අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටේ ප්‍රශ්න ඇති කරන්නේ මහා බැංකුවයි

රටේ ප්‍රශ්න ඇති කරන්නේ මහා බැංකුවයි

උද්ධමනය පාලනය කිරීම සඳහා ජන ජීවිතය විනාශ කරන්න ඉඩ දෙනු බැහැ ජනතාවගේ පිහිටෙන්-දෙවියන්ගේ රැකවරණයෙන් එජාපයේ විශාල පිබිදීමක් ඇති වෙලා ජනපති වටා සියලු දේශපාලන-නායකයින් එකට එකතු වෙලා මේ රටේ බොහෝ ප්‍රශ්න…


 
උද්ධමනය පාලනය කිරීම සඳහා ජන ජීවිතය විනාශ කරන්න ඉඩ දෙනු බැහැ 
 

ජනතාවගේ පිහිටෙන්-දෙවියන්ගේ රැකවරණයෙන් එජාපයේ විශාල පිබිදීමක් ඇති වෙලා 
 

ජනපති වටා සියලු දේශපාලන-නායකයින් එකට එකතු වෙලා  

මේ රටේ බොහෝ ප්‍රශ්න ඇති කරන්නේ කතාව විතරක් තිබෙන වැඩ නොමැති ශ්‍රී ලංකා මහා බැංකුව යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා චෝදනා කර සිටියි. 

බැංකු ණය පොළී අඩු කළ බව චක්‍ර ලේඛනවලින් කියා සිටියත් බැංකු පද්ධතිය හරහා එම සහනය ජනතාවට තවමත් ලැබී නැතැයි ද, උද්ධමනය පාලනය කළ යුතු යැයි කියා දැඩි නීරීති මගින් ජනතාවගේ ජන ජීවිතය විනාශ කිරීමට ඉඩ දිය නොහැකි යැයි ද, රට-ජනතාව වෙනුවෙන් මේ වැරදි නිවැරදි කර ගෙන ඉදිරියට යා යුතු යැයි ද රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.

ආනයනය රටට තවමත් ඔරොත්තු නොදෙන තත්ත්වය මත රට අභ්‍යන්තරයේ තිබෙන ඩොලර් ප්‍රමාණය ආරක්ෂා කර ගැනීම රටේ අභිවෘද්ධියට යහපත් වන නිසා 2024 අග භාගය වන තුරු ආනයන සීමා ළිහිල් නොකළ යුතු යැයි ද රවී කරුණානායක මහතා කියා සිටියි. 

දැන්වීම

රට බංකොලොත් වී ජනතාව අතිශය පීඩාවට පත්ව සිටින්නේ කිසිදු දැක්මක්, වැඩ පිළිවෙළක් සහ දක්ෂතාවයක් නොමැති අවස්ථාවාදී, පටු සහ බල ලෝභී දේශපාලකයින් මේ රටේ පුපුරුවා හැරිය දේශපාලන බිම් බෝම්බ නිසා යැයි ද හෙතෙම පවසයි. 

එම නිසා ඔවුන් සියලු දෙනා අදවත් මේ යථාර්ථය තේරුම් ගෙන රටේ ආර්ථිකය ගොඩනගා ජනතාවට ප්‍රතිලාභ ලබා දීම සඳහා අවංකව ඉදිරියට පැමිණ රට-ජනතාව වෙනුවෙන් ඇපකැප විය යුතු යැයි ද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂය කඩා විනාශ කිරීමට දේශපාලන වශයෙන් දුෂ්ඨ බලවේග උත්සහ කළත් ජනතාගේ පිහිටෙන් සහ දෙවියන්ගේ රැකවරණයෙන් මේ වන විට පක්ෂය විශාල දේශපාලන පිබිදීමක් ලබා ඇතැයි ද, ඒ බව එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළියෙන් මනාව ඔප්පු වූයේ යැයි ද රවී කරුණානායක මහතා කියා සිටියි.

බංකොලොත් භාවයෙන් මුදවා ගෙන රට ගොඩනගා ජනතාවට ප්‍රතිලාභ ලබා දිය හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් යැයි ද, ඒ බව ඔහු මේ වන විට ඔප්පු කර ඇතැයි ද, එම නිසා එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන්   නිර්පාක්ෂික, ජාතික සහ පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන්නේ යැයි ද රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි. 

මේ යථාර්ථය තේරුම් ගෙන සිටින දේශපාලන පක්ෂ සහ නායකයින් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එකට ඒකරාශී වෙමින් සිටින්නේ යැයි ද, ඒ අනුව ඒ සියලු දේශපාලන පක්ෂවල සහ නායකයින්ගෙන් යුතු පුළුල් දේශපාලන සන්ධානයක් ඔස්සේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යැයි ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි. 

.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රටේ ප්‍රශ්න ඇති කරන්නේ මහා බැංකුවයි | Lanka Newsweek