අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“රනිල් එජාපය මලික්ට උකස් තියලා...”

“රනිල් එජාපය මලික්ට උකස් තියලා...”

කළු කෝට්කාරයෙකුයි-ග්‍රාම සේවකයෙකුයි කරත්තේ බැඳ ගෙන හඳට යන්න පුළුවන් ද ..? යම පාලනයේ බැසිල්ගේ භූමිකාව යහ පාලනයේ මලික්ගෙන්..! රනිල් කියන්නේ කළු සුද්දෙක්..! (සුජිත් මංගල ද සිල්වා) කළු කොට්කරයෙකුයි…

කළු කෝට්කාරයෙකුයි-ග්‍රාම සේවකයෙකුයි කරත්තේ බැඳ ගෙන හඳට යන්න පුළුවන් ද ..?

යම පාලනයේ බැසිල්ගේ භූමිකාව යහ පාලනයේ මලික්ගෙන්..!

රනිල් කියන්නේ කළු සුද්දෙක්..!

“රනිල් එජාපය මලික්ට උකස් තියලා...”

(සුජිත් මංගල ද සිල්වා)

කළු කොට්කරයෙකුයි ග්‍රාමසේවකයෙකුයි කරත්තේ බැඳ ගෙන හඳට යන්න නොහැකි යැයි වයඹ විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය සහ මුල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා “lankanewsweek”වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා මෙසේ ද කීය.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් විවේචන අඩුවක් නැහැ. ඊට ආණ්ඩුවේ ප්‍රතිචාර ශක්ති සම්පන්න නැහැ. වසර තුනක් තිසසේ වත්මන් පාලනය කළේ කුමක් දැයි ප්‍රශ්න කරන තැනට ජනතාව පත්ව ඇත්තේ මෙකී පසුබිම යටතේයි.

රටේ සංවර්ධනය සහ අනාගතය පිළිබඳව යම් ආකාරයක බලාපොරොත්තු කඩවීමක් ගෙවුණු කාලයේදී සිදුව ඇති බව පෙනෙන කරුණකි. මේ කාලයේදී ශ්‍රී ලංකාව අයාලේ ගිය බව මාගේ අදහසය. මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රමුඛ පිරිස මහින්ද රාජපක්ෂලාට එරෙහිව කඳවුරු බැන්දේ ජීවිත අවදානම ගැන නොසිතාය.

ඒකාධිපති සහ දුර්දාන්ත පාලනයට එරෙහිව මේ පිරිස පෙරමුණට පැමිණියේ ඔවුන් සැබවින්ම රටට ජාතියට ආදරය කළ නිසාය. පැවැති පාලනයෙන් අවශ්‍ය තරම් වරදාන සහ වරප්‍රසාද ලබා ගෙන බෙහෙවින් සැපවත් ජීවිත ගත කිරීමේ අවස්ථාව මේ අයට තිබුණි. එහෙත් එම අවස්ථාව ඔවුහු රට වෙනුවෙන් කැප කළහ. ඔවුහු මේ රටේ සැබෑ පුරවැසියෝය. අද මේ ආණ්ඩුවේ කරඬුව කරේ තබා ගෙන යන අලි ඇතුන් බහුතරය වෙනත් රටවල පුරවැසියන් බවද අමතක නොකළ යුතුය.

වත්මන් ආණ්ඩුවට වින්නඹුකම් කළ තවත් චරිත ගණනාවකි. සමහරු තිරය පිටුපස සිටියහ. කෙසේ හෝ බල පෙරැළියට පුරෝගාමීව දායක වූයේ මෙරට සිවිල් සංවිධානය. ඒ මේ රට නිවැරැදි මඟට ගැනීමේ අවශ්‍යතාවක් ඔවුන්ට තිබූ නිසාය. එහෙත් ඒ වන විටත් එක්සත් ජාතික පක්ෂයට නිසි විසඳුමක් හෝ අවබෝධයක් තිබුණේ නැත. ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පවා එකඟතාවක් නොවීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ පෙළඹීවීමට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  ඇති වූ පිපිරීම සහ සිවිල් සංවිධානවල මැදිහත් වීම මතය. මැතිවරණ ජයග්‍රහණයක් සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් ද එක්සත් ජාතික පක්ෂයට නොතිබුණි.

