පුද්ගලයා මිලියන 250ක් තමයි බදු වශයෙන් ගෙවනු ලබන්නේ. නමුත් අපි හිතා ගෙන ඉන්න මේ විශාලතම මේ රටේ ඉන්න ධනපති යැයි  කියන පුද්ගලයා තමයි ඒ ප්‍රමාණය ගෙවනු ලබන්නේ. සත්‍ය වශයෙන්ම අපට මෙයින් පෙනී යන්නේ අපි පාරට බැස්සහම පදවන වාහනවලින් පෙනෙනවා, ඉතාම ධනවත් ව්‍යාපාරිකයෝ මේ රටේ ඉන්නවා. නමුත් ඔවුන් බදු ගෙවීම ඉතාම සූක්ෂම අයුරින් පැහැර හැරලා තිබෙන බව පෙනෙනවා. 

2023 ජනවාරි පළවෙනිදා ඉඳන් 2023 නොවැම්බර් තිස් වැනිදා වන තෙක් දැනට අපිට ලැබිලා තිබෙන ආදායම් කෙසේද කියන එක අපිට බලන්නට පුළුවන්. 2022 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අත්පත් කර ගත් වටිනාකම බිලියන අට සියයක් වගේ වෙනවා. 2023 අපි උපකල්පනය කළ අදායම නම් බිලියන 1668ක්‌ වෙනවා. මේ වෙන කොට බිලියන 1454 ක් උපයා ගැනීමට හැකියාව ලැබිලා තිබෙනවා. ඊට අමතරව රේගු සහ සුරාබදු ආදායම් අපි ආදායම් උත්පාදන මාර්ග විදියට සලකනවා. ඒ වගේම රේගු ආදායම්  බිලියන 1217 උපයා ගැනීමට උපකල්පනය කර තිබෙනවා. සුරා බදු ආදායම් විදිහට බිලියන 217ක් අය කර ගැනීමට උපකල්පනය කර තිබෙනවා. සාමාන්‍යයෙන් අපිට රුපියල් බිලියන 3101 එකක් මේ වර්ග තුනම ආදායම් විදිහට ලබාගැනීමට හැකි වෙයි කියලා අපි වර්ෂාවසාන වෙද්දි උපකල්පනය කරලා තිබෙනවා. සරලව ප්‍රකාශ කළොත් ට්‍රිලියන 3ක අදායමක් අපි අපේක්ෂා කරනවා. අපි බිලියන දෙදහස් පන්සිය පනහකට ආසන්න ආදායමක් එකතු කර ගෙන තිබෙනවා. ඒ අනුව මේ අවසන් මාසේ බිලියන 150ක් දේශීය අදායම් දෙපාර්තමේන්තුව එකතු කර ගත යුතුව තිබෙනවා. රේගුවෙන් බිලියන  118 ක් එකතු කර ගත යුතුව තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවෙන් බිලියන 24 ක් එකතු කර ගත යුතුව තිබෙනවා. ඒ අනුව සමස්ථ බිලියන දෙසිය අනූ දෙකත් එකතු කර ගත්තොත්, ඒ අනුව දෙසැම්බර් 31 වැනිදා වන විට බිලියන 3012 ක ප්‍රමාණයක් සමස්ත ආදායම එකතු කර ගැනීමට හැකියාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. 

ඒ අනුව මේක ලංකාවේ වැඩියෙන්ම ආදායම් ලැබූ වර්ෂය බවට පත්වෙනවා. ඒ වගේම, ට්‍රිලියන තුනක් ඉක්මවා ගිය වර්ෂය බවට පත්වෙනවා. ඒ නිසා අපි බදු ගෙවන ජනතාවට ඔවුන් මේ බදු ගෙවීම පිළිබඳව ආචාර කරනවා වගේම, නොගෙවා සිටින  පිරිසටත් හැකි ඉක්මනින් ඒ බදු ගෙවන ලෙස අපි ආයාචනා කරනවා.

ඒ වගේම අපි 225ම දෙනාම පාර්ලිමේන්තුව දැනුවත් කර අපි බලනවා මේ වර්ෂාවසාන වෙද්දි සියලු දෙනාම මේ  බදු ලිපිගොනු නිවැරදිව ඉදිරිපත් කරලා තිබෙනවාද කියන එක පරික්ෂා කරල බලනවා. ඒ වගේ වැඩියෙන් අලුතෙන් මන්ත්‍රීවරු තිහ  හතළිහක් ඒ ලිපි ගොනු අලුතෙන් ආරම්භ කළා. පාර්ලිමේන්තුවෙන් ඒ ආරම්භ කිරීමේ වගකීම ඔවුන් ගැනීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ  25,200 පමණයි බදු අය කර ගැනීම සිද්ධවෙන්නේ. ලක්ෂ 8 කට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ සේවකයින් බදු ගෙවනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ ජනතාව පාරට බහිනවා අපි දැකලත් නෑ. ඔවුන් තමයි රටේ ආර්ථිකයට වැඩියෙන්ම දායකත්වය දක්වන්නෙ කියන එක සඳහන් කළ යුතුයි.
 
