රනිල් අකිලව පාවා දෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

උසස්වීම් කමිටුවේ ප්‍රධානියා අකිලගේ මස්සිනාලු..! ගුරු සංගමය රනිල්ටයි-අකිලටයි දෙන්නටම චෝදනා කරයි..! අගමැති අනාගත් වෘත්තීය සමිති ජනපති දිනා ගනී..! අකිලට එරෙහිව රනිල්ගේ මාධ්‍ය ජුන්ටාවෙන් ප්‍රහාරයක්..!…
උසස්වීම් කමිටුවේ ප්‍රධානියා අකිලගේ මස්සිනාලු..!
ගුරු සංගමය රනිල්ටයි-අකිලටයි දෙන්නටම චෝදනා කරයි..!
අගමැති අනාගත් වෘත්තීය සමිති ජනපති දිනා ගනී..!
අකිලට එරෙහිව රනිල්ගේ මාධ්‍ය ජුන්ටාවෙන් ප්‍රහාරයක්..!
(සුජිත් මංගල ද සිල්වා)
අධ්‍යාපන වෘත්තීය සමිති හමුවී, ජාතික අධ්‍යාපන ක්ෂේත්‍රයේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය වහාම විසඳීමේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියතට ගැනීමත් සමග දැඩි කලබලයට පත්ව ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සියලු ප්‍රශ්නවල වගකීම අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ කර මත පටවා අත පිස ගැනීම සඳහා මාධ්‍ය මෙහෙයුමක් දියත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ හමු වූයේ,රටේ රාජකාරි බහුල නිසා වේලාවක් ලබාදීමට නොහැකි බව කියමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාස ගණනක් මුළුල්ලේ හමු නොවී නොසලකා හැර සිටි ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තීය සමිතිය.
ඒ අනුව මේ සතියේ සියලුම ඉරිදා පුවත්පත්වල දේශපාලන ඕපාදුප තීරු ඔස්සේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉල්ලක්ක කර දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර ජෝශප් ස්ටාලින්ලා අගය කර තිබේ.
ඔහු එසේ කර ඇත්තේ අධ්‍යාපනය ක්ෂේත්‍රයේ උද්ගත වී තිබෙන ප්‍රශ්නවලට වග කිව යුත්තේ තමා නොව අකිල විරාජ් කාරියවසම් මහතා බව අඟවා ජෝශප් ස්ටලින්ලා ඇතුළු වෘත්තීය සමිති නායකයින් නොසලකා හැරීම සම්බන්ධයෙන් එල්ල විය හැකි චෝදනාවෙන් ද බේරීම සඳහාය.
අධ්‍යාපන ඇමතිවරයා ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන වෘත්තීය සමිතවල මතයටත් ඇහුන්කම් දිය යුතුව තිබුණා යැයි ද වෘත්තීය සමිතිවලින් වැදුණු පහර හේතුවෙන් ඔහු ඉදිරියේදීවත් ප්‍රශ්න ඇති නොවන ලෙස වැඩ කිරීමට පුරුදු වනු ඇති අතර අධ්‍යාපන පරිපාලන සේවයේ අදාළ පත්වීම් ලබා දෙන කමිටුවේ ප්‍රධානියා ලෙස ඔහු ඔහුගේ ඥාතියකු පත් කර ගැනීම වැරදි යැයි ද යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය මැති ඇමතිවරුන් පිරිසක් සමග පවසා ඇතැයි එම දේශපාලන ඕපාදුප තීරුවල සඳහන් වේ.
ඔහු ඒ බව පවසා ඇත්තේ අධ්‍යාපන පරිපාලන සේවයේ උසස්වීම් ලබා දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම අත් හිටෙව්වා නේදැයි විමසමින් එම වැඩ පිළිවෙළ අකිල විරාජ් කාරියවසම් මහතා අවුල් කර ගැනීම අපරාධයක් නොවේ දැයි එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් අරලිය ගහ මන්දිරයේදී ප්‍රශ්න කර සිටි අවස්ථාවේදීය.
ඊට පිළිතුරු දෙමින් වැඩි දුරටත් එහිදී අදහස් දක්වා ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අකිල විරාජ් කාරියවසම් මහතා සම්බන්ධයෙන් කියා ඇති කතාව මෙසේය.