කෙසේ වුවත් බල පෙරැළියක් සිදු වුණි. සිවිල් සංවිධානවල “බෝඩ් ලෑලි” සිය “බෝඩ් ලෑලි” බවට හරවා ගෙන ඒ හරහා සිය නොහැකියාව වසා ගැනීමට 2015 දී පොදු අපේක්ෂකයා වටා සිටි දේශපාලන පක්ෂ යොමු වුණි. කෙසේ හෝ අවසන් ප්‍රතිඵලය එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  ආණ්ඩුවක් බිහි වීමය.

ඒ කෙසේ වුවත් වත්මන් ආණ්ඩුව බිහි කිරීමට අඩු වැඩි වශයෙන් ද දායක වූ සියලු දෙනා ගෙවුණු කාලය සම්බන්ධයෙන් පශ්චත්තාප වන බව නම් පැහැදිලිය.සමස්තයක් වශයෙන් අප බලාපොරොත්තු වූ සංවර්ධනය සහ ආර්ථික දියුණුව තවම පෙනෙන්නට නැත. වත්මන් පාලනය සම්බන්ධයෙන් සතුටු වන්නේ ඉහළම තනතුරුවලට පත් වූ අයත් මැති ඇමැතිවරුන් සහ ඔවුන් පිටු පස සිටින ඉහළ වරප්‍රසාද ලාභීන් පමණය.

ඒ හැර බහුතරයකට ඇත්තේ නම් කලකිරීමකි. අපේක්ෂා භංගත්වයකි. ඒ අනුව යහපාලන ආණ්ඩුව ගොඩනැඟීමට දායක වූ අයගෙන් අතිශය බහුතරය අද දවසේ අඩු වැඩි වශයෙන් දුක් වන බව මගේ පෞද්ගලික මතයයි. මාදුළුවාවේ සෝභිත හිමි සිටියා නම් වැඩියෙන්ම කම්පාවට පත් වන්නේ උන් වහන්සේ බවට කිසිදු තර්කයක් නැත. යහපාලනය බලයට පත් කිරීමේදී ජනතාව තබා තිබූ බලාපොරොත්තු නිවැරැදිව තේරුම් ගැනීමට මේ අයට තවමත් හැකි වී නැත. තේරුම් ගන්නා ස්වභාවයක් ද නැත.

දූෂණය, වංචාව සහ අක්‍රමිකතා තුරන් කිරීම ද   රාජ්‍ය දේපළ අව භාවිතය අවම කිරීම ද එදා ප්‍රමුඛ සටන් පාඨ වූ බව සැමට මතකය. පසුගිය පාලනයේ මෙකී කාරණා සම්බන්ධයෙන් සමාජයෙන් එල්ල වූයේ බරපතළ චෝදනාය. ඊට සිද්ධ වූයේ කුමක්ද? එම ප්‍රශ්නය එලෙස පවතිද්දී වත්මන් පාලනයේ වංචාව, දූෂණය සහ අක්‍රමිකතා ද රාජ්‍ය දේපළ අවභාවිතය කිරීම් ද සම්බන්ධයෙන් චෝදනා මතු වනු පෙනේ.ජනාධිපතිවරයා සෑම වේදිකාවකම මේ  සම්බන්ධයෙන් කතා කරන ආකාරය දැක ගත හැකිය. යහපාලන ආණ්ඩුවේ ද පෙර පාලනයේ පැවැති දූෂණ වංචා සහ අක්‍රමිකතා යනාදිය ඒ ආකාරයෙන්ම පවතින බව මේ අනුව පැහැදිලිය.

එසේ නම් සිදු වූ වෙනස කුමක් දැයි මේ හරහා මතු වන ප්‍රශ්නයකි. පවුල්වාදය මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව එල්ල වූ තවත් ​චෝදනාවකි. ශ්‍රී ලංකාවේ දේශපාලනයේ එක් කොටසක් බවට පවුල් වාදය පත්ව හමාරය. ඒ තත්ත්වය වත්මන් පාලනය තතහවුරු කර තිබේ. ඉහළම තනතුරු දරන අයගේ සිට පහළ තනතුර දරන අය දක්වා එහි වෙනසක් නැත. ඇමැති කාර්ය මණ්ඩල සහ ආයතන ප්‍රධානීන් පත් කර ඇති ආකාරය දෙස බලන විට පවුල් වාදයේ තරම වටහා ගන්නට පුළුවන.

