රනිල්ගේ අයවැයෙන් අවුරුදු දෙකකින් රට ගොඩ ගත හැකියි

සියලු දෙනා රට වෙනුවෙන් එකට එක් විය යුතුයි රට ඉගෙන නොගත් පාඩම IMF ඉගැන්නුවා රටට-ජනතාවට දිය යුත්තේ අවශ්‍ය දේ විනා ජනප්‍රිය දේ නෙවෙයි රනිල්ගේ අයවැය ගැන රවී කතා කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
සියලු දෙනා රට වෙනුවෙන් එකට එක් විය යුතුයි
රට ඉගෙන නොගත් පාඩම IMF ඉගැන්නුවා
රටට-ජනතාවට දිය යුත්තේ අවශ්‍ය දේ විනා ජනප්‍රිය දේ නෙවෙයි
රනිල්ගේ අයවැය ගැන රවී කතා කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර තිබෙන අතුරු සම්මත අයවැය යෝජනාවලිය යටතේ සියලු දෙනා රට-ජනතාව වෙනුවෙන් එකට එක්ව වැඩ කළ හොත් අවුරුදු දෙකක කාලයක දී ආර්ථිකය දියුණු කර රට යථා තත්ත්වයට පත් කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය ද නඟා සිටු විය හැකි යැයි හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා මේ අදහස් පළ කළේ, කොළඹ දී බ්‍රහස්පතින්දා (01) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
ඔබ සියලු දෙනාම මෙතැනට පැමිණීම ගැන මම අගය කරනවා. මම හිතුවා නිහඬතාවයට වැඩිය හිටපු මුදල් ඇමැතිවරයා වශයෙන් ඉතාමත් අමාරු අවස්ථාවක මේ අවස්ථාවේ ඉදිරිපත් කර තිබෙන අතුරු සම්මත අයවැය සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කතා කිරීමට.
දැන්වීම
ඒක මට හිතුනෙ මටත් එවැනිම අවස්ථාවක් 2015 ඇති වී තිබුණ නිසා. ඒ අතර තියෙන එකඟතාවය නිසා, අද තිබෙන අවස්ථාවම එදත් උදා වෙලා තිබුණ අවස්ථාවක් නිසා තමයි හිතුවේ කතා කරන්න අවශ්‍යයි කියලා. 2015 ත් ආර්ථිකය කඩා වැටිලා ආදායමෙන් දළ දේශීය නිෂ්පාදනය 8.2% ට වගේ තිබ්බ වකවානුවක තමයි අපිට පුළුවන් වුණේ මාස 33 කින් ඒක 15%කට වැඩි කරන්න. මතක් කරන්න අවශ්‍යයි එදා හිටියෙත් අද ඉන්න ජනාධිපති අගමැති වශයෙන් බව. එතුමා අපට හුඟක් උපදෙස් දුන්නා. හිටපු ලේකම් අද ජනාධිපති කාර්යාලය ආර්ථික දැක්මක් සහිත වැඩ කරන සමරතුංග මැතිතුමා සහ එදා හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මැතිතුමා තමයි අද ඉන්නේ. ඉතින් එදා හිටිය ඒ කණ්ඩායම වශයෙන්ම අද ඒකට උත්තර දෙන්න තත්ත්වයක් නැවත ඇති වෙලා තියෙනවා කියන එක ගැන මම හිතන්නේ දෛවය විසින් දුන්න අවස්ථාවක් ලෙසයි. මේක උනේ ඇයි..? එදා 2015 දී 14% තත්ත්වයට තිබුණ එක 15% ඉලක්කයකට යන එක තමයි.
ඒ වගේම තමයි එදා තිබ්බ වියදම බිලියන එකසිය අනූවක් විතර ගිණුම් ගත නොවී තිබුණ අවස්ථාව තමයි මේ අවස්ථාවේදී තියෙන්නේ. දන්න විදිහට දැනුත් බිලියන් දෙසීයක් විතර ගිණුම් ගත නොවී තිබෙන අවස්ථාවක තමයි කතා කළ යුතුව තිබෙන්නේ. ඒක තමයි යටිතල පහසුකම්වලට, පාරවල් හදන එකට, අධ්‍යාපන ක්ෂේත්‍රයට සෞඛ්‍ය ක්ෂේත්‍රයට හුඟ දෙනා යම් විදියකින් ඒ සේවය ඉෂ්ට කළාට ඒකට ගෙවලා නැති අවස්ථාව තමයි මේ තියෙන්නේ.
