රට බේර ගන්න පරක්කු නැහැ-වෛරයෙන් තොරව පෙරට එනු

පළි ගනිමින් සිටියොත් රටත් ජනතාවත් ඉවරයි සියලු දේශපාලන සහ සිවිල් බලවේග ඒකරාශී කරනු රටටයි-ජනතාවටයි අවංක වෙනු අවුරුදු 10 ට වැඩි ලක්ෂ 150 ට දෙසැම්බර් 31 ට පෙර එන්නත දිය යුතුයි ඊට අවශ්‍ය ඩොලර් මිලියන 500…
පළි ගනිමින් සිටියොත් රටත් ජනතාවත් ඉවරයි
සියලු දේශපාලන සහ සිවිල් බලවේග ඒකරාශී කරනු
රටටයි-ජනතාවටයි අවංක වෙනු
අවුරුදු 10 ට වැඩි ලක්ෂ 150 ට දෙසැම්බර් 31 ට පෙර එන්නත දිය යුතුයි
ඊට අවශ්‍ය ඩොලර් මිලියන 500 හොයා ගන්න පුළුවන්..!
රටින් පැන ගිහින් බැසිල් කළේ ජනතාවට නිග්‍රහයක්
වගකීම් පැහැර හැර බැසිල් රට පැනීම ගැන රජය උත්තර දිය යුතුයි
ජනාධිපතිවරයා ප්‍රධාන රජය සිය දේශපාලන වෛරය, ක්‍රෝධය සහ ද්වේශය අත හැර සියලු පාර්ශවයන් සමග අවංකවම එකට අත්වැල් බැඳ ගන්නේ නම් මාරාන්තික COVID-19 වසංගතයෙන් රටත් ජනතාවත් බේරා ගැනීමට හැකි වනු ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.
එසේ සියලු පාර්ශවයන් සමඟ රට වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමින් මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර රටේ වයස අවුරුදු 10 ට වැඩි ලක්ෂ 150ක් වන සෑම පුරවැසියෙකුටම එන්නත ලබා දෙන්නේ නම් රටත් ජනතාවත් බේරා ගැනීමට හැකි වනු ඇතැයි පෙන්වා දුන් කරු ජයසූරිය මහතා එසේ නොවුණ හොත් රටේත් ජනතාවගේත් ඉරණම භයානක වනු ඇතැයි ද අනතුරු ඇඟවීය.
දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී සඳුදා (17) සංවිධායනය කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
දැන්වීම
කොවිඩ් වසංගතය හමුවේ රට දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින මෙවැනි අවස්ථාවක වෛරයෙන් සහ පළි ගැනීමේ දේශපාලනයෙන් බැහැර වී සියලු දෙනා එක්සත් විය යුතුයි. අද රට මුහුණ දෙමින් සිටින්නේ දැවැන්ත අර්බුදයකටයි. එහිදී රටේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන සියලුම බලවේග සමගි සම්පන්නව සහ එක්සත්ව, අත්වැල් බැඳ ගනිමින් මෙම අර්බුදය ජය ගැනීම සඳහා පෙරට ආ යුතුයි. එහිදී මේ රටේ සියලුම දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධානවලට ඇත්තේ අති මහත් වූ වගකීමක් බව කිව යුතුයි.
