අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

රහස් පොලීසිය ජනපතිගේ ස්ථාවරය උල්ලංඝනය කරලා

රහස් පොලීසිය ජනපතිගේ ස්ථාවරය උල්ලංඝනය කරලා

රටේ භාෂණයේ සහ ලේඛනයේ නිදහසක් නැහැ අරාජික සහ අධිකාරිවාදී රාජ්‍යක් බව යළිත් ඔප්පු කරලා ජනපතිවරයා සිය නිදහස් දින කතාවෙන් මතු කළ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් රහස් පොලීසිය ඊට පසුදාම ක්‍රියා කර ඇති ආකාරය…

රටේ භාෂණයේ සහ ලේඛනයේ නිදහසක් නැහැ 

අරාජික සහ අධිකාරිවාදී රාජ්‍යක් බව යළිත් ඔප්පු කරලා 

ජනපතිවරයා සිය නිදහස් දින කතාවෙන් මතු කළ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් රහස් පොලීසිය ඊට පසුදාම ක්‍රියා කර ඇති ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සිදු විය හැක්කක් නොවන අතර එම ක්‍රියා කලාපය තරයේ හෙළා දකින්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ජනපතිගේ නිදහස් දින කතාවට වෙනස්ව යමින් රහස් පොලීසිය ඊට පසුදාම ක්‍රියා කර ඇති ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සිදු විය හැක්කක් නොවේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා අන්තර්ජාල මාධ්‍යයකට කළ ප්‍රකාශයකට එකඟව තම අදහස් ද එක්කර ඇති තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්න කරනු ලැබීම භාෂණයේ නිදහස රකින කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ අදහසයි. මාධ්‍ය වාර්තා පළ වන ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ආකාරයට ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. 

දැන්වීම

රටේ රාජ්‍ය නායකයා ලෙස අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා භාෂණයේ නිදහස සහ මාධ්‍ය නිදහස ද ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැතිය යුතු ජනතාවගේ අයිතිවාසිකම් තමන් විසින් තහවුරු කර ඇති බව නැවත වතාවකදී ලොවටම ප්‍රකාශ කළේ 2022.02.04 වනදා ජාතික නිදහස් දිනය සමරමිනි. එමෙන්ම ඊට පෙර ඒ ආකාරයටම ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙතද එකී පොරොන්දුව ලබාදී තිබිණ. 

වාර්තා වන අන්දමට සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රකාශයට සහය දක්වමින් අදහසක් පළ කිරීම නිසා මෙම තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්න කරනු ලබන්නේ ඊට පසුවදාය. එනම් පෙබරවාරි මස 05 වනදාය. මෙම සිදු වීම මඟින් වඩාත් පැහැදිලි වන්නේ රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ භාෂණයේ නිදහස කෙරෙහි රජයේම ප්‍රමුඛ පාර්ශවයක් දක්වා ඇති අවතක්සේරුව පමණක්ම නොවේ. රටේ රාජ්‍ය නායකයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද ප්‍රතිපත්තිය තහවුරු කිරීමක් නොතකා හරින තරමට රාජ්‍ය යාන්ත්‍රණයේම ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බවය. 

මෙවැනි තත්ත්වයන් අපේක්ෂා කළ හැක්කේ අරාජික රාජ්‍යයක හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සාරධර්ම පවා නොතකා හරින අධිකාරීවාදී රාජ්‍යයක් වෙතින් පමණි. මෙවැනි තත්ත්වයන් හේතුවෙන් ජාතික වශයෙන් රටේ ජනතාවගේ අයිතිවාසිකම් අමු අමුවේම කෙලෙසීමට ලක් කරන අතර, අන්තර්ජාතික වශයෙන් රටේ ප්‍රතිරූපයට බරපතළ ප්‍රතිවිපාක ඇති කරවයි. එවැනි තත්ත්වයක් නිර්මාණයවීම රටටත් රටේ ජනතාවටත් බෙහෙවින්ම අනතුරුදායකය. 

එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සියලු වග කිව යුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙවැනි ක්‍රියා මාර්ග ඉදිරියේදී හෝ සිදු නොවීමට සියලු පියවර ගන්නා ලෙසටය. රටේ ගෞරවය සහ ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමට දැඩි ලෙස අවධානය යොමු කරවමින් කැප වන ලෙසටය. 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න