එදා සිටි බැසිල් රාජපක්ෂලා වෙනුවට අද මලික් සමරවික්‍රමලාය. එදා සිටි මර්වින් සිල්වලා වෙනුවට අද පාලිත තෙවරප්පෙරුමලා නිර්මාණය වී තිබේ. අජිත් නිවාඩ් කබ්රාල්ලා වෙනුවට අර්ජුන් මහේන්ද්‍රන්ලා සහ අර්ජුන් ඇලෝසියස්ලා නිර්මාණය කර ඇත්තේය. එදා සිටි පී.බී. ජයසුන්දරලාගේ චරිතය අද රඟ දක්වන්නේ ආර් පාස්කරලිංගම්ලා සහ චරිත රත්වත්තේලාය. මේ අනුව බලන විට මහින්ද රාපජක්ෂ පාලනයත් වත්මන් පාලනයත් අතර වෙනසක් නැත. වෙනසකට ඇත්තේ නාම පුවරුව පමණි. ජනතාව බලාපොරොත්තු වූ මහා ලොකු වෙනසක් පෙනෙන්නට නැත.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1977 කළ ආර්ථික පරිවර්තනය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු ගැන කතා කරන විට නිතැතින්ම ඉදිරියට එන මාතෘකාවකි. ඒ වගේම ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයා උදාගම් සංකල්පය සහ ඇඟලුම් කර්මාන්ත යනාදිය හරහා මේ රටේ මහා පරිමාණ ආර්ථික සංවර්ධනයක් ඇති කළේය. දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම රටට දායාද වුණේ එම යුගවලදීය.

එහෙත් වත්මන් එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ එවන් සාධනීය සංවර්ධන ක්‍රියාවලි පෙනෙන්නට නැත. මෙවන් සාධනීය සංවර්ධන ක්‍රියාවලියක් නොවීමට ප්‍රධාන හේතුව වශයෙන් ආණ්ඩුව ගෙන හැර දක්වන්නේ ණය බර කතාවය. විශේෂයෙන්ම අගමැතිවරයා මේ කාරණය සෑම වේදිකාවකවම වගේ කියනු පෙනෙන්නට තිබේ.

ණය ගත්තේ ජනතාව නොව ආණ්ඩුවය. පෙර ආණ්ඩුව ගත් ණය වත්මන් ආණ්ඩුව ගෙවිය යුතුය. ඒ වගේම වත්මන් ආණ්ඩුව ගන්නා ණය ගෙවීමට සිදු වන්නේ අනාගතයේ බිහි වන ආණ්ඩුවකටය. ඒ නිසා ණය නිසා සංවර්ධනය කිරීමට නොහැකි වී ඇතැයි කීම ජනතාවට උත්තරයක් නොවේ.

ආණ්ඩුවට භාර ගන්නා විට ණය ගෙවීම් ආදියට සූදානම් වන්නේ කෙසේද යනාදියට ඒ අය සතුව සැලැසුම් තිබිය යුතුව තිබිණ. එහෙත් එවන් සූදානමක් තිබූ ආකාරයක් පෙනෙන්නට නැත. ඊට ප්‍රධාන හේතුව වන්නේ 2015 බල පෙරැළිය සිදු වූයේ ජනතාවට එවැන්නක් අවශ්‍ය වූ නිසා වීමය. ඒ නිසා අහඹු ලෙස ලැබුණ ආණ්ඩුව කර ගෙන යාමේ වැඩ පිළිවෙළක් දේශපාලනඥයන්ට තිබුණේ නැත.

එහෙත් ආණ්ඩුවේ මුල් කාලයේ යම් ඉදිරිගාමී බවක් තිබුණි. පළමු සහ දෙවැනි අය වැයවලින් සංවර්ධන යෝජනා ක්‍රම රාශියක් යෝජනා වුණි. නිර්මාණශීලී යෝජනා එහි තිබුණි. ඒ වගේම යටිතල පහසුකම් සංවර්ධනය නම්‍ය ලෙස දැක තිබුණි. “Vision 2025” සහ “නීල හරිත” අය වැය යෝජනාවලියේත් ඉහළ මට්ටමේ සංවර්ධන ක්‍රියාවලි යෝජනා වූ බව සැබෑය. එහෙත් ගැටලුව වන්නේ ඒ කිසිවක් ක්‍රියාත්මක නොවීමය. නැතිනම් නාමික වීමය.