ඒ අනුව සැලකීමේදී ගෙවුණු සතියේ අප සියලුම දෙනාට යම් හෝ බලාපොරොත්තුවක් ඇති කර ගත හැකි වාතාවරණයක් නිර්මාණය වූ බව දැක ගත හැකි වුණා. කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා රජය අවංකවම එවැනි ක්‍රියාවළියකට ප්‍රවේශ වන්නේ නම් ඒ සඳහා සිය උපරිම සහාය දෙන බවට බොහෝ පාර්ශවයන් ප්‍රසිද්ධියේම අදහස් පළ කරනු අපට අසන්නට ලැබුණා. දේශපාලන පක්ෂ ගණනාවකම නායකයන්ද, සිවිල් සමාජ සංවිධාන ගණනාවක්ද ඒ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා. ඒ වගේම එවැනි උතුම් කාර්යයක් සඳහා පෙළ ගැසෙන්නේ නම් මහා සංඝ රත්නය ඇතුළු සියලුම ආගමික නායකයන් ද ඊට සිය ආශිර්වාදය පළ කරන බව දන්වා තිබුණා. ඒ ඉතාමත්ම සාධනීයවූ ද, රට වෙනුවෙන් සුබ වාදී බලාපොරොත්තු ඇති කර වන්නාවූ ද තත්ත්වයක් බව පැහැදිලියි. මේ රටේ ජනතාවද ඒ කෙරෙහි විශාල වශයෙන් බලාපොරොත්තු සහගතව සිටියා.
රටේ එවැනි පරිසරයක් නිර්මාණය වන්නේ ඉතාමත්ම කලාතුරකිනුයි. එවැනි අවස්ථාවක ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ සිය මිත්‍රත්වයේ හස්තය ඒ සියලු කොටස් වෙත දිගු කිරීමයි. ඒ සියලු දෙනාම ඒකාබද්ධ කර ගනිමින් මෙම කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීම සඳහා සුදුසුම වැඩ පිළිවෙළක් සැකසීමයි. ඒ සඳහා තවමත් ප්‍රමාද නැහැ.
එවැනි අවංක උත්සාහයක් ගන්නේ නම් ඒ සඳහා නිශ්චිත සැලැස්මක් සහ වැඩ පිළිවෙළක් සහිතව ඊට යොමු විය යුතුව තිබෙනවා. එවැන්නකින් පමණක් මෙම අර්බුදය ජය ගත හැකි වනු ඇතැයි අපගේ ද ඒකායන විශ්වාසයයි. එම ක්‍රියාන්විතයේදී නියත වශයෙන්ම සපුරා ගත යුතුව ඇති ඉලක්ක ගණනාවක්ම තිබෙනවා.
ඒ අතරින් පළමු වැන්න විය යුත්තේ මෙම වසරේ දෙසැම්බර් 31 වන දිනට පෙර මේ රටේ වයස අවුරුදු 10 ට වැඩි සෑම පුරවැසියෙකුටම එන්නත් ලබා දීමයි. ඒ සඳහා මේ රටේ මිලියන 15ක පමණ ජනතාවකට එන්නත් ලබා දීමට රටක් ලෙස අප සැලසුම් කළ යුතුව තිබෙනවා.
ආණ්ඩුව වෙත අප මෙම යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන්නේ සෞඛ්‍ය සේවයේ ද, ජාත්‍යන්තරය පිළිගත් විද්වතුන්ගේ ද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද, තානාපතිවරුන්ගේ ද, ලෝකයේ විවිධ රටවල අපට හිතවත් දේශපාලනඥයින්ගේ සහ කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දුන් රටවල පිළි ගත් විද්‍යාඥයන්ගේ ද ස්ථාවරයට අනුවයි.
මෙම ඉලක්කය අපට සපුරා ගත හැකිද..? ඒ පිළිබඳව අවධානය යොමු කරන දේශීය සහ විදේශීය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීණයන් බොහෝ දෙනෙකුම එහිදී අවධාරණය කරන්නේ රටක් ලෙස අප බාහිර ලෝකය සමග බුද්ධිමත් ආකාරයට හොඳ හිතින් කටයුතු කරන්නේ නම් එම ඉලක්කය වෙත යාම කිසිසේත්ම අපහසු නොවන බවයි. අපගේ අත්දැකීම් අනුව ද ඒ කතාව අත්තක් බව කිව යුතුයි. ඒ සඳහා රජය පෙරට ආ යුතුව තිබෙනවා. නම්‍යශීලි විය යුතුව තිබෙනවා.
