අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට වෙනුවෙන් කරූ ජනපතිගෙන් කළ ජාතික ආයාචනය මෙන්න..!

රට වෙනුවෙන් කරූ ජනපතිගෙන් කළ ජාතික ආයාචනය මෙන්න..!

රට ගොඩනැගීමට උදා වී තිබෙන අවසන් අවස්ථාව මඟ නොහරිනු පෙරමුණ ගත යුත්තේ ජනපතිවරයායි "දිවි පරදුවට තබා හෝ සිය පූර්ණ දායකත්වය රට වෙනුවෙන් ලබා දෙනවා" ප්‍රජාතන්ත්‍රවාදී-නිදහස්-නිවහල් රටක මිහිදන් වීම එකම…

රට ගොඩනැගීමට උදා වී තිබෙන අවසන් අවස්ථාව මඟ නොහරිනු  

පෙරමුණ ගත යුත්තේ ජනපතිවරයායි 

"දිවි පරදුවට තබා හෝ සිය පූර්ණ දායකත්වය රට වෙනුවෙන් ලබා දෙනවා"

ප්‍රජාතන්ත්‍රවාදී-නිදහස්-නිවහල් රටක මිහිදන් වීම එකම අරමුණයි..!

රට වෙනුවෙන් කරූ ජනපතිගෙන් කළ ජාතික ආයාචනය මෙන්න..!

(නිලන්ති මානෙල් චන්ද්‍රසේන) 

ජාතික නිදහස ලබා අවුරුදු හැත්තෑ දෙකකට පසුව රට යළි ගොඩනැගීමට උදාවී තිබෙන අවසන් අවස්ථාවෙන් ජනාධිපතිවරයා ප්‍රධාන රජය පියවර ගත යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 

එම ජාතික කාර්ය භාරය වෙනුවෙන් තමාගේ සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ පූර්ණ දායකත්වය කොන්දේසි විරහිතව ලබා දෙන බවට සහතික වන කරු ජයසූරිය මහතා විපක්ෂය ද ඊට සිය පූර්ණ සහයෝගය, දායකත්වය සහ අනුග්‍රහය ලබා දෙනු ඇතැයි ද විශ්වාසය පළ කර සිටියි.

දැන්වීම

කෙසේ නමුත් රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් නායකත්වය ගෙන පෙරට ඇවිත් සියල්ල මෙහෙය විය යුතු යැයි ද සිය නිවේදනය මගින් පෙන්වා දෙන දේශබන්දු කරු ජයසූරිය මහතා වැඩි දුරටත් මෙසේ ද අවධාරණය කර සිටියි.
 
COVID-19 වසංගතයෙන් මිය ගිය සියලු පවුල්වලට අපගේ බලවත් ශෝකය මේ අවස්ථාවේදී පුද කරනවා. එමෙන්ම රටට බලපාන ජාතික වැදගත්කමකින් යුතු කරුණු කිහිපයක් අතිගරු ජනාධිපතිතුමාගේ සහ රට වැසියන්ගේ අවධානයට යොමු කිරීම යෝග්‍ය බව අපගේ අදහසයි.

අතිගරු ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට සහභාගි වන බව පුවත්පත් මගින් දැන ගත් විට අපට සහනයක් ඇති වුණා. ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ තිබෙන විවිධ ආකල්ප පැහැදිලි කිරීමට එම සහභාගීත්වය හොඳ අවස්ථාවක් වනවා. එමෙන්ම තමා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැප වන බවට ජනාධිපතිතුමා ගෙවුණු සති අන්තයේ ප්‍රසිද්ධ පුවත්පතකට ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබූ අතර එම ප්‍රකාශය ඉතා හොඳ පණිවිඩයක් වන බව කිව යුතුයි.

ගරු විදේශ ඇමතිතුමා දැනට තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා සාර්ථක සාකච්ඡා පවත් වන බව දැන ගැනීම සතුටට කරුණක් වනවා. ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින් ගැන වාර්තාවක් සැපයීමට හිටපු අග්‍ර විනිශ්චකාරතුමකුගේ  ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිරීම ඉතා කාලෝචිතයි. නමුත් එම කටයුතු නිල වශයෙන් අවසාන කර නැහැ. ලෝකයේ විශ්වාසය ඇති වන්නේ එම කටයුතු නිසි අයුරින් අවසන් කළ විටයි. ඒ සඳහා ඉක්මන් පියවර ගන්නා ලෙස අතිගරු ජනාධිපතිතුමාට අපි යෝජනා කරනවා.

ගරු අගමැතිතුමා යුරෝපියානු සංගමය හමුවීම සාකච්ඡා කිරීම ද ඉතා වැදගත් වනවා. එදා සිට මේ දක්වා නොවිසඳුණු ගැටලු ඉතා ඉකමනින් විසඳා  ගැනීමට එම හමුව අතිශයින්ම ප්‍රයෝජනවත් වන බව කිව යුතුයි. ආණ්ඩුවේ සමහර දේශපාලනඥයින් කරන "GSP+  එපා" වැනි අනුවණ කතාවලට ඉඩ නොදීමට රජය පියවර ගැනීම රටට හිතකර බව සඳහන් කළ යුතුයි. GSP+ බදු සහනයෙන් අපේ රටට-ජනතාවට විශාල සෙතක් සැලසෙනවා. 

අනාගතයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග සම්බන්ධතා ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බව ගරු මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවේ දී බදාදා (08) සඳහන් කළා. ප්‍රමාද වී හෝ මෙම තීරණය ගැනීම රටට-ජනතාවට යහපත් සහ ප්‍රයෝජනවත් වන බව කිව යුතුයි.

