අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට බේරා ගැනීමට මේ උදා වී තිබෙන්නේ අවසන් අවස්ථාවයි..!

රට බේරා ගැනීමට මේ උදා වී තිබෙන්නේ අවසන් අවස්ථාවයි..!

රට බේරා ගෙන නූපන් පරපුරේ ශාපයෙන් ගැල වෙනු සමගියේ සහ මිත්‍රත්වයේ දෑත මුලින් දිගු කළ යුත්තේ ජනාධිපතිවරයා ප්‍රධාන රජයයි දේශපාලන පළි ගැනීම දැන්වත් නතර කරනු රට බේරා ගැනීමට උදා වී තිබෙන අවසන් අවස්ථාව මඟ…

රට බේරා ගෙන නූපන් පරපුරේ ශාපයෙන් ගැල වෙනු 

සමගියේ සහ මිත්‍රත්වයේ දෑත මුලින් දිගු කළ යුත්තේ ජනාධිපතිවරයා ප්‍රධාන රජයයි 

දේශපාලන පළි ගැනීම දැන්වත් නතර කරනු 

රට බේරා ගැනීමට උදා වී තිබෙන අවසන් අවස්ථාව මඟ නොහැර රට වෙනුවෙන් සියලු පාර්ශවයන් සමගි සම්පන්න වී නූපන් පරපුර උදෙසා සෞභාග්‍යමත් රටක් ගොඩ නැගිය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

එසේ නොවුණ හොත් නූපන් පරපුර කවදා හෝ මේ සියලු දෙනාට ශාප කරුනු ඇතැයි අනතුරු ඇඟවූ කරු ජයසූරිය මහතා සමගියේ සහ මිත්‍රත්වයේ දෑත මුලින් දිගු කළ යුත්තේ ජනාධිපතිවරයා ප්‍රධාන රජය යැයි ද සඳහන් කළේය.

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, "යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්" යන තේමාව යටතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ ජාතික-ආගමික සංහිඳියාව සඳහා වන ජාතික ව්‍යාපාරය එකට එක්ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවිධානය කරනු ලැබූ  විශේෂ මහා සමුළුවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

දැන්වීම

පෞරාණික අනුරාධපුර ශුද්ධ භූමියට පැමිණ ප්‍රදේශයේ අති ගෞරවනීය මහා සංඝ රත්නය, කතෝලික, ක්‍රිස්තියානි, හින්දු සහ මුස්ලිම්, ගරු ආගමික නායකයින් බැහැ දැකීමට හැකි වීම අපි ගෞරවයක් සේ සලකනවා. එමෙන්ම අද අප සමග එක් වන ප්‍රදේශයේ වියතුන්, බුද්ධිමතුන්, වෘත්තීයවේදීන්, ගොවි, කම්කරු සහ තරුණ තරුණියන් ඇතුළු සමාජයේ විවිධ කොටස් සමග අදහස් හුව මාරු කර ගැනීමට හැකිවීම අපට ශක්තියක් වනවා.

අති ගෞරවනීය මාදුළුවාවේ සෝභිත නා හිමිපාණන්ගේ මූලිකත්වයෙන් බිහිවුණු "සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය" සහ රට අභ්‍යන්තරයේ ජාති ආගම් භේදයෙන් තොර එක්සත් සමාජයක් බිහි කිරීම සඳහා ගොඩනැගුණු  "ආගමික-ජාතික සංහිඳියාව සඳහා වූ එකමුතුව" එකට එක්ව මෙවැනි සමුළු රට පුරා සංවිධානය කරමින් ඉටු කරනුයේ වැදගත් ජාතික යුතුකමක් සහ වගකීමක් බව කිව යුතුයි.

ඒ වෙනුවෙන්, ජනතා ආශිර්වාදයෙන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ප්‍රදේශවල සංචාරය කරමින් රට අවදි කිරීමට අපි වෙහෙසෙනව. රටේ වර්තමාන තත්ත්වය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. ජනතාව අද සෑම අතින්ම මහත් පීඩනයකට මුහුණ දෙමින් සිටිනවා.

විදේශ මුදල් හිඟකම නිසාත්, රුපියල බාල්දු වීම නිසාත්, මේ අගාධයෙන් මිදීම සඳහා නිසි සැලැස්මක් පාලන තන්ත්‍රය ඉදිරිපත් නොකිරීම නිසාත්, මේ අවාසනාවන්ත තත්ත්වය ඇතිවී තිබෙනවා. අත්‍යාවශ්‍ය ආහාරවල විශාල හිඟයක් පවතිනවා. එමෙන්ම එහි මිල ගණන් කිසිදා නොවූ පරිදි ඉහළ ගොස් තිබෙනවා. කිරිපිටි, ගෑස්, සිමින්ති සහ ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාවට පෝලිම්වල දින ගණන් ගත කිරීමට සිදු වෙලා. බෙහෙත් ද්‍රව්‍යයවල විශාල අඩුවක් තිබෙන අතර ඒ සඳහා ඉහළ මිල ගණන් ගෙවීමට සිදුව තිබෙනවා. මරණයක් සිදු වූ විට එම්බාම් කිරීම සඳහා "ෆෝමලින්" නැහැ. ආදාහනාගාර ක්‍රියා කරවීමට ගෑස් නැහැ. මේ සඳහන් කළේ අපි අසන දකින කරුණුයි.