එවැනි ක්‍රියාන්විතයකදී අප ප්‍රථමයෙන්ම සපුරා ගත යුතුව ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 30 කි. වාර්තා වන ආකාරයට ඉරිදා (16) වන විට අප සතුව ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය 1765000කි. එනම් ස්පුට්නික් එන්නත් මාත්‍රා 15000ක්, සයිනොෆාම් එන්නත් මාත්‍රා 500000ක් සහ කොවැක් ප්‍රදානයන් යටතේ ලැබුණ තවත් එන්නත් මාත්‍රා 250000ක් වශයෙනුයි.
එමෙන්ම වාර්තා වන ආකාරයට ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා මිලියන 1.1 සහ ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13 ක් ඉදිරියේදී අපට ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව සයිනෝෆාම් එන්නත් මාත්‍රා තොගයක් ද ඉදිරියේදී අපට ලැබීමට නියමිතව තිබෙනවා. එමෙන්ම චීන සමාගමක් විසින් එන්නත් නිෂ්පාදනය කරනු ලබන ඒකකයක් ලබන මස මහනුවරදී ආරම්භ කිරීමටද සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව අපගේ ඉලක්කයට අනුව අවුරුදු 10 ට වැඩි සෑම පුරවැසියෙකුටම එන්නත් ලබාදීමට නම් තවත් එන්නත් මාත්‍රා 28,235,000ක අවශ්‍යතාවයක් අප විසින් සපුරා ගත යුතුව තිබෙනවා. මෙම සංඛ්‍යා ලේඛනවල සුළු වෙනස්කම් ඇතිවිය හැකියි. මේ සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට අපට හැකියාවක් තිබෙනවා. අවශ්‍ය වන්නේ නිසි සැලසුමක් සහ ඒ සඳහා වන මනා කළමනාකාරීත්වයක් පමණයි. විදේශීය ප්‍රදාන, දායක ආධාර සහ විදේශයන්ගෙන් ඒ සඳහාම ගත හැකි ණය මුදල් ද වශයෙන් එම කටයුතු සැලසුම් කර ගත යුතුව තිබෙනවා. එමෙන්ම ඊට අමතරව සමස්ත රට වැසි ජනතාවගෙන් ද ඒ සඳහා සහාය ලබා ගත හැකියි. විශේෂයෙන්ම රටේ ප්‍රමුඛ ව්‍යාපාරික සහ වාණිජ ප්‍රජාවන්ද ඒ සඳහා සම්බන්ධ කර ගත හැකියි.
අප දන්නා ආකාරයට බැංකු, රක්ෂණ සහ සන්නිවේදන සමාගම් ද ඇතුළුව විශාල ව්‍යාපාරික සමාගම් උපයා ඇති විශාලතම ලාභය ලබා ඇත්තේ මේ වසරේදීයි. රට මේ ආකාරයේ ජාතික ව්‍යසනයකට මුහුණ දී ඇති අවස්ථාවක එවැනි ආයතන සිය යුතුකම් සහ වගකීම් ඉටු කිරීම සඳහා පොළඹවා ගත හැකි වනු ඇතැයි අප සිතනවා. ඒ අනුව අපගේ ඉලක්ක සපුරා ගැනීම සඳහා අපට අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් මිලියන 500 පමණ අරමුදල් ප්‍රමාණය අපට සපුරා ගත හැකි වනු නියතයි.
මේ ඉලක්ක සපුරා ගැනීම සඳහා අපට රටක් ලෙස යොමු විය යුතු තවත් අතුරු මාර්ග ද තිබෙනවා. සමහර එන්නත් රටේම නිෂ්පාදනය කිරීම සඳහා දැනටමත් ඉදිරිපත් වී ඇති යෝජනාවද එවැන්නක් ලෙස හැඳින් විය හැකියි. එමෙන්ම පෞද්ගලික රෝහල් හරහා එන්නත් ලබා දීම ද තවත් එක් ප්‍රතිකර්මයක් වනවා. රුසියානු ස්පුට්නික් එන්නත "රෙක්වික් ලැබ්" නමැති පෞද්ගලික ආයතනයක් හරහා ඉන්දියාවේ පුද්ගලික රෝහල් වෙත ලබාදීමට එරට අග්‍රමාත්‍ය නරේද්‍ර මෝදි රජය ගත් තීරණයද මෙහිදී වැදගත් වනවා.
