රවී යළි උච්ඡ වන ලකුණු..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

එස්.එෆ්-රංජිත්-මංගල-එජාපයේ ඉදිරි පෙළට..! එජාප “පියන්කමට” ඉල්ලුම්පත් රැසක් එක්සත් නායකත්ව මණ්ඩලය යළි කරළියට..? (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ එම පක්ෂයේ උප නායක…
එස්.එෆ්-රංජිත්-මංගල-එජාපයේ ඉදිරි පෙළට..!
එජාප “පියන්කමට” ඉල්ලුම්පත් රැසක්
එක්සත් නායකත්ව මණ්ඩලය යළි කරළියට..?
(සුජිත් මංගල ද සිල්වා)
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ එම පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා ඇතුළු කණ්ඩායමක් පක්ෂයේ ඉදිරියට ගෙන ඒ අයට පක්ෂයේ මෙහෙයවීමේ වැඩි බලතල සහ වගකීම් පැවරිය යුතු බවට යෝජනා වී තිබේ.
ඊට අමතරව හෙට අනිද්දාම සිදු කෙරෙන කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ රවී කරුණානායක මහතා, ප්‍රබල අමාත්‍ය ධූරයකට ද යළි පත් කෙරෙනු ඇතැයි ජනාධිපති මන්දිර සහ අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජයට පත් කිරීම සඳහා අගමැතිවරයාට එරෙහිව සිටි එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනකුම ඇතුළු පසු පෙළ මන්ත්‍රීවරුන් ද එකට ඒකරාශී කරමින් තිරය පිටු පස විශාල කාර්ය භාරයක් කර ඇත්තේ රවී කරුණානායක මහතා බව මේ වන විට හෙළිදරව් වෙමින් පවතියි.
රවී කරුණානායක මහතා සමග එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියට ගත යුතු බවට යෝජනා වී ඇති නායකයින්ගේ නම් අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,රංජිත් මද්දුමබණ්ඩාර,මංගල සමරවීර සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ ද නම් තිබේ.
ඊට අමතරව හරීන් ප්‍රනාන්දු, නවීන් දිසානායක,රුවන් විජයවර්ධන,තලතා අතුකෝරාල,ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද ඉදිරියට ගෙන වගකීම් සහ බලතල පැවරිය යුතු බවට යෝජනා වී ඇත.
කෙසේ නමුත් මේ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාන ගත කර බලතල සහ වගකීම් පවරන යාන්ත්‍රණය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවකට පැමිණ නොමැති අතර ඒ සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වෙමින් පවතියි.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහ පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ දැඩි ස්ථාවරය වී තිබෙන්නේ පක්ෂයේ බලතල,වගකීම් සහ කාර්ය භාරයන් සහිතව තනතුරු ලබා දෙන විට ඒ පුද්ගලයින් ජනාධිපතිවරණයේදී,මහ මැතිවරණයේදී සහ පළාත් පාලන මැතිවරණයේදී සිය මැතිවරණ කොට්ඨාශයවත් ජය ගෙන තිබෙනවා ද, එක්සත් ජාතික පක්ෂයත්,අගමැතිවරයාත්,ආණ්ඩුවත් වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව පාර්ලිමේන්තුවේදීත් රට තොටේදීත් සටන් කරනවා ද, ඒ අය වැඩ කරන්නේ පෞද්ගලික දේශපාලන ඉලක්ක සහිත න්‍යාය පත්‍රයකට අනුව ද නැති නම් පක්ෂයේ දේශපාලන ජයග්‍රහණ තහවුරු කෙරෙන පොදු දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ද යන්න පිළිබඳව තීරණයකට ආ යුතු බවය.
මේ අතර සියලු දෙනාටම අවස්ථාව සැලසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ උප නායක තනතුරු ගණනාවක් ඇති කිරීමේ ක්‍රමවේදයට විරෝධය පළ කර ඇති පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ පසු පෙළ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ එසේ කරනවා නම් නායක, සභාපති, මහ ලේකම් සහ භාණ්ඩාගාරික යන තනතුරු ද කිහිපයක්ම ඇති කළ යුතු බවය.
එමෙන්ම තවත් ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකම කියන්නේ “පියන් ජොබ්” එකක් කියා කියනවා නම් පක්ෂය වෙනුවෙන් ඒ “පියන් ජොබ්” එක වුණත් කිරීමට ඒ අය සුදානම් බවය.
එම කණ්ඩායම වැඩි දුරටත් පෙන්වා දී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකම “පියන් ජොබ්” එකක් නම් ඊට තවත් අය පත් කරනවාට වත්මන් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සතුටු වනු ඇති විනා කිසිසේත් විරුද්ධ නොවනු ඇති බවය.
උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ජනතාව ඉල්ලා සිටින මේ සියලු නායකයින්ට අවස්ථාව ලබා දී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීම සඳහා එක්සත් නායකත්ව මණ්ඩලය යළි ඇති කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිදු වනු ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2