රවී දිනා ගනී-මලික් අනා ගනී..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

රවී කරුණානායකට ප්‍රබල ඇමති ධූරයක්..! ජනපති-අගමැති ඇත්ත තේරුම් ගනී..! දේශපාලන මණ්ඩලය එකඟ වෙයි..! මලික්-කබීර්-චන්ද්‍රිකා අනාථයි..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ උපනායක සහ හිටපු මුදල්…
රවී කරුණානායකට ප්‍රබල ඇමති ධූරයක්..!
ජනපති-අගමැති ඇත්ත තේරුම් ගනී..!
දේශපාලන මණ්ඩලය එකඟ වෙයි..!
මලික්-කබීර්-චන්ද්‍රිකා අනාථයි..!
(සුජිත් මංගල ද සිල්වා)
එක්සත් ජාතික පක්ෂයේ උපනායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට කැබිනට් ඇමති ධූරයක් යළි ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් තීරණය කර තිබේ.
පරිමේන්තුවේ සිය නිල කාර්යාලයට ඊයේ (05) උදේ රවී කරුණානායක මහතා කැඳවා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට කැබිනට් ඇමති ධුරයක් යළි ලබා දීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු විරෝධතාවයක් නොමැති අතර මුදල් ඇමතිවරයාව සිටියදී රවී කරුණානායක මහතා ජනතාවගේ වගේම රටේ ආර්ථිකය පැත්තෙන සිතා එම ඇමති ධූරයේ වගකීම් සහ යුතුකම් ඉටු කළ ආකාරය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය ද පළ කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් “lankanewsweek” සමග පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රවී කරුණානායක මහතාට මේ දැනුම්දීම කළේ ඔහුට ඇමතිකම යළි ලබාදීමට නොහැකි වී තිබෙන්නේ ජනාධිපතිවරයාගේ විරෝධය නිසා බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් පතුරුවමින් සිටින ආරංචිය නිසා විය හැකි බවය.
රවී කරුණානායක මහතා සහ ඔහුට යළි ඇමති ධූරයක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඔළුවේ වැරදි මතයක් නිර්මාණය කිරීමට සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මුල සිටම උත්සහ කළ බව පෙන්වා දුන් එම ජ්‍යෙෂ්ඨ නායකයා ජනාධිපතිවරයා හමුවේ ඔහු සෑම විටම ඇඟවූයේ රවී කරුණානායක මහතාට යළි ඇමති ධූරයක් ලබාදීමට අගමැතිවරයා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂය සූදානම් නොමැති බවය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ඉහළම නිලධාරියෙක් මේ ලියුම්කරු සමග පුද්ගලිකව පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විවිධ මට්ටමේ සකච්ඡා පවත්වා පැමිණෙන සෑම අවස්ථාවකදීම මලික් සමරවික්‍රම මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙන්නේ රවී කරුණානායක මහතාට ඇමතිකමක් ලබා දෙනවාට ජනාධිපතිවරයා විරුද්ධයි කියාය.
ඒ අනුව හෙට හෝ අනිද්දා හෝ ඊළඟ සතියේ හෝ ඊළඟ මාසයේ හෝ ඇමතිකම ලබා දෙන බවට රවී කරුණානායක මහතාට පොරොන්දු වෙමින් මේ ප්‍රශ්නය ඇද ගෙන යන්න අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සිදු බව ද ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ විශාල අවුලක් ඇතිවූ බව පෙන්වා දුන් එම පක්ෂයේ එම ඉහළම නිලධාරියා රවී කරුණානායක රවී කරුණානායක මහතාට එරෙහි මේ ව්‍යාපාරය පිටුපස කබීර් හෂීම්,මංගල සමරවීර සහ ඉරාන් වික්‍රමරත්න යන ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද හිටපු ජනාධිපතිනි චනද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ද සිටින බව හෙළි කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (04) පැවති එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මේ ප්‍රශ්නය මතු වී ඇති අතර එහිදී රවී කරුණානායක මහතා වේගවත් කතාවක් කරමින් අගමැතිවරයාගෙන් විමසා තිබෙන්නේ සිය ඇමතිකම තමාට ලබා නොදෙන්නේ කිනම් හේතුවක් නිසා ද යන්නය.
දේශපාලන ප්‍රබලයින් සිව් දෙනකු අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන ආණ්ඩුව ඒ අයගේ අභිමතය පරිදි මෙහෙයවීම සම්බන්ධයෙන් ද,පාක්ෂිකයින්ට නොසලකා ඒ අය අමතක කර දැමීම සහ රටේ ආර්ථිකය කඩා වට්ටා තිබීම සම්බන්ධයෙන් ද එහිදී චෝදනා එල්ල වී තිබෙන අතර ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් වීම ඇතුළු සියලු ප්‍රශ්නවලට හේතුව මේ තත්ත්වය බවට කරුණු අවධාරණය වී තිබේ.
රවී කරුණානායක මහතාට අසාධාරණයක් වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ද එහිදී පිළිගෙන තිබෙන අතර බහුතරයේ ස්ථාවරය වී තිබෙන්නේ ඉදිරි අවුරුදු දෙක ඇතුළතදීවත් මේ ප්‍රශ්න විසඳා ගෙන පාක්ෂිකයින්ට සැලකිය යුතුය යන්නය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩුව සිය අභිමතය පරිදි මෙහෙයවීමට උත්සහ දරන මහ පොළවේ පය නොගසා සිටින මේ ප්‍රබලයින් සිව් දෙනා කවුරුන්ද යන්න පිළිබඳව “lankanewsweek” කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් පැවසුවේ ඒ මලික් සමරවික්‍රම,කබීර් හෂීම් සහ මංගල සමරවීර යන අමාත්‍යවරුන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බවය.
තමාට ඇමතිකම ලබා දෙනවාට සිය විරෝධයක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ දැනුම්දීමෙන් පසුව රවී කරුණානායක මහතා ඒ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (05) දැනුම් දී තිබේ.
එසේ නම් ඒ බව ඊයේ (05) සවස පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන්න යැයි අග්‍රාමාත්‍යවරයා රවී කරුණානායක මහතාගෙන් ඉල්ලා ඇත.
ඒ අනුව රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලය හමුවේ ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර ඊට කිසිවකුත් විරුද්ධ නොවී ඒ සඳහා පූර්ණ එකඟතාවය පළ කර තිබේ.
ඒ අනුව රවී කරුණානායක මහතාට ඇමති ධූරය යළි ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු කඩිනමින්ම සම්පාදනය කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී සහතික වී තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