දැන් මේ වගේම තමයි පුද්ගලික අංශයේ යොමු කරල තියෙන ප්‍රමුඛතාවය. අද නැවත ආණ්ඩුව කියනවා ඒ පැත්තට යන්න ඕනේ කියලා. අපි එදා කළා. ආණ්ඩුව කරන්න අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති හදනවා වගේ දුරදිග සැලැස්මවල් ඇති කිරීම මිසක් ව්‍යාපාර කරන්න ඕන්නෑ කියලා. ඒකම අද උපුටා ගෙන කතා කරන දෙයක් තමයි තියෙන්නේ. ශ්‍රී ලංකාව අවුරුදු 75ක් දැන් නිදහස අර ගෙන. එක තැනම ආර්ථිකය කැරකැවී තමයි තිබෙන්නේ. ඉතින් ඒක කොහොමද අපි එළියට ගන්නේ කියලා තමයි අප මේ කතා කරන්න අවශ්‍ය වන්නේ. අන්න ඒ නිසා තමයි මං හිතුවෙ එදා තිබ්බ අවස්ථාව 2015 නැවත 2022 න් ඇවිල්ලා ඒ ඉලක්කය ම ඉදිරියට ගෙනි යන්න තමයි දැන් අවශ්‍ය.
මම එක දෙයක් හිතනවා. අද IMF එක කණ්ඩායමක් වශයෙන් හිටියට මේ අයවැය ඒකට කියලා දෙන්න අවශ්‍යතාවයක් නෑ. මොකද සුද්දන් ඇවිල්ලා මේ අහිංසක දුප්පත් රටවල ජනතාව නටවන්න හැදුවට ඒ අයගෙ අරමුණ වන්නේ මේකෙ ඉදිරියටම ගෙනි යනවා මිසක් ප්‍රශ්න විසඳන රටක් හැටියට නෙමෙයි. මම දන්න එකම රට කොරියාව විතරයි. දෙපැත්තම පොඩි කේජු කෑල්ලක් දී ල අනිත් අතට අරගෙන යන එක විතරයි. මම එදත් කිව්වේ අදත් ඉන්නෙ ඒ මතයේම තමයි. මේකට උත්තර දෙන්නැතුව ඉදිරියට යන එක තමයි කරන්න තියෙන්නෙ. නමුත් අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලේබලය අවශ්‍යයි.
අපි දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා සිනි කකා කියනවා නම් දියවැඩියාව තියෙනවා කියලා දොස්තර කියාවි ඔබතුමාට මැරෙන්න ඕන නම් ඔහොමම ගත කරන්න කියලා. නමුත් ජීවත් වෙන්න ඕනේ නම් ඇඟිල්ලක්, අතක්, කකුලක් කපන්න වෙයි. සමහරක් විට හැබැයි ඒකෙන් තමයි ජීවත් වෙන්න පුළුවන් වන්නේ කියලා. දැන් කෝකද අපි තෝරා ගන්නේ. මේක තමයි අද ශ්‍රී ලංකාවට වෙලා තියෙන්නේ. මට තියෙන දුක අවුරුදු 5කට පස්සේ නැවත 2017 වෙනකන් මේක ගිහිල්ලා නැවත ඒ තත්ත්වයම උද්ගත වී නැවත එතැනටම ඇවිල්ල තියෙනව. මේක තමයි අපේ රටේ හැම විටම සිද්ධ වෙන්නේ. අවුරුදු ගණනාවක් රටක් සංවර්ධනය වෙන්න මම හිතන විදිහට මීට පෙර කියලා තියනවා වගේ වනාන්තරයක් වගා කරන්න අවුරුදු ගණනාවක් යනවා නමුත් එක ගිනි කූරකින් මුළු වනාන්තරයම නැති කරන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තමයි ශ්‍රී ලංකාවට වෙලා තියෙන්නෙ.
ඉතින් අපි සියලු දෙනාම ඒකරාශී වෙලා අපි අනුන්ට බැනලා වැඩක් නැහැ. වෙලා තියෙන දේ ගැන අඩල වැඩක් නෑ. නමුත් අපිට පුලුවන්නම් කොරියාව වගේ, බලන්න ශ්‍රී ලංකාවේ කිහිප තැනක්ම තියෙනවා කොරියාව වගේ කියලා කියනවා. නමුත් බලන්න දැන් කොරියාව කොතරම් උදාහරණ අර ගෙන වැඩ කරලා තියෙනවද. ඒ නිසා මේ වුණ දේවල් පැත්තකට දාලා හැම කොනක ම මේකේ විරෝධතා එල්ලං කරන බෝඩ් ලෑලි අල්ල ගෙන කරන ඒවා කරන්නෙ නැතුව තරුණ තරුණියන්ගේ කොච්චර හොඳ අදහස් තියෙනවද..? ඒ අදහස් එකතු කර ගෙන ඒ ඔක්කොම රටක් විදිහට ගෙනි යන්න පුළුවන් වැඩ පිළිවෙළකට එන්න ඕන.