එවැනි තීරණයන්ට සහ ක්‍රියාමාර්ගයන්ට යොමු වීමේදී රටක් ලෙස අප ජාතික වශයෙන් ගත යුතු තීන්දු සහ තීරණ කිහිපයක්ම ඇති හෙයින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ එකඟත්වයක් ලබා ගැනීම ද අත්‍යාවශ්‍යයි. එම කාර්යය සාර්ථක කර ගැනීමට නම් සියලු දේශපාලන සහ සිවිල් බලවේග ඒ සඳහා දායක කර ගත යුතුයි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය එවැනි උත්සාහයක් සඳහා පූර්ණ ආශිර්වාදය පළ කරන බව මෙහිදී ප්‍රථමයෙන්ම අවධාරණය කර සිටිනවා. ඒ අපගේ බලවත් අපේක්ෂාවයි. එවැනි ජාතික වගකීමකදී ආණ්ඩු පක්ෂයට කෙතරම් බලයක් සහ ශක්තියක් තිබුණද විපක්ෂයේ දේශපාලන බලවේගන් සහ රටේ සමස්ත ජනතාවගේ සහාය ඒ සඳහා ලබා නොගන්නේ නම් එවැනි ක්‍රියාමාර්ගයකට යොමු වීම අතිශය දුෂ්කර විය හැකියි.
එහිදී බොහෝ පාර්ශ්ව විමසා සිටින්නේ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම මගින් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම හේතුවෙන් උඩඟුභාවයට පත්ව ඇති පාලකයන්ගෙන් සමන්විත ආණ්ඩුවකින් එවැන්නක් අපේක්ෂා කළ හැකිද යන්න පිළිබඳවයි. සර්ව පාර්ශ්වික එකඟතාවයකට යොමු වීම සඳහා විපක්ෂයට අවශ්‍යතාවයක් තිබේ නම් ඒ බව ලිඛිතව දැනුම් දෙන ලෙස ආණ්ඩුවේ ප්‍රබලම නායකයෙක් සිදු කර ඇති ප්‍රකාශය සැලකීමේදී ද පෙර කී සැක සංකාවන් හි සාධාරණත්වයක් ඇති බව පැහැදිලි වනවා.
හිටපු කතා නායකවරයා ලෙස අප විසින් 2020 වසරේ දී යෝජනා කළ පරිදි මාර්තු සහ අප්‍රේල් මාසයන්හි දී ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළු දෙකක් පවත් වනු ලැබුවා. මෙම රැස්වීම් සඳහා ගරු ජනාධිපතිතුමා සහභාගි නොවීම හේතුවෙන් එහිදී තීරණ ගැනීමට අපහසු වූ නිසා එම රැස්වීම් දෙකම අසාර්ථක වුණා.
එමෙන්ම එදා රජයේ උත්සාහය වූයේ කොරෝනා වසංගතය පැතිරීම නැවැත් වීම මිස වසංගතය හමුවේ ක්‍රියාත්මක කළ හැකි දීර්ඝ සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම නොවේ. ඒ අනුව අද අප යෝජනා කරනුයේ මුළු එන්නත් කිරීමේ වැඩසටහනකුයි. මෙවැනි ජාතික ව්‍යසනයකදී ඊට සාර්ථකව මුහුණ දී රට ජයග්‍රහණය කරවීමට නම් රටේ සියලු පාර්ශ්වයන්ගේ එකඟත්වය සහ සහභාගීත්වය ඒ සඳහා ලබා ගත යුතුව ඇති බව සියල්ලන්ම තේරුම් ගත යුතුව තිබෙනවා.
