අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටේ යහ පැවැත්ම තහවුරු කිරීම සියලු දෙනාගේම වගකීමක්

රටේ යහ පැවැත්ම තහවුරු කිරීම සියලු දෙනාගේම වගකීමක්

සියලු පාර්ශවයන් වහාම පෙරට ආ යුතුයි ඒකාධිපති බල තණ්හාවට ස්වභාව ධර්මය නිසි පිළිතුරු දෙයි ජනතාව පෙරට නොආවොත් ප්‍රතිවිපාකය භයානකයි රට අනතුරේ..! (සුජිත් මංගල ද සිල්වා) තාවකාලික බල තණ්හාව පසෙක තබා මේ රටේ…

සියලු පාර්ශවයන් වහාම පෙරට ආ යුතුයි 

ඒකාධිපති බල තණ්හාවට ස්වභාව ධර්මය නිසි පිළිතුරු දෙයි 

ජනතාව පෙරට නොආවොත් ප්‍රතිවිපාකය භයානකයි 

රට අනතුරේ..!

රටේ යහ පැවැත්ම තහවුරු කිරීම සියලු දෙනාගේම වගකීමක්

(සුජිත් මංගල ද සිල්වා) 

තාවකාලික බල තණ්හාව පසෙක තබා මේ රටේ අනාගත පරපුර පිළිබඳව හෝ අවධානය යොමු කොට රටේ යහ පැවැත්ම වහාම තහවුරු කිරීම සඳහා අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් රටේ සියලු පාර්ශවයන් පෙරට ආ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඒකාධිපති බල තණ්හාවෙන් මත් වූවන්ට ජනතාව විසින් දඬුවම් ලබා දෙන්නට පෙර ස්වභාව ධර්මයා විසින් හෝ නිසි දඬුවම් ලබා දෙනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම විශේෂ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. 

දැන්වීම

අද වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින්නේ දරුණුතම වසංගත රෝග තත්ත්වයකටය. රටක් ලෙස එම තත්ත්වය මෑත ඉතිහාසයේ මුහුණ දෙන බරපතළම වසංගත රෝග තත්ත්වය ලෙස සැලකිය හැකිය. රට එවැනි ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව ඇති මොහොතක එම ව්‍යසනය මැඩ පවත්වමින් ජනතාවගේ ජීවිත ආරක්ෂාව සැලසීමේ පරම සහ ප්‍රමුඛතම වගකීම පැවරෙන්නේ රජයටය. එහෙත් එම වගකීම් හමුවේ රජය ගනු ලබන ඇතැම් තීන්දු තීරණ බරපතළ ලෙස ප්‍රශ්නකාරී වී තිබේ. ඒ මගින් රටේ ජනතාවගේ ජීවිත පරදුවට තබන තත්ත්වයක් නිර්මාණය කර තිබේ. 

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉතාමත්ම පැහැදිලිව පෙන්වා දී ඇති ආකාරයට කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමත් සමග රට අභ්‍යන්තරයේ රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන අතර එම තත්වය හමුවේ රෝහල් තුළ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාවයට දැනටමත් ළඟා වී තිබේ. එම තත්ත්වය තවත් වර්ධනය වුව හොත් ඉතාමත් අනතුරුදායක තත්ත්වයක් මතු විය හැකි බව වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය අවධාරණය කර ඇත. 

මෙවැනි පසු බිමක රටේ පනවා තිබූ සංචරණ සීමා වැනි ක්‍රියා මාර්ග තව දුරටත් ලිහිල් කිරීමට රජය ගෙන ඇති තීරණය ප්‍රශ්න කරන වෛද්‍ය විශේෂඥවරුන් එම තත්ත්වය හඳුන්වා දී ඇත්තේ ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් ලෙසටය. ඒ අනුව පැහැදිලි වන සත්‍යය වන්නේ රජය මෙවැනි අර්බුදයක් හමුවේ පවා වගකීමකින් යුක්තව කටයුතු නොකරන බවය. මේ තත්ත්වය බරපතළ කාරණයකි. එබැවින් මේ රටේ ජනතාවගේ නාමයෙන් අන් සියල්ලටම පෙර අප වග කිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම බරපතළ වසංගත රෝග තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීම සඳහා වෛද්‍ය විශේෂඥවරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව තීන්දු තීරණ ගන්නා ලෙසටය. 

මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයකට රට ගොදුරු වෙමින් පවතින මොහොතකදීත්, රජය මේ රටේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු නොකිරීමද ප්‍රශ්කාරීය. එමෙන්ම එම තත්ත්වය අවාසනාවන්ත තත්ත්වයකි. එබැවින් ඒ පිළිබඳවද රජය ගැඹුරින් අවධානය යොමු කළ යුතුය යන්න අපගේ පිළි ගැනීමයි. 