අපි ඔය බෝඩ් ලෑලි අල්ලන්න අවශ්‍ය වන්නේ ප්‍රශ්නට පැය 24 කින් උත්තර නොදුන්නොත් විතරයි. මෙහෙම උනාම කොහොමද විදේශිකයන් මේ රටට ගෙන්න ගන්නේ. හොඳම උදාහරණය රටේ ඉතිරි කිරීම් තියෙනවා නම් ඒක ආයෝජනයකට දාන්න පුළුවන්. ආයෝජනය නැත්නම් අපි අපේම ධෛර්යමත් භාවයෙන් බැංකු තුළින් ඒ ව්‍යවසායකයන් ඇති කරන්න ඕන. මේ දෙකම නැත්නම් අපි උඩ බල බල ඉන්නෙ නැතුව ආයෝජකයෝ ගෙන්න ගෙන රටට සෙතක් වෙන වැඩක් කරන්න ඕන. රටේ හැම නගරෙකම හැම කොනකම බෝඩ් ලෑලි අල්ල ගෙන ඉන්න කොට කොයි ආයෝජකයාට ද මේ රටට එන්න පුළුවන්. සුද්දෝ එන්නම අවශ්‍ය නෑ අපේ ව්‍යවසායකයන් ඒ දේ කරේ නැත්නම් තමයි ඒ අවස්ථාව විදේශිකයන්ට විවෘත කර දෙන්නේ.
මේක අංග සම්පූර්ණ අය-වැයක් ලෙස මට පෙනෙන්නේ නැති වුණාට හොඳ දේවල් තියෙනවා. නමුත් අඩුපාඩුත් ඒ ආකාරයෙන්ම තියෙනවා. අපිට මෙතැන වන්දිභට්ටයෝ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේකෙ ඉදිරිපත් කරලා තියෙන දුර්වලතාවයන් සහ මේකේ තිබෙන ශක්තිය ගැන කතා කළ යුතුයි.
පේන්නේ මෙයින් ආදායම් බොහොමයක් වැඩි කර තිබෙනවා. එය බොහොම හොඳයි. අපි එදා 15% ක බද්දක් ගහන කොට කොතරම් අපි බැනුම් ඇහුවද. ඒ බැනුම් ඇහුවට අද කීදෙනෙක් කියනවද එදා ක්‍රමය ගෙනිච්චා නං මේ ප්‍රශ්නය ඇති වන්නේ නැහැ කියලා. අපි එදා කළේ 2019 වෙන කොට සියයට දහනමයක් විස්සක් වෙන තත්ත්වයකට ඇති කරන්න තමයි. මොකද උනේ. 2019 ජනතාවට වෙනසක් ඕනැයි කියල අපට රටක් ඕනේ බඩක් ඕනෙ නැහැ කියලා අන්තිමට ඇවිල්ලා ආදායම මිලියන හයසීයක් විතර විසි කරලා නිකරුනේ අපි ආර්ථික ප්‍රපාතයකට තල්ලු කළා.
ජාත්‍යන්තර අරමුදලෙන් මෙි ගමන කිව්වේ උඹලා අපෙන් අහන්න ඕනෙ නැහැ. දෙදහස් පහළොවේ දාසයේ දාහතේ කරපු වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන ගියා නම්, මෙවන් තත්ත්වයක් උද්ගත වෙන්නේ නැහැ කියලා. මොනදේ වුණත් අපිට මේකෙන් ගොඩ එන්න විදිහක් තියෙනවා. වියදම අඩු කරන්න ඕන කියන එක අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. වියදම අඩු කරන එක අමාරුයි තමයි. මොකද ආදායම අඩු වෙලා ආර්ථිකය කඩා වැටිලා නිසා.