ඉන්දියාව ජාතික වශයෙන් මුහුණ දී ඇති මේ ආකාරයේම අර්බුදයේදී ඊට සාර්ථකව මුහුණ දීමට නම් එරට විපක්ෂයේද සහාය අවශ්‍ය බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා ඉතා නිවැරදිව තේරුම් ගෙන ඒ සඳහා විපක්ෂයට ආරාධනා කර ඇත්තේ ඒ නිසායි. රටක් ලෙස අප ද එකී වගකීම තේරුම් ගත යුතුය. එබැවින් ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයද ඒ පිළිබඳව වන සිය ස්ථාවරය රට හමුවේ පැහැදිලි කළ යුතුයි. එහිදී සංවිධානයක් ලෙස අප විමසා සිටින ප්‍රධාන කරුණු 3ක් තිබෙනවා.
(01) රට මුහුණ දී ඇති මෙම බිහිසුණු වසංගතය පරාජය කිරීම සඳහා රජය විපක්ෂයේ සහ සිවිල් සමාජ සංවිධානයන්හි සහාය අපේක්ෂා කරන්නේද..?
රජය ඊට ලබා දෙන පිළිතුර "ඔව්" යන්න නම් හෝ එවැනි ඒකාබද්ධ යාන්ත්‍රණයක් හරහා මෙම අභියෝගය ජය ගැනීම සඳහා රජය සූදානම් වන්නේ නම් එවැනි ක්‍රියාමාර්ගයකට බාධා විය හැකි පටු දේශපාලන උපාය මාර්ග වෙනස් කර ගැනීමට රජය අවංක විය යුතුයි. ප්‍රායෝගිකවම ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි. ඒ අනුව අප අතර පවතින දෙවන සහ තුන්වන ප්‍රශ්නයන්ට ද රජය ලබාදෙන පිළිතුර ඉතා වැදගත් වනවා.
(02) දේශපාලන පළි ගැනීම් පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ ඊනියා නිර්දේශ සහ යෝජනා පදනම් කර ගනිමින් පසුගියදා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව ඉදිරියේදී සම්මත කර ගන්නේද..? ඒ මගින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට බරපතළ විනාශයක් ඇති කරලිය හැකි පිළිවෙතකට රජය තවදුරටත් යොමු වන්නේ ද..?
(03) පටු දේශපාලන අරමුණු මත විවිධ චෝදනා ඉදිරිපත් කරමින් බන්ධනාගාරවල දීර්ඝ කාලයක් තිස්සේ රඳවා ගෙන සිටින එහෙත් මේ දක්වාම අධිකරණය හමුවේ පැහැදිලි ලෙස චෝදනා ගොනු කිරීමක් සිදු කර නැති දේශපාලඥයන්, රජයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් වැනි දේශපාලන සිරකරුවන් සාධාරණත්වයේ සහ මනුෂ්‍යත්වයේ නාමයෙන් මුදා හරින්නේ ද..? එමෙන්ම රජය භාරයේ සිටී සිරකරුවන් ඝාතනය කිරීම හේතුවෙන් මේ අවස්ථාවේ විශාල අපකීර්තියක් සිදු වූ බවද රජය විසින් වටහා ගත යුතුයි.
මේ පිළිබඳව ගරු ජනාධිපතිතුමා ඉතාමත්ම ඉක්මනින් ඍජු පිළිතුරක් ලබා දිය යුතුව තිබෙනවා. ඔහු එසේ කළ යුතු වන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොවේ. ජාතික වශයෙන් වැදගත් වන්නා වූ ප්‍රමුඛ කරුණකදී සියලු බලවේග ඒකරාශී කර ගැනීමට නම් දේශපාලන පටු අරමුණුවලින් බැහැර වී කටයුතු කළ යුතුව ඇති නිසයි.