රටක් මේ ආකාරයට කොයි තරම් දුර යා හැකිද..? මේ ජනතාව අසන ප්‍රශ්නයි. ඊට විසඳුම මොකක්ද..? අප උත්සාහ කරන්නේ රජය අපහසුතාවයට පත් කිරීමට හෝ රජය පෙරළීමට හෝ මහ ජනතාව උසි ගැන්වීමට නොවේ. මුළු රටම එක්ව මේ සඳහා ප්‍රායෝගික විසඳුමක් සෙවිය යුතුයි.

පාර්ලිමේන්තුවේ පක්ෂ එකොළහක් රට ගොඩනැගීමට ඉදිරිපත් කළ යෝජනාවලිය රජය විසින් පිළි ගෙන වට මේස සාකච්ඡාවක් ළඟදීම පැවැත්වීමට කටයුතු කිරීම ගැන අපි අතිශයින් සතුටු වෙනවා. එම උත්සාහය සාර්ථක වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.

මෙහිදී සෑම පාර්ශවයක්ම පටු දේශපාලනයෙන් බැහැර ව එකිනෙකාට අවංකව රට වෙනුවෙන් කැපවිය යුතුයි. අප එකගත්වයට පැමිණිය යුත්තේ ඉදිරියට එන පළාත් පාලන, පළාත් සභා, ජනාධිපතිවරණ හෝ පාර්ලිමේන්තු මැතිවරණය ගැන නොවේ. මේ මොහොතේ අප එක් විය යුත්තේ රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර, බිඳ වැටුණු විදේශ සම්පත් ශක්තිමත් කර රටේ ආර්ථික ස්ථාවර භාවයක් ඇති කිරීමටයි.

මෙහිදී ප්‍රධාන වගකීම පැවරෙන්නේ පවතින රජයටයි. පළමුවෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක සිට සුහදත්වයෙන් මේ පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. 20 වැනි සංශෝධනය බල පවත්නා තෙක් ඒ විශ්වාසය කිසිදා ගොඩනැගිය නොහැකියි. එහෙයින් එම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කොට රජයට තමන්ගේ අවංකභාවය පෙන්විය හැකියි. උපාලි අබේරත්න කොමිසම හරහා විරුද්ධ දේශපාලන මතධාරීන් දඩයම් කිරීම වහා නතර කළ යුතුයි. ස්වාධීන කොමිෂන් සභා නිර්දේශපාලනයට යටත් කළ යුතුයි. මේ මොහොත වන විට මේ ආයතන පූර්ණ දේශපාලනීකරණයට යටත් වී තිබෙනවා.

සියලු පුරවැසියන්ට ආත්ම ගෞරවයෙන් යුතුව ජීවත් වීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් වහාම සම්පාදනය කළ යුතුයි. මෙහිදී ජනාධිපතිතුමා ලබාදුන් පොරොන්දුවල කාලය ඉකුත් වී තිබෙනවා. කල් නොයවා රජයේ යෝජනා මහ ජනතාව වෙත ඉදිරිපත් කර රටේත්, පාර්ලිමේන්තුවේත්, අවධානයට යොමු කළ යුතුයි.

ජාත්‍යන්තරයේ අප මිතුරනට වඩා සතුරන් ඇති කර ගෙන තිබෙනවා. වර්තමානය වැනි ජනතාව පීඩනයට පත්ව ඇති යුගයක අප ලෝකයේ ගෞරවය සහ විශ්වාසය උපයා ගත යුතුව තිබෙනවා. එම විශ්වාසය සහ ගෞරවය රටේ අනාගත සුබ සිද්ධිය උදෙසා අත්‍යවශ්‍යම කරුණක් වනවා. 

රටට වැදගත් වන මේ කරුණු අප පෙන්වා දෙන්නේ යහපත් චේතනාවෙනුයි. විපක්ෂයට ද යම් දේශපාලන කැපවීම් රට වෙනුවෙන් කිරීමට සිදු වනවා. ඔවුනට එම කැප කිරීම කළ හැක්කේ රජය අවංකව කටයුතු කළ හොත් පමණයි. එසේ නොමැතිව විපක්ෂ ප්‍රධානීන්ගෙන් පළි ගනිමින්, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම විනාශ කරමින්, 20 වැනි සංශෝධනයේ බලතල සහ පාර්ලිමේන්තුවේ 3/2 බලය රඳවා ගෙන මහ ජන අයිතිවාසිකම් පාගා දමන්නේ නම්, ජනතා සහයෝගයක් සහ සහජීවනයක් බලාපොරොත්තු විය හැකිද..?

අද අපි අනුරාධපුරයට පැමිණ බලධාරීන්ට සහ සියලු ලක් වැසියන්ට දෙන පණිවිඩය නම්, මේ අවසාන අවස්ථාව වශයෙන් සලකා රට වෙනුවෙන් සමගි වන ලෙසයි. එසේ නොවුණ හොත් නූපන් පරපුර අපට ශාප කරනු නියතයි. මෙහිදී රජයේ ක්‍රියාකාරීත්වය අප ඉතා ඕනෑකමින් බලා සිටිනවා. අවස්ථානුකූලව රට බේරා ගැනීම සඳහා අපගේ පූර්ණ ශක්තිය සහ කැපවීම ජනතාවට ලබා දෙන බව මේ පුණ්‍ය භූමියේ සිට සඳහන් කරන්නට කැමතියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
රට බේරා ගැනීමට මේ උදා වී තිබෙන්නේ අවසන් අවස්ථාවයි..! | Lanka Newsweek