ජන සවිය ගෙනාවා කෝටි 8500 ක් සහ පරිපාලන වියදම කෝටි 2300ක් වියදම් කරලා. කොහෙටද මේක ගිහින් තියෙන්නේ. මේක අද නැති අයට ලැබෙන්නේ නැහැ. තියන අයටයි ලැබෙන්නේ. මේක හංගන්න දෙයක් නැහැ. මේවට තමයි අපි ඉලක්ක ගත කරලා වැඩ කරන්න ඕන. මෙන්න මේවට තමයි බෝඩ් ලෑලි අල්ලන්න තියෙන්නෙ. මම මෙවැනි දේවල් කියන්න හදන්නෙ රටට තියෙන ආදරයට. මොකද හැම කෙනාම බනින්නෙ වැරදි තැනට මිසක් හරි තැනට නෙමෙයි. මේක අපි එකතු වෙලා ඒකරාශී කර ගෙන අත්වැල් බැඳ ගෙන කරුණාකරලා අවුරුදු එකහමාරකින් දෙකකින් අපේ රට යථා තත්ත්වයට පත් කරන්න බැරි වෙන්නේ නැහැ ඕන කමක් තියෙනව නම්. ඉතින් වියදම ඒ ආකාරයෙන්ම කරන්න අවශ්‍යයි. අපි දෙදහස් පහළොවේ ආවට පස්සෙ අපි පෙන්ෂන් එක ගැන කතා කළා. දැන් මෙතන ලක්ෂ 17 ක් ඉන්නවා. හැම එක්කෙනාම කියනවා හැම පක්ෂයකින් ම කියනවා අද බෝඩ් ලෑලි අල්ලන අයත් කියනවා මේක අවශ්‍ය ප්‍රමාණයට වඩා තියෙනවා කියලා. හැබැයි ඒගොල්ලෝ ලැජ්ජා වෙනවා බයයි යමක් කියන්න ඇත්ත තත්ත්වය ගැන. බය නැතුව හරි කොන්දක් තියා ගෙන කතා කරන්න මේ තියෙන රාජ්‍ය සේවකයන් මෙතනින් ඉදිරියට එන අයට, දැන් වැඩ කරන අයට කිසිම හානියක් නැහැ. ඉදිරියට එන අයට අලුත් ආකාරයකින් මේක සකසන්න ඕනේ.
අද ආදායම බිලියන 1500ක් ලැබෙන එකට ආදායමෙන් බිලියන 1300ක් ගෙවලා කොයි ආකාරයටද මෙතනින් ඉදිරියට යන්නේ. මේක තව වැඩි වෙන්න වැඩි වෙන්න රටේ බංකොලොත් භාවය වැඩි වෙනවා. අපි ඒක බලා ගෙන ඉන්නවද..? අන්න ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිල්ල කියන්නේ උඹලට හිතන්න බැරි නම් හරියාකාරව අපි කොහොමද මේක තල්ලු කරලා දෙන්නේ කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ අපට හිතන්න බැරි නිසා එයාල බයයි ක්‍රියාත්මක කරන්න. නමුත් ක්‍රියාත්මක කළා නම් අද සතුටුදායක තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. මෙන්න මේක තමයි මම කියන්නේ අපි යම් විදියකින් දේශපාලනය කරන්න අවශ්‍ය වන්නේ හරි දේ ජනතාවට දෙන්න. අවශ්‍ය දේ මිසක් ජනප්‍රිය දෙයක් නොවෙයි. මෙන්න මේක තමයි අපි මේ අවස්ථාවේදී ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන්නේ. මම දැක්කා පොහොරවලට කෝටි 3650 ක් වෙන් කරලා තිබෙනවා නමුත් මම හිතන විදියට මේක එහෙම දෙන්නෙ නැතිව එදා වගේ සාර්ථක මට්ටමකින් වවුචර් ක්‍රමය ගෙනිච්චා නම් මම අනිවාර්යෙන් හිතෙනවා ගොවිතැනේ ඵලදායිතාවයත් වැඩි වෙනවා. මම මේ කියන්නේ ප්‍රායෝගික අත්දැකීමක් තුලින්.
ඒ වගේම තමයි අධ්‍යාපනය. මම හිතන විදිහට හරි මාර්ගයට ඇවිල්ල තියෙනව. විශ්ව විද්‍යාල ඇති කිරීම බොහොම හොඳ දෙයක් කියල හැමෝම කතා කරලා තියනවා. ඩොලර් මිලියන 2500ක් අපේ සිසු පරම්පරාවට රටින් පිට යන්න වියදම් කරනවා නම් ඇයි මේ වගේ ලස්සන රටක විශ්ව විද්‍යාල හය හත අටක් ඉදි කරන්න බැරි. මට මේ මෑතක දැන ගන්න ලැබුණ තොරතුරක් තමයි අපේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ලෝකේ තියෙන ලස්සනම විශ්ව විද්‍යාලවලින් එකක්. ඒක හෙක්ටයාර්1200ක් විතර තියෙනවා. ඒ කියන්නේ අක්කර 2000 ක් විතර තියන තැනක්. මේකේ US ඩොලර් මිලියනයක් විතර ආදායමක් තිබෙනවා. ඒ වගේ වත්කමක් යටපත් වෙලා තියෙන තැනක් තමයි මේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය. ඉතිං මේ වගේ මුදල් ප්‍රමාණයක් යටපත් කර ගෙන ඉදීමෙන් ඒකෙ ඵලදායි තත්ත්වයක් ඇති වෙන්නේ නෑ. ඒකෙ ඵලදායීතාවය හරි වටිනාකමට ලැබිලා නැහැ. මේ දේවල් කියන්න මේ අවස්ථාවක යොදා ගන්න ඕනි කියලා මම හිතුවා.