රට ගොඩ නැගීමට සියලු දෙනා සහය වන්න

සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත් ව, නව දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනිකව කිලිටු නො වූ නායකයෙක් බවත්, එතුමාගේ නව දේශපාලන වැඩපිළිවෙළට රටට ආදරය කරන සියලු…
සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත් ව, නව දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනිකව කිලිටු නො වූ නායකයෙක් බවත්, එතුමාගේ නව දේශපාලන වැඩපිළිවෙළට රටට ආදරය කරන සියලු පුරවැසියන්ගේ සහාය හිමි විය යුතු බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියෝ පවසති.
මෛත්‍රිය, දයාව සහ අධිෂ්ඨානය ප්‍රතිපත්තිය කර ගත් වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රට වෙනුවෙන් සුවිසල් වැඩකොටසක් ඉටු කරමින් සිටින බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, රටට සහ ජනතාවට ආශිර්වාද පළ කරමින් සිකුරාදා (19) පස්වරුවේ අනුරාධපුර, ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අභියස පැවති ආශිර්වාද පිංකමේදී විශේෂ අනුශාසනාව ක් සිදු කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
දැන්වීම
රුවන්වැලි මහා සෑ රදුන් වෙනුවෙන් ඖෂධ සහ චතුමධුර පූජාව සිදු කොට ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපති වරයා සහ අගමැතිවරයා රුවන්වැලි මහා සෑ රදුන් වෙනුවෙන් පැවති විශේෂ චීවර කප්රුක පූජාවට එක් විය.
අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා , අගමැතිවරයා ප්‍රමුඛ රජයට සහ රටටත්, ජනතාවටත් ආශිර්වාද පළ කළහ.අතීතයේ මෙන් ම පසුගිය යුද ජයග්‍රහණයේදී ද මහා සංඝරත්නය රාජ්‍ය නායකත්වයට අවවාද අනුශාසනා ලබා දුන් බව පැවසූ පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා කෙරෙහි නිරන්තරයෙන් ඇහුම්කන් දෙන නායකයන් බව සඳහන් කළහ.
සියලු දෙනා එක් ලැබූ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කර ගැනීමේ හෝරාව අද එළැඹ ඇති බව පෙන්වා දුන් උන්ව හන්සේ විනයගරුක සමාජයක්, බෙදුම්වාදය සහ ජාතිවාදය තුරන් කර සියලු දෙනා සහජීවනයෙන් ජීවත් වන රටක් ගොඩනැඟීමට සියලු දෙනා එකාවන් ව එක් විය යුතු බව ද සඳහන් කළහ.
නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගෙනයාමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය ලබා දිය යුතු බවත් රටේ සංවර්ධන ක්‍රියාවලියට උගතුන් සහ රාජ්‍ය නිලධාරීන් දායක කර ගැනීමට ජනාධිපතිවරයා දක්වන උනන්දුව ප්‍රයෝජනයට ගනිමින් රට වෙනුවෙන් වගකීම් ඉටුකිරීමට ඔවුන් පෙරට පැමිණිය යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.
පාලකයන්ට අපහාස කිරීමෙන් හෝ බැණ වැදීමෙන් මෙම දුෂ්කර අවස්ථාවෙන් එගොඩ විය නො හැකි බවත්, රටේ ඉදිරි ගමන් මඟ වෙනුවෙන් සියලු දෙනාගේ සහයෝගය සහ අවංක කැපවීම අවශ්‍ය බවත් මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ විශේෂ අනුශාසනාවක් සිදු කරමින් පෙන්වා දුන්හ.
දූෂණය සහ වංචාව පිටුදකිමින් කටයුතු කරන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය හිමිවිය යුතු ය. නිෂ්පාදන ආර්ථිකයට රජය ප්‍රමුඛතාව ලබා දී තිබේ. දුෂ්කර තත්ත්වයක් හමුවේ වුව ද රට ගොඩනැඟීම මුල් කර ගනිමින් ආනයන සීමා කිරීම දෙස ඉතා ඉවසීමෙන් බලා සිටිය යුතු ය. වසර 50ක් පුරා පාලකයන් ලබා ගත් විදේශ ණය හේතුවෙන් අද රට ණය බරින් හෙම්බත් ව තිබේ.
මෙකී සියලු අභියෝග ජය ගැනීමට සියලුදෙනාගේ සහාය රජයට අවශ්‍ය බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. එහිදී ජනතාවගේ මෙන් ම රාජ්‍ය සේවකයන්ගේ අවංකභාවය ඉතා වැදගත් ය. අයෝජකයන් රටට පැමිණෙන විට ඔවුන්ගෙන් සංතෝසම් ඉල්ලමින් එම වැඩපිළිවෙළ අඩපණ නො කළ යුතු බව ද උන්වහන්සේ පෙන්වාද දුන්හ.
ජනාධිපතිවරයා ගේ රාජ්‍ය පාලන සමය ඉතා අභියෝගාත්මක සමයක් බවත් සියලු ගැටලු නිරවුල් කර ගනිමින් ඉදිරියට යාමට අමරපුර මහා සංඝ සභාවේ ආශිර්වාදය එතුමාට හිමි වන බවත් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නා හිමිපාණන් වහන්සේ විශේෂ අනුශාසනාවක් කරමින් පැවසූහ. කොරෝනා අභියෝගය ජය ගනිමින් ජන ජීවිතය සුවපත් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට උන්වහන්සේ ආශිර්වාද පළ කළහ.
ඉවසීමෙන් යුතුව කටයුතු කොට, රට පෙරට ගැනීමට ජනපතිට සියලුදෙනාගේ සහාය හිමිවිය යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමිපාණන් වහන්සේ පැවසූහ.
වළගම්බා රජ සමයේ සිට නියං සාගතවලට රට මුහුණ දී තිබේ. එම සාගතයන්ගෙන් රට බේරා ගැනීමට මහාසංඝරත්නය නිරන්තරයෙන් අවවාද, අනුශාසනා සිදු කළහ. එම ඉතිහාසය දන්නා වත්මන් ජනාධිපතිවරයා ද මෙම දුෂ්කර සමයේ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අපේක්ෂා කිරීම සතුටට කරුණක් බව උන්වහන්සේ සඳහන් කළහ.සියලු පක්ෂ, පාට භේද පසෙක ලා අපේ රට, අපේ ජාතිය යන හැඟීමෙන් යුතුව රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට සහාය දීම සියලු දෙනාගේ වගකීම බව ද උන්වහන්සේ අවධාරණය කළහ.
ත්‍රෛනිකායික මහා නායක, අනුනායක නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, ආණ්ඩුකාරවරුන්, මැති ඇමතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු, දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
