අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රවීට එරෙහිව බැඳුම්කර චෝදනා එල්ල කර පවත්වා ගෙන යන්න බැහැ

රවීට එරෙහිව බැඳුම්කර චෝදනා එල්ල කර පවත්වා ගෙන යන්න බැහැ

මහධිකරණයෙන් නීතිපතිට නියෝගයක් මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි චෝදනා පවරා පවත්වා ගෙන යාමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදී ඇති නිසා ඔහුට…

මහධිකරණයෙන් නීතිපතිට නියෝගයක්  

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි චෝදනා පවරා පවත්වා ගෙන යාමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදී ඇති නිසා ඔහුට එරෙහි නඩු කටයුත්ත සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බදාදා (15) නීතිපතිවරයාට නියෝග කළා.

අදාළ නඩුව බදාදා (15) දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ  මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැද වනු ලැබ තිබිණ.

එම අවස්ථාවේදී රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහි චෝදනා  පවරා පවත්වා ගෙන යාමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදී ඇති බව ප්‍රකාශ කළ අතර එම තීන්දුවේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

දැන්වීම

එම නඩු තීන්දුව පරීක්ෂාවට ලක් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත සහ මංජුල තිලකරත්න යන  විනිසුරුවරුන් ප්‍රකාශ කළේ අභියාචනාධිකරණය විසින් රවී කරුණානායක මහතාට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා ගත් තීරණය බල රහිත කර ඇති නිසා මේ සම්බන්ධයෙන්  නීතිපතිවරයා තීන්දුවක් ගත යුතු බවය.

සභාපති විනිසුරු දමිත් තොටවත්ත මහතා ප්‍රකාශ කළේ අභියාචනාධිකරණ තීන්දුව පිරික්සීමේදී රවී කරුණානායක මහතාට එරෙහි චෝදනා පවත්වා ගෙන යා නොහැකි ආකාරයක් පෙනී යන බවය. 

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවය.

මෙම කරුණට අදාළව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව නඩුව 2023 අප්‍රේල් මස 27 වැනිදා කැඳවන ලෙස නියෝග කළ අතර එදින නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දෙන ලෙසත් නියම කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රවීට එරෙහිව බැඳුම්කර චෝදනා එල්ල කර පවත්වා ගෙන යන්න බැහැ | Lanka Newsweek