රට යළි ගිනි තැබීමට අන්තවාදීන්ට ඉඩ නොතබනු

ජාතික-ආගමික සමගිය වෙනුවෙන් පෙරට එනු සියලු දේශපාලන නායකයින් ප්‍රතිපත්තිමය එකඟතාවයකට ආ යුතුයි අනාගත පරපුරට ද්‍රෝහී වනු බැහැ රට යළි ගිනි තැබීමට අන්තවාදීන්ට ඉඩ නොතබා ජාතික සහ ආගමික සමගිය සේම සහෝදරත්වය…
ජාතික-ආගමික සමගිය වෙනුවෙන් පෙරට එනු
සියලු දේශපාලන නායකයින් ප්‍රතිපත්තිමය එකඟතාවයකට ආ යුතුයි
අනාගත පරපුරට ද්‍රෝහී වනු බැහැ
රට යළි ගිනි තැබීමට අන්තවාදීන්ට ඉඩ නොතබා ජාතික සහ ආගමික සමගිය සේම සහෝදරත්වය ගොඩ නැගීම සඳහා සියලු පුරවැසියන් වහාම පෙරට ආ යුතු කාලය එළැඹ ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.
දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේ, ජාතික, ආගමික සහ ජාතික සංහිඳියාව සඳහා වන මොණරාගල දිස්ත්‍රික් සමුළුවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.
ඌව පළාතේ සම්භාවනීය ජන කොටසක් හමුවීමට අවස්ථාව ලැබීම ගැන අපි ඉත සිතින් සතුටු වනවා. අපට මේ හමුව ඉතා වැදගත් වනවා. ඔබගේ ආදි මුතුන් මිත්තන් මේ රට විදේශ ආධිපත්‍යයෙන් මුදා ගැනීම සඳහා සිය ජීවිත පරිත්‍යාග කළා.
ඔවුන්ගේ ලේ මේ භූමියේ පතිත කළා. ඒ නිසා ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි එම විරුවන්ට හිස නමා ආචාර කරනවා.
දැන්වීම
අපි නිදහස ලබා ගෙන අවුරුදු හැත්තෑ තුනක් වෙනවා. එදා අපි නිදහස ලබන විට සිටි තත්ත්වයත්, අද වන විට පවතින තත්වයත්, සසඳා බලන විට අපට සතුටු විය හැකිද..? අපට පසු නිදහස ලබා ගත් රටවල් අපට වඩා ගව් ගණනක් ඉස්සරහට ගොස් තිබෙනවා.
මෙම කාලයේ දී රටේ ඇති වූ ජාති, ආගම් සහ දේශපාලන භේද වගේම කුමන්ත්‍රණ, තරුණ අසහනය සහ ත්‍රස්තවාදයට මුහුණ දීමට සිදු වීම නිසා රටේ ඉදිරි ගමනට විශාල බාධාවක් ඇති වුණා. අපි ඒ ගැන ඇඟිල්ල දිගු කර එක් පුද්ගලයෙකුට හෝ පාර්ශ්වයකට දොස් පැවරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. එසේ කිරීම ඵල රහිතයි.
අනෙක් කණගාටුවට කරුණ වනුයේ දේශය වෙනුවෙන් ඔබගේ ආදි පරපුර ජීවිත පරිත්‍යාග කළත්, ඌව පළාත ශ්‍රී ලංකාවේ දියුණුවෙන් අඩුම පළාත වීමයි. අපි අද මෙහි පැමිණියේ අතීතයේ වැරදි වටහා ගෙන අවශ්‍ය පිළියම් යොදා නව ජාතික සහ ආගමික එකමුතුවක් මගින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී, විනය ගරුක, නිදහස්, නිවහල්, යුක්තිය සාධාරණය රජයන, සමෘද්ධිමත් නව සමාජයක් බිහි කිරීමේ අරමුණින් බව කිව යුතුයි. අපගේ දේශපාලන ගැතිකම් කිසිවක් නැහැ . ජාතිවාදී අදහස්වලට අප නැඹුරු වී නැහැ.
සියලුම ආගම් දේශනා කරන්නේ දැහැමි සාමකාමී සමාජයක් බිහි කර ගන්න කියලයි. එසේ වුව හොත් අපට යහ සමාජයක් බිහි කරන්න පුළුවන් වනවා. අපි ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් ආගමික නායකත්වයෙන් සහ එම ප්‍රදේශවල ජන නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අපගේ මෙම උතුම් පරමාර්ථය ඉටු කර ගැනීමට ආශිර්වාද කරන ලෙසයි.
අද රැස්වීම සඳහා ආදිවාසී නියෝජනය අපිට ශක්තියක්. ආදිවාසී නායකතුමන් පරිසරය ගැන දක්වන කැපවීම සහ උනන්දුව අපි අගය කරනවා. ඔවුන්ගේ අයිතිවාසිකම් ද අප විසින් සුරක්ෂිත කිරීමට කටයුතු කරනවා.
ලෝකය වගේම අප රටත් අද විශාල අභියෝගවලට මුහුණ දෙනවා. කොවිඩ් වසංගතය සේම ආර්ථික බිඳ වැටීම නිසා අපේ රටත්, පුරවැසියනුත්, විශාල අසරණ තත්ත්වයකට පත්ව තිබෙනවා. එසේ නම් අපට තවත් රට පරිහානියට පත් වෙන්න ඉඩ දෙන්න බැහැ. එවිට රට නැවතත් මහා විනාශයකට පත් වනවා. එමගින් අප කරන්නේ ඊළඟ පරපුරට ද්‍රෝහීකමක්.
කරුණු මෙසේ තිබියදී, ජාති සහ ආගම් භේද ඇති කිරීම සඳහා ඉතා සුළු පිරිසක් උත්සාහ කරනවා. ජාතික නායකයින්ට සහ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට අපි ආයාචනා කර සිටින්නේ රට නැවතත් ගිණි ගැනීමට ඉඩ නොදී ජාතික සහ ආගමික සමගිය සේම සහෝදරත්වය ගොඩ නගන ලෙසයි.
දේශපාලනය මැතිවරණය කාලයට සීමා කරමු..! අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදා ගැනීමට සියලුම දේශපාලන නායකයින් ප්‍රතිපත්තිමය එකඟත්වයකට පැමිණිය යුතු කාලය එළැඹ තිබෙනවා. ලෝකයේ විනාශ වූ රටවල් ශක්තිමත් රාජ්‍යයන් බවට පත් වූයේ ඒ ඇති කර ගත් එකගත්වය සහ සමගිය හේතුවෙනුයි. එමෙන්ම අපට ලෝකයේ තනි වෙන්නට බැහැ. අන්තර්ජාතික විශ්වාසය සහ ගෞරවය අප උපයා ගත යුතුයි.
ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන මිනිස් නීතියේ ආධිපත්‍ය රැකෙන, මිනිස් අයිතිවාසිකම් රකින, රටකට සංචාරකයින් සහ ආයෝජකයින් පෙළගැසී පැමිණේවි. රජයෙන් ද අප ඉල්ලා සිටින්නේ මිත්‍රත්වයේ හස්තය සියලුම පුරවැසියන්ට දිගු කරන ලෙසයි. අප මෙම ආයාචනය කරන්නේ ඉතාමත්ම සද්භාවයෙනුයි. මෙම කරුණු බලධාරීන්ගේ අවධානයට යොමු වේවායි ඉත සිතින් පතනවා..!