කෙසේ වුවත් ගෙවී ගිය කාලයේ අසාර්ථක්තවයට බලපෑ කරුණු පහකි. කුමන ආර්ථික දර්ශනයක් පැවතියත් ආණ්ඩුවේ සංවර්ධන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට හොඳ කණ්ඩායමක් හදා ගැනීමට නොහැකි වී තිබේ. එක්සත් ජාතික පක්ෂය ලිබරල් ප්‍රතිපත්තියත් සමඟ එක් ගුරු කුලයකට සීමා වී ති​බේ. කොස් ඇටයත් හැන්දෙන් ගෑරුප්පුවෙන් කන අය සමග ග්‍රාමීය සංවර්ධනය කතා කිරීම විහිළුවකි. කොතරම් හොඳ සංවර්ධන යෝජනා තිබුණත් ඒවා ගමට නොයන්නේ මේ නිසාය.

එදා ආණ්ඩුව පැරදුණ විට බැසිල් රාජපක්ෂ රට හැර ගියා සේ වත්මන් ආණ්ඩුවට ද බලය අහිමි වන විට වටේ සිටින පිරිස් රට හැර යන බව ආණ්ඩුව තේරුම් ගත යුතුය. ඒ නිසා තමා වටේ සිටින කණ්ඩායම කොතරම් ප්‍රායෝගික දැයි ආණ්ඩුව නැවත සිතිය යුතුය.

ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනා ගමන් කරන්නේ දෙපැත්තකටය.මෙතැන තිබෙන්නේ නොගැළපීමකි.රනිල් වික්‍රමසිංහ කියන්නේ කොළඹ හතේ කළු කෝට් කාරයෙකි.ඉංග්‍රීසියෙන් සිතන සහ කතා කරන නව ලිබරල්වාදය කරපින්නා ගෙන ඇමරිකාව ඇතුළු ධනවාදී රටවලට වන්දනාමාන කරන කළු සුද්දෙකි.

මෛත්‍රීපාල සිරිසේන කියන්නේ සිංහලෙන් කතා කතා කර සහ සිතන වෙලේ කුඹුරේ වැඩ කර ඇති ගැමියෙකි.ග්‍රාම සේවකයෙකි.දේශීය ආර්ථිකය,සමාජවාදය,ජාතික නිෂ්පාදනය සහ සමාජ සුභ සාධනය පිළිබඳව විශ්වාස කරන්නෙකි. ඒ අනුව අප මේ කරමින් සිටින්නේ කළු කොට්කරයෙකුයි ග්‍රාමසේවකයෙකුයි කරත්තේ බැඳ ගෙන හඳට යන්න දරන අසාර්ථක උත්සාහයකි.

එම නිසා සාමුහික වගකීම සහ එකඟතාව පිළිබඳ ආණ්ඩුව මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුව තිබේ. ඒ වගේම ඇතැම් මැති ඇමැතිවරුන්ට රට ජනතාව ගැන හැඟීමක් නැත. ඒ අත්දැකීම් අඩුකම නිසාය. බොහෝ දේ අසාර්ථක වන්නේ මේ පසුබිමේය. ව්‍යවස්ථාව සකසන්නේ බලයට පත් වූ දිනයේ සිටය. එහෙත් තවමත් එම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නොහැකි වී තිබේ. පළාත් සභා ඡන්ද පවත්වා ගැනීමට නොහැකි වී තිබේ. ඊට අදාළ සීමා නිර්ණ කටයුතු සම්බන්ධ ගැටලුවක් බලපා තිබේ.ප්‍රායෝගිකත්වය නොමැති ඇමැතිවරුන් සිටීම ද ආණ්ඩුවට ප්‍රශ්නයකි. .