එමෙන්ම රටේ අනාගතයට සහ ජන ජීවිතයේ සුරක්ෂිතභාවයට අදාළව රජය ගන්නා ඇතැම් තීන්දු තීරණ ඒකමතික නොවීමද බරපතළ ගැටලු නිර්මාණය වීමට හේතුවක් වී තිබේ. පොහොර ආනයනය පිළිබඳව රජය අභ්‍යන්තරයේ දකින්නට ඇති මත භේදය ඊට හොඳම උදාහරණයකි. රසායනික පොහොර ආනයනයට ඉඩ දෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරද්දී, මහා භාණ්ඩාගාරය එම කතාව ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව විශ්වාසයක් තැබිය යුත්තේ කවර ආයතනය කෙරෙහිද යන ගැටලුව ජනතාව අතර මතුවී තිබේ. ජනතා අවශ්‍යතා මුල් කර ගෙන රාජ්‍ය අමාත්‍යාංශයක් ගන්නා තීන්දුවක් රාජ්‍යයෙහිම තවත් ආයතනයක් විසින් නිශේධනය කරන්නේද යන ගැටලුව ජනතාව හමුවේ මතුව ඇත. එවැනි තත්ත්වයක් යහපත් රාජ්‍යකරණයක කිසි විටෙක නොතිබිය යුතුය. නමුත් අප රටේ තත්ත්වය එසේ නොවේ. 

ඊට අමතරව ඊනියා කොමිෂන් සභාවක නිර්දේශ පදනම් කර ගනිමින් මේ රටේ රාජ්‍ය සේවකයන් සහ විපක්ෂයේ දේශපාලනඥයන් දඩයම් කිරීමට ගනු ලබන උත්සාහයන් ව්‍යර්ථ කරලීම සඳහා අද මේ රටේ ප්‍රමුඛ රාජ්‍ය සේවකයන්ටද අධිකරණය ඉදිරියට ගොස් පිහිට පැතීමට සිදුවී ඇත. එම ඉරණම ඉතාමත් බරපතළ තත්ත්වයකි. එමෙන්ම මේ රටේ පාලකයන් ලැජ්ජා විය යුතු තත්ත්වයකි. 

ශිෂ්ඨ සම්පන්න ලෝකය කිසිඳු ආකාරයකින් අනීතික නිර්දේශ පදනම් කර ගනිමින් යහපත් රාජ්‍ය සේවකයන් හෝ මහ ජන නියෝජිතයන් දඩයම් කිරීමට ඉඩක් ලබා දෙන්නේ නැත. අද වන විට මේ රටේ උත්තරීතර අධිකරණය ඒ බව මැනවින් ප්‍රදර්ශනය කර තිබේ. එහෙත් සිය පටු දේශපාලන අරමුණු මුල් කර ගනිමින් අනීතික සේම නිග්‍රහයට පාත්‍ රවිය යුතු කොමිෂන් සභාවක නිර්දේශ හිතුවක්කාරී ලෙස සිය කර මත තබා ගෙන සිටින ආකාරයක් රජයේ ක්‍රියා මාර්ගවලින් පෙන්නුම් කරයි. එවැනි කොමිෂන් සභා වාර්තාවක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීම පිළිබඳව මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලැජ්ජා විය යුතුය. ඒ පිළිබඳව ඔවුන් මේ රටේ ජනතාවගෙන් සමාව ගත යුතුව තිබේ. 

මෙවැනි පසුබිමක අනාගතය පිළිබඳව යහපත් ප්‍රාර්ථනා දල්වා ගැනීමට කිසිවෙකුට නොහැකිය. එබැවින් මේ රටේ අධිකරණය සම්බන්ධ සෑම පාර්ශ්වයක්ම ඒ පිළිබඳව සිය අවධානය යොමු කරවමින් රට නිවැරදි දිශාවට යොමු කරවීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ තව දුරටත් ගත යුතුව ඇත. එසේ නොවූව හොත් රටට ඇති කරලිය හැකි ප්‍රතිවිපාක බොහෝ වේදනාකාරී විය හැකිය. 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රට අභ්‍යන්තරයේ සිදු වෙමින් පවතින එම තත්ත්වයන් පිළිබඳව බලවත් අවධානයක් යොමු කර වන අතරම පැහැදිලි අනාවැකියක් පළ කරන්නටද කැමැත්තෙමු. එනම් 20 වන සංශෝධනය මගින් එක් පුද්ගල අධිකාරියක් වෙත මොනතරම් බලයක් ආරෝපණය කර ගත්තද, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් පමණක් නොව හයෙන් පහක බලයක් රඳවා තබා ගත්තද බලය යනු තාවකාලික තත්ත්වයක් පමණක්ම වන බවය. බල තණ්හාවෙන් මත් වූවන්ට ජනතාව විසින් දඬුවම් ලබා දෙන්නට පෙර ස්වභාව ධර්මයා විසින් හෝ නිසි දඬුවම් ලබා දිය හැකි බවය. එබැවින් අප මේ මොහොතේ රටේ සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ තාවකාලික බලය පිළිබඳව නොව මේ රටේ අනාගත පරපුර පිළිබඳව හෝ අවධානය යොමු කොට රටේ යහ පැවැත්මට අදාළ නිවැරදි තීන්දු තීරණ ගන්නා ලෙසටය.  
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
රටේ යහ පැවැත්ම තහවුරු කිරීම සියලු දෙනාගේම වගකීමක් | Lanka Newsweek