එබැවින් ඒ පිළිබඳව රජය බලවත් ලෙස අවධානය යොමු කොට ස්ථීරසාර ප්‍රතිඥාවක් ලබා දෙමින් නොපමාව ඒ බව තහවුරු කළ යුතුව තිබෙනවා. එමෙන්ම අප මේ මොහොතේ ජාතියේ නාමයෙන් ඉතාමත්ම වගකීමකින් යුතුව රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම වසංගත රෝග තත්ත්වය හමුවේ රට බරපතළ ව්‍යසනයකට යොමු වී පවතිද්දී ජාතික වශයෙන් වැදගත් වන්නා වූ තීන්දු තීරණ ගැනීමේදී ජනතාවගෙන් ලබා ගත් බලය අත්තනෝමතික ලෙස යොදා නොගන්නා ලෙසයි.
වරාය නගරය පිළිබඳ පාර්ලිමේන්තුවේ ඇති විවාදය තවදුරටත් මේ මොහොතේ නොපවත් වන ලෙස කරන ලද ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කළ ආකාරය අප කිසිසේත්ම පිළිගන්නේ නැහැ. එහිදී සමස්ත විපක්ෂය ඉදිරිපත් කළ ඉල්ලීම අතිශයින්ම යුක්ති සහගත වන බව අපගේද පිළි ගැනීමයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදායන් අනුව කටයුතු කරන්නේ නම් එම ඉල්ලීමටද රජය ඇහුම්කන් දිය යුතුව තිබුණා.
වරාය නගරය දියුණු කිරීමට සහ නෛතික වශයෙන් එම ව්‍යාපෘතිය බලගැන්වීම රටට ඉතාමත්ම හිතකරයි. එහෙත් ඒ සඳහා පනවන නීති සහ විශේෂ විදිවිධාන මගින් රටේ ස්වෛරීභාවයට කිසිදු හානියක් සිදු නොකළ යුතුයි. රටේ විපක්ෂය නියෝජනය කරන සියලුම දේශපාලන බලවේග පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමින් ඉල්ලා සිටින්නේ ඒ සඳහා වන රජයේ අපේක්ෂාවන් සහ ක්‍රියාමාර්ග තවදුරටත් පැහැදිලි කර ගත යුතුව ඇති බවයි. එම ඉල්ලීම ඉතාමත්ම සාධාරණ සහ යුක්ති සහගතයි. සිවිල් සංවිධානයක් ලෙස අපද සිටින්නේ එවැනිම වූ ස්ථාවරයකයි. පුද්ගලික අංශයේ දීර්ඝ කාලයක් කටයුතු කරමින් පළපුරුද්දක් සහ අත්දැකීම් ලබා ඇති අප වැනි අය වරාය නගරය ආශ්‍රයෙන් රටට ලබා ගත හැකි විදේශ ආයෝජනයන් හි ඇති වටිනාකම හොඳින්ම තේරුම් ගෙන සිටිනවා.
අපද හොඳින්ම දන්නා ආකාරයට මහා ජන චීන ජන රජය සේම යුරෝපයේ, ජපානයේ සහ ඇමරිකාවේද මහා පරිමාණ ආයෝජකයන් එම වරාය නගරය ආශ්‍රයෙන් ආයෝජනය කිරීම සඳහා ඇති ඔවුන්ගේ උනන්දුව අප රට වෙත දන්වා තිබුණා. එහෙත් රජය මෙම පනත් කෙටුම්පත ගෙන ඒමේදී ප්‍රදර්ශනය කරමින් සිටින ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙත අනුව ඔවුන් අතර පැවැති එකී උනන්දුව මේ වන විටත් පහව ගොස් ඇති ආකාරයක් දකින්නට තිබෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිතා කරන රටක හෝ නීතියේ ආධිපත්‍යය නොපවතින රටක ව්‍යාපාර පවත්වා ගැනීමට හෝ ඒ සඳහා මුදල් ආයෝජනය කිරීමට පිළි ගත් ආයෝජකයන් ඉදිරිපත් වන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම නිසි ආකාරයට සැලසුම් කළේ නම් හොංකොං, ඩුබායි සහ සිංගප්පූරුව වැනි සාර්ථක ආයෝජන කලාපයක් අපටද වරාය නගරය හරහා නිර්මාණය කර ගත හැකිව තිබූ බව අපගේද විශ්වාසයයි.
