අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට නිවැරදි ලෙස පීලි ගත කළ ජනපති සමග සියලු ජනයා ඒකරාශී විය යුතුයි

රට නිවැරදි ලෙස පීලි ගත කළ ජනපති සමග සියලු ජනයා ඒකරාශී විය යුතුයි

සියලු නායකයින් බියෙන් පළා යද්දී අභියෝගය භාර ගත්තේ ජනපතියි රටේ සහ දූ දරු පරපුරේ අනාගතය ගැන සිතනු මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපය විනාශ කළා ඇත්තටම ඔහු "සර්කර්ස්කාරයෙක්" රවී කරුණානායක අවධාරණය කරයි රට…

සියලු නායකයින් බියෙන් පළා යද්දී අභියෝගය භාර ගත්තේ ජනපතියි

රටේ සහ දූ දරු පරපුරේ අනාගතය ගැන සිතනු  

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපය විනාශ කළා 

ඇත්තටම ඔහු "සර්කර්ස්කාරයෙක්"

රවී කරුණානායක අවධාරණය කරයි 

රට හමුවේ පැවති අභියෝගයට බියෙන් සියලු දේශපාලන නායකයින් පළා යද්දී නොබියව ඒ අභියෝගය භාර ගෙන රට නිවැරදි ලෙස පීලි ගත කර ජනතාව බේරා ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සියලු ජනයා එකට ඒකරාශී විය යුතු යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

ඒ තමාගේ පෞද්ගලික ලාභ පරමාර්ථ සහ අපේක්ෂා වෙනුවෙන් නොව රටේ සහ දූ දරු පරපුරේ අනාගතය වෙනුවෙන් යැයි ද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ, කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

දැන්වීම

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මිනුම් දණ්ඩේ සාර්ථකත්වයක් ඇවිල්ලා තිබෙනවා. ආදායම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් මේ වන විට හොයලා තිබෙනවා. අවශ්‍ය ප්‍රමාණයට ඒ ආදායම ලැබූ පසු ජනතාවට ඉතිරිය ලබා දෙන බවට ජනාධිපතිවරයා පැවසුවා. ඒ ආකාරයෙන්ම සිදු වෙනවා. IMF කියලා තිබෙනවා ඡන්දයක් තියා ගෙන මේ ආකාරයෙන් රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට උත්සාහ කිරීම අගනා කටයුත්තක් බව. ඒ කැපවීම අගනා කැපවීමක් බවත් ඔවුන් ප්‍රකාශ කරලා තිබෙනවා රජයට.

එක්සත් ජාතික පක්ෂය වශයෙන් සියලු පක්ෂත් එක්ක අත්වැල් බැඳ ගෙන සියලු දේශපාලකයොත් එක්ක එකතු වෙලා කටයුතු කරනවා. අපි වෙනස්‌ වන්නේ අනිත් අය වගේ ඡන්ද එන විට ඡන්දයට බය වෙලා වෙව්ල වේවලා එක එක ඒවා කියනවට වඩා එදා සිට කරන්න පුළුවන් දේ අපි ස්ථාපිත කර කටයුතු කිරීම මතයි. නැති නම් අද තිබෙන ස්වරූපය අනුව ඡන්දයක් එනවා කියලා සියලු දේවල් අඩු කර කර බොරු කරන්න ඕන නෑ. තරුණ තරුණියන්ට අපි බොරුව කරන්නේ නැතුව සත්‍ය පහදමින් මේ කටයුතු කරන්නෙ. 