ආණ්ඩුවට බලයට පැමිණි වහා රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළේය. මොවුන් සම්බන්ධ නීතියක් තිබිය යුතුය. එම නීති රටට හිතකර වුවක් විය යුතුය. එසේ නැතිව ඇමැති දුන් නියෝග ක්‍රියාත්මක කළ පමණින්ම රාජ්‍ය නිලධාරින් අත්අඩංගුවට ගන්නවා නම් එම තත්ත්වය කනගාටුදායකය. මේ නිසා රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන්නේ පරිස්සමෙනි. ඇතැම් විට වැඩ වෙන්නේ ද නැත. වැඩ නොවන තැනට නීති ක්‍රියාත්මක වීම බරපතළ කරුණකි.

වසර විස්සක් දුක්විඳි පාක්ෂිකයන් බලා ගැනීමට ආණ්ඩුවට නොහැකි වී තිබේ. එය ආණ්ඩුවේ අසාර්ථකත්වයට බලපෑ අවසන් කාරණාවය. වන්දි ලිපි ගොනු දහස් ගණනින් පක්ෂ කාර්යාලවල සිර වී තිබේ. තමන්ට උදව් කළ අය අමතක කිරීමට ආණ්ඩුව යොමු වී සිටීම කනගාටුදායක තත්ත්වයකි.සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය පාළු සොහොන් පිටියක් බවට පත්ව තිබේ.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඇමතිකමක් ද ලබා ගැනීමට මලික් සමරවික්‍රමට තිබූ එකම සුදුසුකම ඔහු සල්ලිකරයෙකු වීම පමණය.එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කිසිම දේශපාලනයක් නොකර ජන මතයකින් ද තොරව සල්ලි වීසි කර ලැයිස්තුවෙන් පරිමේන්තුවට රිංගු මේ මලික් සමරවික්‍රම ජන මතයෙන් පාර්ලිමේන්තුවට ආ මැති ඇමතිවරුන් ඇතුළු මහ ජන නියෝජිතයින්ගේ කකුලෙන් අදිමින් ඒ අයට විවිධ කෙණහිලි,අසාධාරනකම් සහ අඩන්තේට්ටම් කරද්දී රනිල් වික්‍රමසිංහ අහක බලා ගෙන සිටියි.

ජන මතයට වඩා එක්සත් ජාතික පක්ෂයට සහ රනිල් වික්‍රමසිංහට රුපියල් වටිනවා යැයි අප කියා සිටින්නේ මේ නිසායය.මේ අය එකතු වී පාක්ෂිකයින් පක්ෂයෙන් පන්නා එක්සත් ජතික පක්ෂය ධනවතුන්ට උකස් තබා අවසානය.සුදත් චන්ද්‍රසේකරට අත් වූ ඉරණම අනුව එක්සත් ජාතික පක්ෂයේ සහ එම නායකයින්ගේ ගුණමකුකම මනාව පැහැදිළි වේ.1988 සිට එක්සත් ජාතික පක්ෂයටත් එම නායකයින්ටත් කඹුරා ජීතිතක්ෂයට පත් වූ අසංක කරුණාරත්න මහතාගේ පවුලේ උදවියට ඒ අයගේ නිවස වෙනුවෙන් ගත් බැංකු ණය පවා ගෙවා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී අන්ත අසරණ වී සිටියි.

එදා පාලනයට එරෙහි වූ වෘත්තියවේදීන් අද යළිත් ඔවුන්ගේ වේදිකාවට ගොස් වත්මන් පාලනයට එරෙහිව හඬ නඟන්නේ මේ පසුබිමේය. ගෝඨාභය රාජපක්ෂලා වටා වෘත්තීයවේදීන් පෙළ ගැසී ඇත්තේ ​එහි ප්‍රතිඵලයක් ලෙසය. ආණ්ඩුව මේවා තේරුම් නොගත හොත් ඉදිරියේදී දැඩි අර්බුදයකට ලක් වනු ඇත.ආණ්ඩුව ජනතාව හරි හැටි තේරුම් නොගත හොත් සිදු වන්නේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි කිව්වා වගේ ආණ්ඩුවට අබ සරණය.

“රනිල් එජාපය මලික්ට උකස් තියලා...”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7
බෙදාගන්න
“රනිල් එජාපය මලික්ට උකස් තියලා...” | Lanka Newsweek