“ ඒ පත්වීම් කළ කමිටුවේ ප්‍රධානියා අකිල විරාජ කාරියවසම්ගේ සමීපතම ඥාතියෙක්ලු. එහෙම වුණාම වැඩ කටයුතු හොදට කළත් ඕනෑම අයෙකුට සැකය සහ අවිශ්වාසය ඇති වෙනවා.
මේ ප්‍රශ්නයේ පළමු රවුම අකිල විරාජ් දිනුවා. වෘත්තීය සමිති ජනාධිපති හමුවෙලා ඊළග රවුම දිනුවා. ජෝෂප් ස්ටාලින්ලා කියන්නේ අපට ගොඩක් හිතවත් අය . ඔවුන් අදත් මාත් එක්ක සමීපයි. ඒ නිසා අකිල විරාජ්ලා ඒ අයගේ වෘත්තීය සමිතිවල මතයටත් ඇහුන්කම් දෙන්න ඕන.
අකිල විරාජ් අපේ අයට සාධාරණය කරන්න හැදුවා.ඒක හරි... ඒත් ඒ හරහා අනිත් අයට අසාධාරණයක් වෙන්න බෑ. ජනාධිපතිතුමයි මමයි කතා කරල අපි නම් කරන අධ්‍යාපන කමිටුවකින් ඊළග පියවරට යමු කියල එකගත්වයකට ආවා. මම මෙතනදී තැපැල් පියුන් විතරයි.
මේ වගේ ප්‍රහාරයක් එල්ල වුණ එක හොඳයි...එතකොටවත් පාඩමක් ඉගෙන ගනීවි.මේ වගේ ප්‍රහාරයක් දෙකක් එල්ල වුණාම ඕනෑම ඇමතිවරයෙක් ඒ අත් දැකීම් මත ඉස්සරහට ප්‍රශ්න ඇති නොවෙන්න වැඩ කරන්න පුරුදු වෙනවා. මේ සිද්ධිය අපේ අනිත් ඇමතිලටත් හොඳ පාඩමක්. ”
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයෙන් “lankanewsweek” කළ විමසීමේදී එම සංගමය සඳහන් කළේ, මාධ්‍ය වෙත මෙවැනි ප්‍රකාශ නිකුත් කර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මේ ප්‍රශ්නයෙන් ගැළවීමට,පළා යාමට හෝ මඟ හැර සිටීමට නොහැකි බවය.
අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කාලයක් මුළුල්ලේ මෙසේ අත්තනෝමතික සහ නීති විරෝධී ලෙස ක්‍රියා කරන විට රනිල් වික්‍රමසිංහ මහතා ඊට අනුබල සහ ඉඩ දී කිසිවක්ම නොකර බලා සිටි බවට චෝදනා කරන එම සංගමය අධ්‍යාපන ක්ෂේත්‍රයේ උද්ගත වී තිබෙන අර්බුද සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මාස ගණනක් තිස්සේ අවස්ථාවක් ඉල්ලා සිටියත් ඔහු එදා සිට මේ දක්වාම ඒ සඳහා වේලාවක් ලබා දී නැතැයි ද පවසයි.
තමා හමුවීමට හෙට අනිද්දාම වේලාවක් ලබා දෙන බව, සුනිල් ප්‍රේමසිරි මහතා ඇතුළු සිය විවිධ සම්බන්ධීකරණ නිලධාරීන් මාර්ගයෙන් දැනුම් දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සංගමය මාස ගණනාවක් මුළුල්ලේ සැලසුම් සහගතව සහ හිතාමතාම මඟ හැරියේ යැයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.
රටේ ජාතික අධ්‍යාපනයේ උද්ගත වී තිබෙන ප්‍රශ්න කතා කිරීම සඳහා, යහ පාලන ජාතික රජය බලයට ගෙන එන්න ඇප කැප වී ක්‍රියා කළ ලංකා ගුරු සංගමයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ තමා හමුවීමටවත් වේලාවක් ලබා නොදීම ඉතා කණගාටුදායක යැයි ද ඔහු පෙන්වා දුන්නේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3