නොයෙක් තැන්වල සුරංගනා කතා කියනවා. කවදාවත් බලයට එන්න බැහැ කියලා කතා කරන අය හැමදේම නිකන් දෙනවා කියලා කතා කරන කට්ටිය ඉන්නවා. මේ දේවල් නිකන් දෙන්නේ කොහොමද..? මේ රට නිකන් කඩා වැටුණේ නැහැ. මෙවැනි කිසි සේත්ම කරන්න බැරි දේවල් ජනතාවට කරනවා කියලයි මේ රටවල් කඩා වැටුණේ. අනවශ්‍ය විදිහට කරන්න බැරි දේවල් සහන ලෙස දෙන්න ගිහිල්ලා. අපි හැම පක්ෂයක් එක්කම එකතු වෙලා නිර්පාක්ෂිකව ජනාධිපතිවරණයට ඉදිරිපත් පත්වෙනවා. සියලු දේශපාලන පක්ෂ එක්කම කතා කරලා හැම දේශපාලන පක්ෂයක් ගැනම අවිශ්වාසයක් තිබෙනවා. ජනතාවට මේ නිසා සියලු දේශපාලන පක්ෂවල හොඳ අය එකතු කර ගෙන අපි නිර්පාක්ෂික ලෙස ජනාධිපතිවරණයට එනවා. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මේ හැම පක්ෂයකින්ම අපේ පක්ෂයට එකතු වෙලා තිබෙනවා කට්ටිය. දෙමළ පක්ෂ මුස්ලිම් පක්ෂ මේ හැමෝම එකතු වෙලා තියෙනවා අපිත් එක්ක. ඒ තුළ තමයි අපි ගමනක් යන්නේ. ජනතාව තුළ විශ්වාස ඇති කරමින් තමයි අපි වැඩ පිළිවෙළ ගෙන යන්නේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා තියෙන දේ ගැන මට දුකයි. එවැනි ඉරණමකට පත් වුණේ ඇයි..? මට පෙනී යන්නේ ඒ පක්ෂය සර්කස් එකක් වගේ. මේ තරම් පරිණත කට්ටියට මෙවැනි සරල මට්ටමකට පක්ෂයේ කඩා වැටුණේ ඇයි කියලා හිතා ගන්න බැරි ඇයි..? හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හැසිරෙන්නේ කිසි දෙයක් නොදන්නා කෙනෙක් විදිහට. මැතිවරණය ළං වෙන කොට නාමල් කුමාර කියලා එක්කෙනෙක් බෝම්බ ගහනවා කිව්වා. පාස්කු බෝම්බය ගැන අවුරුදු පහකට පස්සේ නැගිටලා කියනවා. ඉන්දියාවට කියනවා සාම්පූර් දෙන්න බැහැ කියලා. සාම්පූර් දෙන්න ඕනේ කියලා පස්සේ කියනවා. හොඳට දුවන ආණ්ඩුවක් දින පනස් දෙකකදී ප්‍රශ්නයක් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඔහු නැති කරමින් පවතිනවා. ඒ පක්ෂය ආරක්ෂා කරනවා කියලා ඔහු ඒක නැත්තටම නැති කරලා තිබෙනවා. 

කිසි කෙනෙක් අභියෝග භාර නොගත් වෙලාවේ අභියෝගය භාර ගත් එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහයි. විජයදාස රාජපක්ෂ වගේ පරිණත භාවයක් තිබෙන පුද්ගලයෙක් මෙවැනි දේකට එකඟ වෙයි කියලා මම හිතුවේ නෑ. නමුත් වෙලා තියෙන නිසා තමා මට පුදුමේ. කැබිනට් මණ්ඩලයේ සිටියදීම ඔහු පක්ෂයක නායකයා වනවා.එහි ගැටලුවක් තිබෙනවා. 

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න තව දවස් එකසිය පනහක් විතර තිබෙනවා. ඉතින් අභියෝගය භාර ගත්ත, රට වැටිලා තියෙන වෙලාවේ රට ගොඩගන්න අභියෝගය භාර ගත් රනිල් වික්‍රමසිංහ එක්ක සියලු දෙනා එකතු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් අපි හැම කොනකින්ම ගෙනල්ලා මැයි රැලියට ජනතාව එක් ලක්‍ෂ පනස්දාහක පමණ පිරිසක් සහභාගි කරවන්න බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයක් තිබෙනවා කියන විශ්වාසය අපි ජනතාව තුළ ඇති කරනවා. 

2015 අපි ගෙවල් හදන්න සල්ලි දුන්නා. කොච්චර ගෙවල් හැදුවද කියලා බලන්න පුළුවන්නේ. සජිත් ප්‍රේමදාසලා යම් යම් දේවල් කියනවට වඩා කියලා ඔප්පු කරන එකයි හොඳ. සුරංගනා ලෝකවලට ජනතාව ගෙනියන්න පුළුවන්. ඒවා ප්‍රායෝගික නැහැ. හැමදේම නිකන් දෙන්න යන කොට කොහොමද ඒවා කරන්නේ. රට බංකොලොත් වෙන්නේ අන්න ඒ හින්දයි. ජනතාව ප්‍රශ්න කරන්නේ අවුරුදු 70ක් ඉඳලා උඹලා මොනවද කරලා තියෙන්නේ කියලා. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති සටනට ආවොත් එතුමාට අභියෝගයක් දෙන්න කවුරුවත් නැහැ. අද දේශපාලඥයෝ එපා වෙලා තිබෙන්නේ. එපා වෙච්ච තත්ත්වයක ප්‍රජාතන්ත්‍රවාදී විදිහට රට ගෙනියන්න පුළුවන් අභියෝගයක් භාර ගත්ත පුද්ගලයෝ ඉන්නේ එක්කෙනයි. මොන කයිවාරු ගැහුවත් අභියෝග තිබ්බ වෙලාවේ ගෑස් පෝළින්...කිරි පොලින්...විදුලිය නැහැ...ඩොලර්- පොහොරනැහැ. මාස හය හතක් යන කොට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ ටික නැවත හැදුවා. වැඩ කරන සේවක පිරිස ඒ පිරිසමයි. ඒ පිරිසව කළමනාකරණය කරලා මේ තත්ත්වයට රට ගෙනාවා. 