2022 වසරේ දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 74.85 යි. 8.75% ක්‌ කෘෂිකර්මාන්තයෙන් සහ කර්මාන්ත අංශයෙන් 30.27%  සහ සේවා අංශය 56.11% ලෙස සටහන් වෙනවා. විශේෂයෙන් ම පෞද්ගලික අංශය රැක ගත හොත් අපිට සහනාධාර සහ අනෙකුත් සුබසාධන අවශ්‍යතා ලබාදිය යුතු වු පිරිස් රැක ගැනීමේ හැකියාව ඇති වෙනවා.

ඒ වගේම පෞද්ගලික අංශය දිරිමත් කරලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීල ඔවුන්ගෙන් වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීම උදෙසා ඔවුන් දිරිමත් කළ යුතු වෙනවා. විශේෂයෙන්ම  ප්‍රතිපත්තියක් ලෙස රජය ව්‍යාපාර නොකළ යුතුයි කියන තැන ජනාධිපතිවරයා ඉන්නවා. රජය අවශ්‍ය වන්නේ රටකට අවශ්‍ය නීති සම්පාදනය සහ ප්‍රතිපත්ති සම්පාදනයට කියන එක අපි සියලු දෙනාම තේරුම් ගත යුතු වෙනවා. 

ඒ වගේම  නිෂ්පාදන ක්‍රියාවලට දායක පිරිසට අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කිරීම රජයේ වගකීමක් වෙනවා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන හැටක් ලබා ගෙන මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම අපි සිදු කරනවා. ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වෙන්නේ රැඩිකල් වෙනසක් කියන එක අපි තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයා පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටියා, තරඟකාරීත්වයෙන් යුතුව ව්‍යාපාරවල නිරත වෙන්න කියන ඉල්ලීම. පොලී අනුපාතය පහළ යාමත් එක්ක නැවත යළිත්  පිබිදීමක් පෞද්ගලික අංශයේ ඇති වෙලා තිබෙනවා කියන එකත් සඳහන් කළ යුතුයි.  

මේ ආරම්භ කර තියෙන ආර්ථික වැඩ පිළිවෙළ වෙන ආණ්ඩුවකට වත් කාටවත් වෙනස් කරන්න බැහැ. මේ රටේ ශ්‍රම බලකායේ සියයට 65ක් අයිති වෙන්නේ මේ පෞද්ගලික අංශය තුලටයි. විශේෂයෙන් පෞද්ගලික අංශයේ දියුණුව කියන්නේ රැකියා ප්‍රශ්නයටත් විශාල විසඳුමක් ලැබෙනවා. අද වන විට හෝටල් කේෂ්ත්‍රයේ 20,000ක පමණ පුරප්පාඩු ඇති වෙලා තිබෙනවා. ජනවාරි වන විට තරු හතේ සහ තරු පහේ හෝටල් හතක් ආර්ථිකයට එකතු වෙනවා. ඒ වගේම $250 කාමර  ගාස්තුව ඩොලර් 500 දක්වා ඉහළ යාම සිද්ධ වෙනවා. සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 25 ක් දක්වා වැඩි කරන්න රජය සැලසුම් කරලා තිබෙනවා. 

ඒ නිසා ජාත්‍යන්තරයේ මේ වැඩ පිළිවෙළ සම්බන්ධව විශ්වාසයක් ඇති වෙලා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ පිළිබඳ වඩා හොඳ දෘෂ්ටියකින් බලලා තිබෙනවා. ඒ නිසා වඩා අත්දැකීම් සහිත ජාත්‍යන්තර පන්නයේ නායකයෙක් වන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රට ඉදිරියට ගෙන යාමේ හැකියාව සහ විශ්වාසය ජනතාවට ලබා දිය හැකියි  කියන එකත් මතක් කළ යුතුයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න
රාජ්‍ය ආදායම බිලියන 3012 දක්වා වැඩි කර ආර්ථික පිම්මක් පනිනවා | Lanka Newsweek