රටක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුගමනය කරමින් ලෝක ගෞරවය දිනා ගෙන කිසිම බල කඳවුරකට සම්බන්ධ නොවී ස්වාධීන රටක් වශයෙන් ඉදිරියට යන්න අපට හැකියාව සහ ශක්තිය තිබෙනවා. ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්ද 600ක් ලැබුණු අවස්ථාවේ සෑම රටක් විසින්ම ඔවුන් ශ්‍රී ලංකාවට ඉතා ඇලුම් කරන බවත්, විරුද්ධව ඡන්දය දීමට සිදු වූයේ ප්‍රතිපත්තිමය කරුණු නිසා බවත් පැහැදිලි කළා.

සත්භාවයෙන් අප ඉදිරිපත් කළ ඉහත කරුණුවලට අමතරව මේ රජය බලයට පැමිණි අවස්ථාවේ සිට ප්‍රජාතන්ත්‍රවාදයට අහිත කර ලෙස සිදු කළ ක්‍රියාදාමයන් ගැන අප ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කළා. සම්මන්ත්‍රණ, ZOOM තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡා සහ බුද්ධිමතුන්ගේ අදහස් විමසීම් ආදිය ඔස්සේ අද දක්වා ඒ මතයේ අප දැඩිව සිටිනවා.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ජනතාවගෙන් 82%ක් පමණ ප්‍රතික්ෂේප කර ඇති බව ජන සමීක්ෂණ මගින් තහවුරු කර තිබෙන බව අප දුටුවා. එම ව්‍යවස්ථා සංශෝධනය මගින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණා. දේශපාලන පළි ගැනීමේ චේතනාවෙන්ම බිහි කළ උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ මුළු රටටම නින්දාවක් සේම අධිකරණයට අපහාසයක් වුණා. එවැනි සිද්ධීන් සහ ක්‍රියාදාමයන් ලෝකයේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදි රටක සිදු නොවන කිව යුතුයි. මෙම පනත ගරු අගමැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නිසා එතුමාගේ කීර්ති නාමයටත් එමගින් විශාල හානියක් සිදු වූ බව කණගාටුවෙන් හෝ සඳහන් කළ යුතුව තිබෙන අතර එම වාර්තාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ තවමත් ඇත්තේ එතුමාගේ නමිනුයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක පැවැත් වෙන මැතිවරණ නිදහස් සහ සාධාරණ විය යුතුයි. අපි දිගින් දිගටම මේ ගැන රට-ජනතාව දැනුම්වත් කළා. ඒ ස්වාධීනත්වය ශ්‍රී ලාංකිකයන්ට ලැබී නැහැ. අපේ ප්‍රධාන චෝදනාව ස්වාධීන කොමිෂන් සභා කිහිපයක උග්‍ර දේශපාලන පත්වීම් කිහිපයක් තිබෙනවා බවයි. විපක්ෂයේ නියෝජිතයින් දෙදෙනාගේද එකඟත්වයෙන් මේ වරද නිවැරදි කිරීමට අතිගරු ජනාධිපතිතුමන් විසින් පියවර ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. එසේ නොමැතිව මේ කමිටුව ඵල රහිතයි. අපට පිළිගැනීමට අපහසුයි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රටේ උන්නතිය වෙනුවෙන් පෙනී සිටින අතර, ගෞරවනීය මාදුළුවාවේ ශ්‍රී සෝභිත නා හිමියන්ගේ දර්ශනය රැක ගෙන ඉදිරියට යෑමට අප ඇප කැපවී සිටිනවා. අප දේශපාලන පක්ෂයක් නොවේ. ඒ බව නැවත නැවතත් සඳහන් කරනවා. ගෞරවනීය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් කිහිපවිටක්ම සඳහන් කළ පරිදි අපට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් නිවහල් රටක මිහිදන් වීමටයි.

අප සඳහන් කළ අදහස් සහ යෝජනාවලින් ප්‍රතිපත්තිමය වශයෙන් ආණ්ඩුවටත් විපක්ෂයටත් රටේ ඉදිරි ගමන සඳහා සුදුසු පරිසරයක් ඇති කර ගත හැකියි. ඒ සඳහා විපක්ෂයේ සහයෝගය අනිවාර්යයෙන්ම ලබා ගැනීමට අවශ්‍ය බව සඳහන් කළ යුතුයි. සිය සහයෝගය රටේ දියුණුවට ලබා දෙන බව විපක්ෂය කිහිප විටක්ම සඳහන් කර තිබෙනවා. මෙහි දී අතිගරු ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා වශයෙන් ජාතික නායකත්වය මෙහෙය විය යුතු බව අප සංවිධානය දිගින් දිගටම කියා තිබෙනවා. 

අධිකරණයේ ස්වාධීනත්වයට කිසිම ආකාරයකින් බාධා කිරීම මේ රටේ ජනතාව අනුමත නොකරන බව සඳහන් කළ යුතුයි. මෑතකදී අධිකරණයේ ඉහළම මට්ටමේ නිලධාරීන්ට ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ තහනම් කිරීම, වැළැක්වීම සහ ඊට අදාළව උපදෙස් දීම ජනතාවගේ දැඩි සැකයට භාජනය වී තිබෙනවා. ජාතික නිදහස ලබා අවුරුදු 72 කට පසුව අපට මේ රට යළිත් ගොඩනැගිය හැකි පරිසරයක් උදා වෙමින් පවතින නිසා එම ජාතික කාර්ය භාරය සාර්ථක වේවායි අප ඉත සිතින් ප්‍රාර්ථනා කර සිටිනවා..! ඒ වෙනුවෙන් අප අපගේ පූර්ණ කැපවීම ලබා දෙනවා. 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
රට වෙනුවෙන් කරූ ජනපතිගෙන් කළ ජාතික ආයාචනය මෙන්න..! | Lanka Newsweek