රට වෙනුවෙන් අවම වශයෙන් අවුරුද්දක්වත් එකට වැඩ කරනු

සියලු මහා ජන නියෝජිතයින් රට-ජනතාව වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි අනාගත පරපුරේ අනාගතය අඳුරු නොකරනු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අව භාවිත නොකරනු අවම වශයෙන් අවුරුද්දක්වත් එකට එක්ව සමගියෙන් යුතුව වැඩ කර රට සහ…
සියලු මහා ජන නියෝජිතයින් රට-ජනතාව වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි
අනාගත පරපුරේ අනාගතය අඳුරු නොකරනු
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අව භාවිත නොකරනු

අවම වශයෙන් අවුරුද්දක්වත් එකට එක්ව සමගියෙන් යුතුව වැඩ කර රට සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කර සියලුම මහා ජන නියෝජිතයින් ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.
දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, "යහපත් රටක් සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්" යන තේමාව යටතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ ජාතික-ආගමික සංහිඳියාව සඳහා වන එකමුතුව මගින් රත්නපුරයේ දී සංවිධානය කෙරුණු පස් වැනි දිස්ත්‍රික් සමුළුවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
දැන්වීම
රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සම්භාවනීය පිරිසක් මෙසේ හමුවීමට හැකිවීම ගැන අපි අතිශයින් සතුටු වෙනවා. අපි දේශපාලන ගැති ව්‍යාපාරයක් නොවෙයි. 18 වන සංශෝධනය බලාත්මක වී රට ඒකාධිපති පාලනයකට යට වෙමින් තිබුණු අවස්ථාවක ගෞරවනීය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් විසින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය බිහි කළේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මූලික මිනිස් අයිතීන් සුරැකෙන යහ සමාජයක් බිහි කිරීම සඳහායි.
රටේ ජාතික ආගමික සහ සමාජයීය ප්‍රශ්න වෙනුවෙන් අපි නිර්භයව අදහස් ප්‍රකාශ කරනවා. බලයේ සිටින ඕනෑම රජයක් හෝ නායකත්වයක් විසින් සිදු කෙරෙන නිවැරදි දෙය අගය කිරීමටත්, වැරදි තීරණ ගත් විට එම තීරණ විවේචනය කිරීමටත් අපි නිර්භයව කටයුතු කරනවා.
අප සංගමය ලෝකයේ බොහෝ රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින් සමඟ නිරතුරුව සම්බන්ධකම් පවත්වනවා. මෙහිදී විදේශ ගතව සිටින ශ්‍රී ලාංකික විද්වතුන්ගේ අදහස් සහ යෝජනා ද අපිට ලැබෙනවා. අද වන විට "Zoom" සාකච්ඡා 96ක් පවත්වා තිබෙනවා. එම සාකච්ඡා ඇසුරු කර ගනිමින් රටට බලපාන විෂයයන් සම්බන්ධව වැදගත් ප්‍රකාශන නිකුත් කර තිබෙනවා. ඒවා අපගේ මුහුණු පොතෙන් www.sadharana.org යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.
ආර්ථිකය, අධ්‍යාපනය, කෘෂිකර්මය ධීවර කර්මාන්තය, මැතිවරණ ක්‍රමය නව ව්‍යවස්ථාව සහ විශේෂයෙන් රට ගොඩනැගීම සඳහා "අවම පොදු වැඩ පිළිවෙළ" යෝජනාවලිය ආදී වැදගත් කරුණු සඳහා පොදු එකඟත්වයක් ඇති කරලීමට අපට හැකි වුණා.
අද අප මුහුණ පා සිටින්නේ මෙරට ඉතිහාසයේ කිසිදා සිදු නොවූ ජාතික අර්බුද රැසකටයි. ශ්‍රී ලංකාව බංකොලොත් රටක් වශයෙන් දැනටමත් අන්තර්ජාතිකව නම් වී තිබෙනවා. ආර්ථිකය මුළුමනින්ම විනාශ වීතිබෙනවා. විදුලි කප්පාදුව, අධික ජීවන වියදම සහ මන්දපෝෂණය වර්ධනය වෙමින් පවතිනවා.
මේ ප්‍රශ්න විසඳා ගත හැක්කේ රට අභ්‍යන්තරයේ ජාතික එකඟතාවයක් ඇති කර ගත හොත් පමණයි. අවාසනාවකට ව ජාතික එකඟතාවය තවමත් ඇති වී නැහැ. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් සහ ගමනාගමන දුර්වලතා ආදී බොහෝ ගැටලු සඳහා රජය විසඳුම් ලබාදීමට ක්‍රියා කිරීම අපි අගය කරනවා.
ජාතික ව්‍යාපාරයක් වශයෙන් අපි සෑම විටම යෝජනා කළේ දේශපාලන භේදයෙන් තොරව සියලුම ජාතික නායකයන් එක්ව පාර්ලිමේන්තුවෙන් විසඳුමක් ගෙන එන ලෙසයි. එවිට ජනතාව මුළු පාර්ලිමේන්තුවටම චෝදනා කරන්නේ නැහැ. එවිට දේශපාලන නායකයන්ගේ පූර්ණ සහභාගිත්වයෙන් සහ ජනතාවගේ ආශිර්වාදයෙන් වාද-භේදවලින් තොරව අප රට නැවතත් ගොඩ නැගිය හැකියි.
පැය 24 ම විදුලිය ලබා දීමත්, අඛණ්ඩව ඉන්ධන සැපයුමත්, ඇති කර ගත හොත් රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් වනු නියතයි. එවිට කර්මාන්ත සහ අපනයන ශීඝ්‍රයෙන් ඉහළ යාවි. සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වේවි. යුරෝපියානු සීත සෘතුවේ දී අපට සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවිය හැකියි.
ඊට පසු සිදු විය යුත්තේ කෘෂිකර්මය දියුණු කිරීමයි. ඊට අවශ්‍ය බීජ, පොහොර සහ කෘමි නාශක සාධාරණ මිලකට ගොවියාට ලබා දුන හොත්, අපට වාර්තා ගත වන මහ කන්නයක් බලාපොරොත්තු විය හැකි බව කෘෂිකර්ම විද්වතුන් දැනටමත් අපට පෙන්වා දී තිබෙනවා.
මේ දිනවල සිදු වන වෘත්තීය සමිති සහ ශිෂ්‍ය නායකයන් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අවභාවිතා කිරීම පිළිබඳවත්, අපගේ විරෝධය පළ කර තිබෙනවා. එසේ නම් වහා සිදු විය යුත්තේ රට, ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගේ ආශිර්වාදයෙන් අවුරුද්දක් සමගියෙන් වැඩ කර රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමයි.
එමෙන්ම 19 වැනි සංශෝධනය ඒ අයුරින්ම බලාත්මක කර ප්‍රජාතන්ත්‍රවාදය සහ මිනිස් අයිතිවාසිකම් රැකදීමයි. අපගේ මෙම ආයාචනය මහජන නියෝජිතයින් වෙත යොමු කරනවා. ඉන්පසු පුරවැසියන්ට තමන්ට කැමති නායකයෙක් දේශපාලන පක්ෂයක් සහ තම ප්‍රදේශය නියෝජනය කිරීමට මන්ත්‍රීවරයකු තෝරා ගත හැකියි. මේ ඉල්ලීම අප කරන්නේ අනාගත පරපුර වෙනුවෙනුයි.