මිනිස්සු අතර තිබෙනවා හැඟීමක් මෛත්‍රිපාල සිරිසේන මහතා මෙවැනි දේශපාලන හැසිරීමක් කිරීම අසික්කිතයි. විපක්ෂයේ ඉන්න කොට, බලයක් එනවා කියල හිතන්න බැරි කොට ඕන දෙයක් කියන්න පුළුවන්. මම අනුර කුමාර මිත්‍රයාට කියන්නේ ඔහු ඉන්දියාව දුෂ්ඨ රජයක් ලෙස කියලා, ඉන්දියාවට ගිහින් ආවට පස්සේ ඉන්දියාව ඔහුගේ ආදරයට ලක් වුණ රටක් බවට පත්වුණා. ඒ වගේම මම කියන්නේ අපිත් කැමතියි කන බොන මිනිස්සු ඇතිවීම තමයි අවශ්‍ය වන්නේ මිනිස්සුන්ට විවිධ ආකාරයෙන් මඩ ගහන එකට වඩා. 

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ පක්ෂ රටට ආයෝජන ගෙන එනවාට විරුද්ධයි. ඩොලර් ගේන්න එපා කියලා කිව්වා. බිලියන 5ක විතර සංචිතයක් අද ගොඩනගලා තිබෙන්නේ ඒ ගෙන ආ ඩොලර් නැතිව. අද ලක්ෂ දෙකහමාරක තුනක විතර තරුණ පිරිසක් මුහුණ දෙන උසස් පෙළින් එක් ලක්ෂ හැත්තදාහක් සමත් වෙනවා. විශ්ව විද්‍යාලයට පද්ධතියට ගන්න පුළුවන් පනස් පන්දාහයි. එක් ලක්ෂ දහදහකට විශ්ව විද්‍යාල නෑ. ඔවුන්ට විශ්ව විද්‍යාල ඇති කරන කොට ඒවට විරුද්ධ වෙලා බෝඩ් ලෑලි උස්සන එක සාධාරණද..? අපි අන්න ඒ විශ්ව විද්‍යාල නැති ළමයින්ට තමයි විශ්ව විද්‍යාල ඇති කරලා දෙන්නේ. 

ජනතා විමුක්ති පෙරමුණ අලුතෙන් කියන දෙයක් නෙමෙයි විශ්ව විද්‍යාල පටන් ගන්න දෙන්නේ නැහැ කියන එක. 18 න් විශ්ව විද්‍යාලයට ගිහිල්ලා විසි දෙකෙන් එළියට එන්න තියෙන එක විසි තුනෙන් තමයි ඇතුළට යන්නේ. තිහ විතර වෙලා තමයි එළියට එන්නේ. එත කොට ඔවුන්ගේ අනාගතය නැති වෙලා. මේවා ගැන සතුටුදායකද..? 

තව කෙනෙක් කිව්වා අපි මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා වරායේ සාර්ථක කඩා වැටීමක් කළා කන්ටේනර් මෙහෙයුම් ගැන කියලා. ඒක සාර්ථක වචනයක්ද..? කරුණාකරලා මේ රට හදමු. වයෝවෘද්ධ වෙන කට්ටියට අනාගතයක් තියෙනවා කියලා පෙන්නමු. කාන්තාවන්ට හැමෝටම විශ්වාසයෙන් හැමෝටම ජීවත් වෙන්න පුළුවන් රටක් ඇති කරමු. 

බිලියන හතක් විතර ගෙවන්න ඕන එකට අපි බිලියන් දෙකහමාරක් පමණ ගෙවා ගෙන යනවා. බිලියන 20ක් විතර අපි හොයන්න ඕනේ. සංචාර කර්මාන්තය අපි දියුණු කර ගෙන යනවා. ආනයන බිලියන විස්සක් විසි තුනක් විතර ගේන්න ඕනේ. මේ බිලියන් පහ හය දහය කරන්න පුළුවන් නම් අපිට නිකන්ම ඩොලර් ටික එනවා. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න
රට නිවැරදි ලෙස පීලි ගත කළ ජනපති සමග සියලු ජනයා ඒකරාශී විය යුතුයි | Lanka Newsweek