මෙම සියලුම කරුණු කාරණාවන්ට අමතරව අපගේද අවදානය යොමු වී ඇති තවත් එක් කරුණක් තිබෙනවා. එනම්, රටේ පැතිරෙන කොරෝනා වසංගතය පාලනය කිරීමේ විශේෂ කාර්ය බලකායද ඇතුළු රටේ ආර්ථිකය භාරව සුවිශාල වගකීමක් ඇති ආයතන ගණනාවකම ප්‍රධානියා වන හිටපු ආමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ මොහොතේ රටෙන් පිටව යෑම අපටද තේරුම් ගත නොහැකියි.
එතුමාට කිසිදු බරපතළ සෞඛ්‍ය ගැටලුවක් නොතිබූ බව පවුලේ සමීප ඥාතීන් විසින්ම ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇති පසුබිමක සෞඛ්‍ය හේතුවක් වැනි සුවිශේෂී තත්ත්වයකදී හැර ඔහු මේ ආකාරයට රටින් පිටව යෑම පිළිබඳව ජනතාව අතර ද මහත් අප්‍රසාදයක් ඇති වී තිබෙන බව කිව යුතුයි. වසංගත උවදුරකට මුහුණ දෙමින් රට ඉතාමත්ම අසීරු තත්ත්වයකට පත්ව ඇති මෙවන් මොහොතක රට වෙනුවෙන් සුවිශේෂී සහ තීරණාත්මක කාර්යභාරයක් පවරා ගෙන හෝ පවරා දී තිබූ පුද්ගලයා මේ ආකාරයට වගකීම් විරහිතව කටයුතු කිරීම ඔහු දරමින් සිටි පදවිවලට සේම රටේ ජනතාවටද කරන ලද නිග්‍රහයක් ලෙස සැලකිය හැකියි.
එතුමා වෙත පවරා දී ඇති කාර්ය භාරය සහ වගකීම් සලකා බැලීමේදී කැබිනට් ආමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සේම ත්‍රිවිධ හමුදාපතිවරුන් ද, පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්ද ඇතුළු විශාල පිරිසක් එතුමා යටතේ පවත්නා ආයතනයන් හි කටයුතු කරමින් සිටින බව පැහැදිලියි. අද රටේ සිදු වන දේවල් අනුව ශ්‍රී ලංකාවේ එසේ වීම ගැන අප පුදුම නොවුණත් ලෝකයේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වන පාලනය ඒකකයක් ගැන අප අසා නැහැ. එවැනි වූ සුවිශේෂී වගකීම් පවරා ඇති අයෙක් රට මෙබදු අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවක රටින් පිටව යෑම ගැන කරුණු පැහැදිලි කිරීම රජයේ යුතුකමක් වනවා.
ඒ කෙසේ නමුත් රටට ආදරය කරන සහ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස අප මෙම කරුණු දැක්වීම් සහ යෝජනා ඉදිරිපත් කරන්නේ ඉතාමත්ම යහපත් වූ චේතනාවකිනුයි. ඒ පිළිබඳව අවදානය යොමු කරවමින් ජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීම රජයේ වගකීමක් වනවා. ඒ කෙසේ වුවත් මෙවැනි අර්බුදයකදී රට වෙනුවෙන් ජනතාව සමග එක්ව කටයුතු කරමින් අප අපගේ අදහස් සහ යෝජනා බෙදා ගන්නේ ඉන් රටට යහපතක් වේ යැයි යන උතුම් අරමුණ ඇතිවයි. මේ පිළිබඳව සියල්ලන්ගේම අවදානය යොමු වේවා යැයි අප ප්‍රාර්ථනා කරනවා.මෙම යෝජනාවලිය සාර්ථක වීමට නම්, එම යෝජනා මෙහෙය වීම සහ මුදල් පාලනය ගරු ජනාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතුයි.