අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රවී කියන කතාව හරියට හරි රට බංකොලොත් කළේ මහා බැංකුවයි

රවී කියන කතාව හරියට හරි රට බංකොලොත් කළේ මහා බැංකුවයි

මහා බැංකුව වසා දැමිය යුතුයි ශ්‍රී ලංකා රුපියල වෙනුවට ඉන්දීය රුපියලට මාරු වෙමු රවීට විශ්ව විද්‍යාල ප්‍රජාවගේ ආචාරය රට බංකොලොත් කළේ එදා සිට මේ දක්වා පැවැති ආණ්ඩු නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි…

මහා බැංකුව වසා දැමිය යුතුයි 

ශ්‍රී ලංකා රුපියල වෙනුවට ඉන්දීය රුපියලට මාරු වෙමු 

රවීට විශ්ව විද්‍යාල ප්‍රජාවගේ ආචාරය   

රට බංකොලොත් කළේ එදා සිට මේ දක්වා පැවැති ආණ්ඩු නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන් බවට හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා කරන චෝදනාව සියයට සියයක් නිවැරදි යැයි විශ්ව විද්‍යාල ප්‍රජාව අවධාරණය කර සිටිති.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රී ලංකා මහා බැංකුව සම්බන්ධයෙන් එල්ල කරන එම චෝදනාවට අදාළව "lankanewsweek" සමග අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුවේ, කළමනාකරණ පීඨයේ, නිර්මාතෘ සහ පීඨාධිපති මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා මෙසේ පැවසීය. 

"රටේ සහ ජනතාවගේ ආර්ථිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවට ප්‍රධාන සහ මූලික වගකීම් තුනක් ඇතුළු වගකීම් රැසක් තිබෙනවා. ඒ මූලික වගකීම් තුන වන්නේ රටේ මුල්‍ය ක්‍රමය, මුදලේ අගය සහ විදේශ විනිමය අනුපාතය ස්ථායීව පවත්වා ගැනීමයි. 

දැන්වීම

ශ්‍රී ලංකා මහා බැංකුව සතු පළමු වහකීම වන රටේ මූල්‍ය ක්‍රමය ස්ථායීව පවත්වා ගැනීම යනු රටේ සියලු බැංකු සහ මුල්‍ය ආයතන බංකොලොත් වීමට ඉඩ නොතබා ඒ ඒ බැංකුවල සහ මුල්‍ය ආයතනවල තිබෙන ජනතාවගේ තැන්පතු ආරක්ෂා කර ගැනීම වන අතර එමගින් සිදු වන්නේ ආර්ථික ක්‍රියාවලිය සුමට වීමයි. 

කෙසේ නමුත් ශ්‍රී ලංකා මහා බැංකුව සිය පළමු සහ ප්‍රමුඛ වගකීම පැහැර හැර ඇති තත්ත්වය හමුවේ රටේ බැංකු සහ මුල්‍ය ආයතන පද්ධතිය කඩා වැටී එම ආයතන බංකොලොත් වීමේ අවදානමකට මුහුණ දී සිටිනවා.

මහා බැංකුව සතු දෙවැනි මූලික සහ ප්‍රමුඛ වගකීම වන මුදලේ අගය ස්ථායී ලෙස පවත්වා ගැනීම යනු උද්ධමනය පහළ අගයක පත්වා ගැනීම වන අතර එමගින් අපේක්ෂා කෙරෙන්නේ රුපියලේ ක්‍රය ශක්තිය ස්ථායී ලෙස පවත්වා ගැනීමයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා මහා බැංකුව සිය දෙවැනි මූලික සහ ප්‍රමුඛ වගකීම ද ඉටු කර නොමැති නිසා රටේ උද්ධමනය ඉහළ ගොස් ජනතාවගේ පරිභෝජනය ද බිඳ වැටී තිබෙනවා.

ශ්‍රී ලංකා මහා බැංකුව සතු තෙවැනි මූලික සහ ප්‍රමුඛ වගකීම වන්නේ විදේශ විනිමය අනුපාතය ස්ථායීව පවත්වා ගැනීම වන අතර එමගින් අපේක්ෂා කෙරෙන්නේ විදේශ මුදලට සාපේක්ෂව දේශීය මුදලේ අගය ස්ථායී ලෙස පවත්වා ගැනීමයි.

සිය තෙවැනි මූලික සහ ප්‍රමුඛ වගකීම ද මහා බැංකුව පැහැර හැර ඇති තත්ත්වය හමුවේ රුපියල බාල්දු වී ආනයනය සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුව තිබෙන අතර ඒ හේතුවෙන් ආනයන-අපනයන ක්‍රියාවලිය විශාල අර්බුදයකට මුහුණ දී සිටිනවා.

සිය මූලික සහ ප්‍රමුඛ වගකීම් තුනම පැහැර හැර රට බංකොලොත් භාවයට පත් කර ඇති මෙම ශ්‍රී ලංකා මහා බැංකුව වසා දැමිය යුතු බව විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස අප අවධාරණය කර සිටින අතර රට බංකොලොත් කළේ ශ්‍රී ලංකා මහා බැංකුව බවට බිය-සැක නැතිව රවී කරුණානායක මහතා එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් අප ඔහුට අපගේ ආචාරය පුද කර සිටිනවා.

ඒ අනුව අප අවධාරණය කර සිටින්නේ, රට බංකොලොත් කළ ශ්‍රී ලංකා මහා බැංකුව වසා දමා ශ්‍රී ලංකාවේ රුපියල වෙනුවට ඉන්දීය රුපියලට රටක් ලෙස අප මාරු විය යුතු බවයි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රවී කියන කතාව හරියට හරි රට බංකොලොත් කළේ මහා බැංකුවයි | Lanka Newsweek